Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සුරංගනා කතාවක තිත්ත ඇත්ත

සුරංගනා කතාවක තිත්ත ඇත්ත

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කිව්වා කිව්වා කනකට ගත්තේ නැත. පෙන්වා දුන් කිසිවක් දෙස නිකමට වත් හැරිලා බැලුවේත් නැත.
“අපට ඕනෑ තරම් දක්‍ෂ ක්‍රීඩකයන් සිටිනවා”    

ශ්‍රී ලංකා පිලේ දැනට සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා දෙදෙනා වන සුරංග ලක්මාල් තරග 5 ක ඉනිම 9 කදී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9 කි. සාමාන්‍යය ඉනිමකදී කඩුල්ලකි. ලක්මාල්ට පසුව සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ටෙස්ට් තරග 4 ක ඉනිම 6 කදී දවාගෙන ඇත්තේ කඩුලු 10 කි. සාමාන්‍යය ඉනිමකදී කඩුලු 1.6  කි. නුවන් ප්‍රදීප් විසින් දවාගන්නා ලද එම කඩුලු 10 ම ඉනිම දෙකකදී (78/4 සහ 132/6) දවාගෙන ඇති අතර ඔහු ඉනිම 4 කදීම එකම කඩුල්ලක්වත් දවාගැනීමට අපොහොසත් වී තිබේ.

එපමණක් නොව, මෙම පන්දු යවන්නන් දෙදෙනාම මේ වන විටත් ආබාධ වලට ලක්ව සිටින අතර එස්. එස්.සී. ටෙස්ට් තරගයේ තනි වේග පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් ඕවර 17.4 ක් යැවීමෙන් පසුව පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් ඇතිවීමෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

පන්දු යවන්නන් දිගින් දිගටම මේ ආකාරයෙන් ආබාධ වලට ලක්වේ නම් මිලියන ගණන් වැයකරමින් සේවයට යොදාගෙන සිටින භෞත චිකිත්සකවරුන්ගෙන් සහ අභ්‍යාසකවරුන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

“දැන් අපි පැරදිලා ඉවරයි, දැන් දිනන කාලේ” යයි පුරසාරම් දෙඩුවත් අන්තිමේදී පොඩි එකාගෙනුත් ගුටි කෑවේය. ටිකක් විතර ලැජ්ජා හිතුණත් තුන්වැනි විනිසුරුවරයාගේ තීන්දුවක වාසිය ඔට්ටුවට තබා තරග කරමින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පොඩි එකාට තැළුවේය. සායම බේරා ගත්තේ එලෙසිනි.

සතියක ඇවෑමෙන් කටුනායකට ගොඩ බට බලවන්තයාගෙන් තවමත් වැදුණේ පහර දෙකක් පමණි. ඒ පහර දෙකම රිදෙන්නම වැදිණ. සියල්ලෝ කලබල වූහ. ශ්‍රී ලංකා - ඉන්දීය දෙවනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනයට නියම කරගෙන සිටි අගෝස්තු 7 වැනිදා, ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටි හෝටලයේදීම මහා පරිමාණයේ රැස්වීමක් කැඳවිණ.

පැය ගණනක් ඇදී ගිය මෙම රැස්වීම සඳහා සති කිහිපයකට පෙර සියල්ල පිළිබඳ කලකිරීමෙන්  පිටව ගිය අරවින්ද ද සිල්වාත් පැමිණ සිටියේය. මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පරකට බැණුම් අසන සනත් ජයසූරියත් සිටියේය. අරවින්දගේ නැවත පැමිණීම සහ සනත් ජයසූරිය සම්බන්ධයෙන් සාමාජ ජාල අතරේ විවිධ කතන්දර ගෙඩනැඟී ඇති නමුත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ බින්නබැසගෙන සිටින අනුපමේය ආදරයට අභියෝග කළ නොහැකිය. මෙම විශිෂ්ටයන් දෙදෙනා ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කලක් ගිය පසුවද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමබන්ධයෙන් තමන්ට ඇති ළබැඳියාව මේ යයි පෙන්නුම් කළේ වරක් දෙවරක් නොවේ. ඒ බව දන්නෝ දනිති. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මෙන්ම හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙම රැස්වීමට පැමිණ සිටියේ නැත. ලේකම් මොහාන් ද සිල්වා මහතා සිටියේ දිවයිනෙන් බැහැරවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට අසංක ගුරුසිංහ, ජෙරම් ජයරත්න (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), ඈෂ්ලි ද සිල්වා, පුහුණුකරු නික් පොතාස්, නික් ලී (අභ්‍යාසක), නිර්මලන් තනබාලසිංහම් (භෞත චිකිත්සක), සයිමන් විල්ස් (උසස් දස්කම් කළමණාකරු), හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, සීමිත ඕවර කණ්ඩායමේ නායක උපුල් තරංග මෙන්ම සෙසු පුහුණුකරුවෝ සහ විශ්ලේශකයෝද සහභාගිවූහ. මෙම රැස්වීමේදී බොහෝ දේ සාකච්ඡා කෙරුණු නමුත් සඳුදා රාත්‍රී 10.15 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් නිකුත් වූයේ සුරංගනා කතාවකි.
 
