Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 වාස් වධක භූමිය හඳුනාගනී

වාස් වධක භූමිය හඳුනාගනී

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද වාස් පිළිගනී.

මේ වසරේදී පැවැති ටෙස්ට් තරග හතකදී බිඳ වැටුණු කඩුලු 105 කින් වේග පන්දු යවන්නන් විසින් දවාගනු ලැබ ඇත්තේ කඩුලු 38 ක් පමණි. එයින් 19 කම හිමිකරුවා වන්නේ ළහිරු කුමාර වන අතර තවමත් 20 හැවිරිදි ක්‍රීඩකයකු වන ළහිරු කුමාරගේ පළමු පෙළ කඩුලු 29 න් 19 ක් ටෙස්ට් කඩුලු වෙයි.

ටෙස්ට් නොවන පළමු පෙළ තරග 3 කදී ළහිරු කුමාරට ඇත්තේ කඩුලු 10 ක පමණි.

මේ වන විට ක්‍රීඩා සමාජ කණ්ඩායම් 24 ක් දක්වා දියාරු වී තිබෙන ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියෙන් වේග පන්දු යවන්නන්ට පිටිවහලක් නොලැබෙන බව ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා කියයි. එසේ කියන්නේද හුදෙක් පුහුණු සහතික පමණක් ඇති අයකු නොව, ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක හිමිකරුවෙකි.

“අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන ආකාරය ගැන කොහොමටවත් සෑහීමකට පත්වෙන්න බෑ. අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වේග පන්දු යවන්නන්ටත් හොඳ තරගාවලියක් කරන්න ඕනෑ. ඒත් කොච්චර කතා කළත් ප්‍රශ්නය තවමත් එතැනමයි.” යයි ශ්‍රී ලංකා - ඉන්දීය තුන්වැනි ටෙස්ට් තරගයෙන් පසුව චමින්ද වාස් පැවසීය.

“අපේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න ඕනෑ නම්, තව තවත් වේග පන්දු යවන්නන් හදාගන්න ඕනෑ නම් අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනෑ. (දේශීය ක්‍රිකට් තරගාවලියේදී) වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු හැදෙන්න ඕනෑ. එහෙම කළොත් අපේ වේග පන්දු යවන්නන් අදට වඩා හොඳ තත්ත්වයක සිටින බව මට කියන්න පුළුවන්” යයිද පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී චමින්ද වාස් පැවසීය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් වරින් වර කැඳවනු ලබන චමින්ද වාස් අවස්ථා කිහිපයකදීම එම තනතුරෙන් ඉවතට වීසි විය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තනතුර හැර ගිය චමින්ද වාස් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වූයේ 19 න් පහළ පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙනි.

මාසයකට පමණ ඉහතදී චම්පක රාමනායක මහතා ඉල්ලා අස්වීමත් සමග නැවතත් ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් තාවකාලික පත්වීමක් ලද චමින්ද වාස්ගේ කාලය මේ මස අගදී යළි අවසන් වෙයි. ඒ රුමේෂ් රත්නායකගේ පැමිණීමත් සමගිනි.

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම පුහුණුකරුවන්ගේත් දඟ පන්දු යවන්නන්ගේත් ග්‍රහණයට ලක්ව තිබේ. තරග ජයගැනීමේ අරමුණෙන් මඩනා ලද පුහුණුකරුවෝ වේග පන්දු යවන්නන් නොසලකා හරිති. දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරු සකස් කරමින් වේග පන්දු යවන්නකුගේ පන්දු යැවීම තරගයකදී ඕවර කිහිපයකට පමණක් සීමා කරන අතර දඟ පන්දු යවන්නෝ කඩලු මලු ගණන් පුරවා ගනිති.

එහි අනුයාත ප්‍රතිඵලය වන්නේ වේග පන්දු යවන්නකුට ඕවර 10 ක් එකදිගට යවාගත නොහැකි වීමයි. ඒ සඳහා ඔවුන්ගේ ශරීර සූදානම් නොවීමයි. එසේ කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම වේග පන්දු යවන්නෝ විවිධ ශාරීරික ආබාධ වලට ලක්වෙති. ක්‍රීඩා සමාජ තරග වලදී පන්දු යැවීමේ වාරය ඕවර 5 කට හෝ 6 කට සීමා කර පුරුදු වේග පන්දු යවන්නන්ට අන්තර්ජාතික තරගයකදී එක දිගට ඕවර කිහිපයක් යවාගත නොහැකිය. පන්දුවේ නියමිත එල්ලය රඳවාගත නොහැකිය.

