Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 එංගලන්ත බලාපොරොත්තු පොතු මෙන් ගැලවෙයි

එංගලන්ත බලාපොරොත්තු පොතු මෙන් ගැලවෙයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ද්විත්ව ශතකය ලබාගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් එංගලන්ත පන්දු යවන්නන් අන්ද මන්ද කරමින් ඕස්ට්‍රේලියානු පිල ඉදිරියට කැඳවාගෙන ආවේය. පර්ත්හි බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තුන්වැනි තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 549 ක් ලබා සිටියේය.

තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදී, කඩුලු 6 ක් අතැතිව සිටින ඕස්ටේ්‍රලියානු කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 146 ක් ඉදිරියෙන් සිටී.

ස්මිත් සිය ද්විත්ව ශතකය ලබාගැනීම සඳහා පන්දු 309 කට මුහුණ දුන් අතර ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය ලබා ඇත්තේ පන්දු 256 කින් එම ඉලක්කය කරා ගිය ඕස්ටේ්‍රලියාවේ ස්ටැන්ලි මැකේබ් විසිනි.

ස්ටීවන් ස්මිත් (නොදැවී 229) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 301 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මිචෙල් මාෂ් (නොදැවී 181 යි) අළු බඳුන නැවතත් එංගලන්තයට රැගෙන යාම සම්බන්ධයෙන් සංචාරකයන් තැබූ බලාපොරොත්තු එකින් එක බිඳ හෙළමින් සිටී. ඒවා මැරී යන ගසක පොතු මෙන් එකින් එක ගැලවී යමින් තිබිණ.

“මා ඉතාමත් හොඳ තත්ත්වයක සිටින බවත් නියම වෙලාව ඇවිත් තියෙන බවත් මට ඊයෙම තේරුණා. මට ඕනෑ කළේ ඒකෙන් ප්‍රයෝජන ගන්නයි....අපට ඕනෑ කළේ හැකි තරම් වෙලාවක් පන්දුවට පහර දෙන්නයි” යයි අද දින තරගයෙන් පසුව ස්ටීවන් ස්මිත් පැවසීය.

මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටින එංගලන්ත කණ්ඩායම මෙම තරගය පරාජය වුවහොත් තරගාවලියද පරාජය වෙයි.

ඬේවිඞ් මාලන් සහ ජොනී බෙයාර්ස්ටෝ එක්ව වැකා ක්‍රීඩාංගණයේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ඉහළම සම්බන්ධතාවේ වාර්තාව පැවැතියේ දිනයකටත් අඩු කාලයකි. ස්මිත් සහ මිචෙල් මාෂ් එක්ව හතරේ පහර 57 කින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළේ ඔවුන් වර්ෂාවේ පිහිට පතන තත්ත්වයකට පත්කරමිනි.

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යාඥයෝ කියති.

පන්දු යවන්නන් හත් දෙනකු යොදා ගත් නමුත් අද දිනය පුරාම එංගලන්තයට දවාගත හැකිවූයේ ෂෝන් මාෂ් පමණි. දිවා ආහාරයත් තේ පානයත් අතරේ ලකුණු 107 ක් රැස්කළ ස්මිත් සහ මාෂ් දෙදෙනා තේ පානයෙන් පසුව ලකුණු 128 ක් උදුරාගත්තේ එංගලන්ත පන්දු යවන්නන් සතුව වේගය නැති බව මොනවට පසක් කරමිනි.
“මෙනවා කරන්නද ? අපි ඉන්නේ ඉන්න වෙලා තියෙන තැන”

“පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබුණාම පන්දු යවන්නන් ෂතුව තියෙන්න ඕනෑ වේගය අපට නැති බව පිළිගන්න වෙනවා” යයි එංගලන්ත පිලේ සහාය පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා පැවසීය.

වසර දෙකහමාරකට ඉහත එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී ලකුණු 215 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් අද සිය හොඳම ටෙස්ට් ඉනිම තවත් ඉදිරියට ගෙන ගියේය. පන්දු 390 කට මුහුණ දුන් මෙම දකුණත් පිතිකරුවා හතරේ පහර 28 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කර තිබිණ.

ස්මිත් මේ වන විටත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 පිතිකරුවා වන අතර මෙම ලිත් වර්ෂය තුළදී ටෙස්ට් ලකුණු 1000 පසුකර යාමටද සමත් වූයේය. ස්මිත් ලිත් වර්ෂයකදී ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ සිවුවැනි වතාව මෙයයි.

මේ අතර මිචෙල්, මාෂ් පවුල වෙනුවෙන් තුන්වැනි අළු බඳුන ශතකය ලබාගත් පිතිරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරු මෙන්ම ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරු ජෙෂ් මාෂ්ගේ බාල පුතණුවන් වන මිචෙල් මාෂ්ගේ මංගල ටෙස්ට් ශතකය මෙයයි. මිචෙල්ගේ සොහොයුරු ෂෝන් මාෂ්ද මෙම තරගයේදී ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ඇඩිලේඞ්හිදී පැවැති දෙවැනි තරගයේදී මිචෙල්ගේ වැඩිමහලු සොයුරු ෂෝන් නොදැවී ලකුණු 126 ක් ලබාගත් අතර ජෙෆ් මාෂ් 1989 දී නොටිංහැම්හිදී ලකුණු 138 ක් ලබාගෙන තිබිණ.

 

 


අදහස් (0)

එංගලන්ත බලාපොරොත්තු පොතු මෙන් ගැලවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.