“ලෝකයේ  අති දක්‍ෂ ක්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක්ම අපට සිටිනවා. වරින් වර ඔබලා ඒ බව පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දැනුම සම්බන්ධයෙන් ලෝකයේ ඉතාමත් විශිෂ්ට බුද්ධිමතුන් ඔබේ ප්‍රයෝජනයට සහ සහයෝගයට අපි ළඟ ඉන්නවා.” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙම රැස්වීමේදී පැවසූ බව මාධ්‍ය නිවේදනයේ සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කතාව සැබෑවක් නම් කණ්ඩායම දිගින් දිගටම පරාජය වන්නේ ඇයි?. මාධ්‍ය නිවේදන නිකුත් කළ පමණින් සියල්ල අන්ධ භක්තියෙන් යුතුව විශ්වාස කිරීමට ක්‍රිකට් ලෝලීන් සූදානම් නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග 7 න් තරග 5 ක් පරාජය වූයේ ඇයි? ශ්‍රී ලංකාව ජයගත් ටෙස්ට් තරග දෙක වන්නේ ශ්‍රේණිගත ලයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් සිටින සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග දෙකයි. පරාජය වූ තරග 5 න් එකක්ද බංග්ලාදේශ පිලට එරෙහිවය. ශ්‍රී ලංකාවේ පිටතදී එකම ටෙස්ට් තරගයක් හෝ ජයගෙන නැති අතර මවුබිමේදී පැවැති තුනක්ද පරාජය වී තිබේ.
මේ වසරේදී සහභාගි වූ එක්දින තරග 16 න් තරග 4 ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 11 ක් පරාජය විය. විස්සයි:20 තරග වලදී පමණක් තරගාවලි දෙකක් ජයගනිමින් සහභාගි වූ තරග 8 න් 5 ක් ජයගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු විස්සයි:20 ක්‍රිකට් නොවේ. වරෙක ටෙස්ට් තරග 9 ක් එක දිගට ජයගනිමින් වසර 2000 දී ආසියානු ටෙස්ට් ශූරයන් බවටද පත්වූ ශ්‍රී ලංකාවට වැරදුන තැන සොයගත යුතුව ඇත.
සංගක්ාකාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් සමුගැනීම නිසා කණ්ඩායම දුර්වල වූයේ යයි කියමින් තවදුරටත් හඬා වැටීමෙන් පලක් නැත. ඇරත් මෙම ක්‍රීඩකයන්ට සමුගන්නා ලෙස බලපෑම් කළේත් එකල සිටි (අදටත් සිටින) ඇතැම් ක්‍රිකට් නිලධාරීන්ම මිස අනෙක් අය නොවේ.

“ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයන් අපට ඇතැයි” යන සුරංගනා කතාවලින් වසාගෙන සිටින තිත්ත ඇත්ත මෙයයි.
කවුරුන් කෙසේ කීවද ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සැබෑ හපන්කම් මැන බලාගත හැක්කේ ටෙස්ට් තරග වලදීය. වසර 140 කට ඉහතදීම මේ ආකාරයේ තරග වලට “ටෙස්ට්” යයි නම තබන්නට ඇත්තේත් ඒ පිළිබඳ මනා වැටහීමකින් යුතුව විය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග පිළිබඳව පමණක් විමසා බලමු. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති වින්නැහියේ එක පැතිකඩක් ඔබටම වටහාගත හැකිය. (එහි තවත් බොහෝ පැතිකඩ තිබෙන බවත් අමතක නොකළ යුතුමය. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු)


ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග දෙස හැරී බලන්න. ශ්‍රී ලංකා පිලේ දැනට සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා දෙදෙනා වන සුරංග ලක්මාල් තරග 5 ක ඉනිම 9 කදී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9 කි. සාමාන්‍යය ඉනිමකදී කඩුල්ලකි. ලක්මාල්ට පසුව සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ටෙස්ට් තරග 4 ක ඉනිම 6 කදී දවාගෙන ඇත්තේ කඩුලු 10 කි. සාමාන්‍යය ඉනිමකදී කඩුලු 1.6  කි. ඇරත් නුවන් ප්‍රදීප් විසින් දවාගන්නා ලද එම කඩුලු 10ම ඉනිම දෙකකදී (78/4 සහ 132/6) දවාගෙන ඇති අතර ඔහු ඉනිම 4 කදීම එකම කඩුල්ලක්වත් දවාගැනීමට අපොහොසත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙසින් සැලකෙන මෙම වේග පන්දු යවන්නන් දෙදෙනාගේ සැබෑ තත්ත්වය එයයි. එපමණක් නොව, මෙම පන්දු යවන්නන් දෙදෙනාම මේ වන විටත් ආබාධ වලට ලක්ව සිටින අතර එස්. එස්.සී. ටෙස්ට් තරගයේ තනි වේග පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් ඕවර 17.4 ක් යැවීමෙන් පසුව පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් ඇතිවීමෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

තරමක් හෝ බලාපොරොත්තු තබාගත හැකි තරුණ ක්‍රීඩකයකු වන ළහිරු කුමාර තරග 5 කදී කඩුලු 19 ක් දවාගෙන තිබේ. එහෙත් ඔහුද වරින් වර ආබාධ වලට ලක්වෙන බව කියයි.

පන්දු යවන්නන් දිගින් දිගටම මේ ආකාරයෙන් ආබාධ වලට ලක්වේ නම් මිලියන ගණන් වැයකරමින් සේවයට යොදාගෙන සිටින භෞත චිකිත්සකවරුන්ගෙන් සහ අභ්‍යාසකවරුන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? නැතහොත් පුහුණුකරුවන් ඔවුන්ට වැරදි ආකාරයේ උපදෙස් දෙන්නේද?

මේ වසරේදී පැවැති ටෙස්ට් තරග 7 දී බිඳ වැටුණු ප්‍රතිවාදී කඩුලු 105 න් වේග පන්දු යවන්නන් තිදෙනාම (සුරංග, නුවන් සහ ළහිරු) එක්ව දවාගන්නා ලද සම්පූර්ණ කඩුලු සංඛ්‍යාව 38 කි. සෙසු කඩුලු 67 න් කඩුලු 35 ක් රංගන හේරත් විසින්ද තවත් කඩුලු 11 ක් ඩිල්රුවන් පෙරේරා විසින්ද දවාගනු ලැබ තිබේ.

මෙහි නොපෙනෙන පැත්ත දෙස හැරී බැලීමට කිසිවකුට හිතේ හයියක් තිබේද? මෙම තරග හතේදී බිඳවැටුණු කඩුලු 105 න් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා එක්ව ලබාගත් කඩුලු 46 ඉවත් කළහොත් කණ්ඩායමට කුමක් සිදුවේද ? නවතම වාර්තා වලින් දැනගන්නට ඇත්තේ පල්ලෙකැළේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය සඳහා රංගන හේරත් ක්‍රීඩා නොකරන බවයි. සිදුවන්නට යන්නේ කුමක්ද යන්න ඉවසීමෙන් බලා සිටිය යුතුව තිබේ.

පළමු පෙළ තරග 46 කදී කඩුලු 203 ක් ලබා සිටින විශේෂඥ දඟ පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් 2017 වසරේ ශ්‍රී ලංකාවේදීම පැවැති (දඟ පන්දු යවන්නන්ට සහයෝගය දෙන්නේ යයි කියනු ලබන තණතීරු මතදී) ටෙස්ට් තරග 2 කදී දවාගෙන ඇත්තේ කඩුලු 6 ක් පමණි. පළමු පෙළ තරග 99 කට ක්‍රීඩා කර කඩුලු 558 ක් ලබා සිටි මාලින්ද පුෂ්පකුමාරට සිය පළමු වැනි ටෙස්ට් තරගගේ පළමු කඩුල්ල දවාගැනීම සඳහා ඕවර 23 ක් වෙහෙස වන්නට සිදුවිය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දියාරු බව පෙන්වීමට තවත් උදාහරණ ඕනෑ තරම් ගෙන ආ හැකි නමුත් ඒවා පෙන්නා දෙන්නේ කාටද ? ක්‍රිකට් බලධාරීහු නෑසූ කන්ව සිටිති. නොදුටු නෙතින් සිටිති.

එස්. එස්.සී. ටෙස්ට් තරගය අතරතුර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ දිමුත් කරුණාරත්න එය අපූරුවට පැහැදිළි කළේය.

“මා දන්නේ නෑ අපේ පන්දු යවන්නන් පන්දුව විවිධ ආකාරයෙන් යවනවාද කියලා. ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉවසීම අපට නැතැයි කියලා. ටෙස්ට් ක්‍රිකට් කියන්නේ රටක ඉන්න හොඳම 11 දෙනා ක්‍රීඩා කරන ක්‍රීඩාව. ඒ නිසා ඔවුන්ට පන්දු යැවීමේදී බුද්ධිමත් ආකාරයට, ඒ කියන්නේ කිසියම් ආකාරයකට පිටියක් සකස් කරගෙන (ක්‍රීඩකයන් රඳවාගෙන), කඩුල්ලේ එක පැත්තකින් (ඒ ක්‍රීඩකයන් රඳවාගෙන සිටින ආකාරයට අනුරූප වන විදිහට) පන්දු යවන්න ඕනෑ”

“ටෙස්ට් තරගයකදී නම් කඩුල්ලක් දවාගන්න ඕවර 15 ක් විතර යවන්න ඕනෑ. ඒත් අපේ දේශීය තරගාවලියේදි නම් ඕවර 5 ක් යැව්වාම කඩුලු 5 ක් දවාගන්න පුළුවන්...අන්තර්ජාතික ක්‍රිකට් කියන්නේ අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට හාත්පසින්ම වෙනස් එකක්” යයිද දිමුත් කරුණාරත්න පැවසීය.

දිමුත් කරුණාරත්න කී කතාව අලුත් කතාවක් නොවේ. එය දශක දෙකක පමණ කාලයක සිට පෙන්වා දෙන කාරණාවකි. මුත්තයියා මුරලිදරන් 2006 දී එංගලන්තයේදීත් මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරද අවස්ථා කිහිපයකදීත් මේ තත්ත්වය පෙන්වා දුන්හ. එහෙත් ඒ සියල්ල බීරි අලින්ට වීනා ගැයීමක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයන්ගේ තිබෙන කෑදර ප්‍රතිපත්ති නිසා ස්ථාවර දේශීය තරගාවලියක් සකස් කරගත නොහැකිවී තිබේ. වසර කිහිපයකට පෙර කිසියම් සැලැස්මක් අනුව තරගාවලිය සකස් කරමින් ඉහළ තලයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් තෝරා ගන්නා ලදි. එහෙත් ඒ සමගම ඊට පහළින් පැවැති තරගාවලියත් (‘බී’ තලයේ) පළමු පෙළ තරග ලෙසින් නම් කරන ලදි. එය කදිම විහිළුවක් වූයේ මට්ටම් දෙකක තරගාවලි දෙකම පළමු පෙළ ලෙසින් නම් කරනු ලැබීමයි.

සත්‍ය තත්ත්වය නම් ක්‍රීඩා සමාජ වලින් තමන්ට ලැබෙන ඡන්දය අහිමි වන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් පත්වූ කිසිම සභාපතිවරයකු, ලේකම්වරයකු හෝ උප සභාපතිවරයකු ඒ සම්බන්ධයෙන් සෘජු තීරණක් ගැනීමට උත්සුක නොවීමයි. දෙවැනි වතාවේදී ඡන්දයෙන් පත්වන විධායක කමිටු සාමාජිකයන්ගේ ක්‍රීඩා සමාජය පහළ කොටසේ නම් කෙසේ හෝ සභාපතිවරයා එකඟ කරගනිමින් තමන්ගේ ක්‍රීඩා සමාජයට ඉහළ තත්ත්වය අරන් දීමට ඔව්හු ක්‍රියාකරති. සභාපතිවරයාගේ උවමනා එපාකම් වෙනුවේ කඬේ යති.

පසුගිය දශක දෙක තුළදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දේශීය තරගාවලියේ කතාව මෙයයි. අවස්ථා දෙක තුනකදී වඩාත් ශක්තිමත් දේශීය ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වුවද විධායක කමිටු රැස්වීම් වලදී එම යෝජනා කුණු බක්කියට විසිවූ බවද රහසක් නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයට ඇද දැමීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාරගත යුත්තේ සාමාජික ක්‍රීඩා සමාජම මිස අන් කවකුර හෝ නොවේ. ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ එකම අරමුණ තමන්ගේ ක්‍රීඩා සමාජයට ලොකු කුට්ටියක් ලැබෙන පරිදි ලොක්කන්ට ආවැඩීමයි. කරපටි කබා පැළඳ අන්තර්ජාතික තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී පෙරහැරේ යාමයි.

ක්‍රීඩා සමාජ කෙරේ විශ්වාසය තැබීම තවදුරටත් මිථ්‍යාවකි. මක්නිසාද  යත් ඔවුනට ඡන්ද බලය ඇති බැවිනි.
ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ මනා අධ්‍යනයකින් පසුව සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් මහේල ජයවර්ධන විසින් (ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව) හිටපු අතුරු කමිටුවකට බාර දුන්නේය. අතුරු කමිටු නිලධාරීන් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙද්දීම වයඹ පළාතේ ක්‍රීඩාංගණයක් සෑදීමට උනන්දු වූ දේශපාලනඥයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග විරසක වීම නිසා අතුරු කමිටුවට ගෙදර යාමට සිදුවිය. හේතුව වූයේ අදාළ ක්‍රීඩාංගණය සෑදීම සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අකමැති වීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඇද වැටී තිබෙන අගාධගේ ගැඹුර මතුපිටින් සිට බැලූ පමණින් නොපෙනේ. එය ඒ තරමටම භයංකාර ප්‍රපාතයකි. එහෙත් එයින් ගොඩ ඒම කළ හැකිය. ඒ සඳහා ඇති එකම ඉනිමඟ පාසල් ක්‍රිකට් පද්ධතියයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නම්වූ මෙම ඉනිමඟ දෙමාපියන්ගේත් ආදි සිසුන්ගේත් බලපෑම් වලට වැනෙන්නට නොදී, සෘජුව අල්ලා ගෙන සිටීමට තරම් නොසැලෙන ආත්ම ශක්තියක් ඇති මහත්මා ගුණයෙන් යුතු පුහුණුකරුවන් සිටී නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකිය.

අතීතයේ එවන් පුහුණුකරුවෝ සිටිය. ලයනල් මෙන්ඩිස්, නෙල්සන් මෙන්ඩිස්, ඩබ්ලිව්. ඒ. එන්. (වෑන්) සිල්වා, පී. ඩබ්ලිව්. පෙරේරා සහ ලෙස්ලි නාරංගොඩ යන මහත්වරු ඔවුන් අතුරින් කිහිප දෙනෙක් පමණි.

අද ශ්‍රී ලංකාවවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඕනෑ කරන්නේ ඩොලර් වලින් වැටුප් ලබන, අංක 6 ඉලක්කම් වලින් දීමනා ලබන විශේඥයින් නොවේ. කුඩා කාලයේ සිටම ක්‍රීඩකයකුගේ කන මිරිකා හරි වැරැද්ද කියා දිය හැකි නිර්භය පුහුණුකරුවන්ය.

ඩයලොග් - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට සම්මාන දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මාවන් අතපත්තු මහතාද මෙවැනිම කතාවක් කීවේය.

 


අදහස් (0)

සුරංගනා කතාවක තිත්ත ඇත්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.