ශ්‍රී ලංකාවේ දැනට සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නන් වන්නේ සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනායි. ඔවුන් දෙදෙන මේ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග දෙස හැරී බලන්න.

සුරංග ලක්මාල් තරග 5 ක ඉනිම 9 කදී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9 කි. සාමාන්‍යය ඉනිමකදී කඩුල්ලකි.

ලක්මාල්ට පසුව සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ටෙස්ට් තරග 4 ක ඉනිම 6 කදී දවාගෙන ඇත්තේ කඩුලු 10 කි. නුවන් ප්‍රදීප් විසින් දවාගන්නා ලද එම කඩුලු 10 ම ඉනිම දෙකකදී (78/4 සහ 132/6) දවාගෙන ඇති අතර ඔහු ඉනිම 4 කදීම එකම කඩුල්ලක්වත් දවාගැනීමට අපොහොසත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙසින් සැලකෙන මේ දෙදෙනාගේ සැබෑ තත්ත්වය එයයි. එපමණක් නොව, මෙම පන්දු යවන්නන් දෙදෙනාම මේ වන විටත් ආබාධ වලට ලක්ව සිටින අතර එස්. එස්.සී. ටෙස්ට් තරගයේ තනි වේග පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් ඕවර 17.4 ක් යැවීමෙන් පසුව පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් ඇතිවීමෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

සංඛ්‍යාත්මක දත්ත එසේ වුවත් චමින්ද වාස් මෙම පන්දු යවන්නන් දෙදෙනා වෙනුවෙන්ම ආවරණයක් සැපයීය.
“ඔවුන් ක්‍රීඩා කළ තණතීරු මොනවාද කියලත් අපි බලන්න ඕනේ. ජොහැන්නස්බර්ග් තණතීරුව වේග පන්දු යවන්නන්ට යෝග්‍ය වුණ පළියට කඩුලු සේරම වේග පන්දු යවන්නන්ට ගන්න බෑ. අනෙක් පැත්තෙන් පන්දු යැවූ කෙනා කවුද කියාත් බලන්න ඕනෑ” යයි පැවසූ වාස්...

“වේග පන්දු යැවීම කියන්නේ එක්කෙනෙකුගේ දෙයක් නෙමේ. වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් ක්‍රීඩා කරනවා නම් ඒ තුන් දෙනා එකිනෙකාට උදව් කරගෙන පන්දු යවන්න ඕනේ.....ප්‍රදීප් කඩුලු දවාගත්තේ නැති වුණත් ඔහු පන්දු යැවූ ආකාරය ගැනත් බලන්න ඕනේ” යයිද පැවසීය.

එක තරගයක් හෝ දෙකක් සම්බන්ධයෙන් වාස්ගේ කතාව පිළිගත හැකිය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් මේ සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කර ඇත්තේ මාස හයක කාලයක් වෙනුවෙනි. මාස හයක කාලයක් පුරා ටෙස්ට් තරග 7 කදීම ශ්‍රී ලංකාවේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනා විසින් දවාගනු ලැබ ඇත්තේ කඩුලු 19 ක් පමණි. ඇරත් එම කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග 7 න් තරග 5 ක් පරාජය වී තිබේ. එසේ නම් හොඳින් පන්දු යැවීම පිළිබඳව කිව හැක්කේ කුමක්ද ?

පල්ලෙකැළේ ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (12 වැනිදා) පන්දු යැවීම සම්බන්ධයෙන්ද වාස්ගේ පැහැදීමක් නැත. එහෙත් ඔවුන් දෙදෙනාගේ අනාගතය වාස් දකී.

“අපේ වේග පන්දු යවන්නන් දෙදෙනා අද උදේ පන්දු යවපු විදිහ ගැන නම් මට ඒ තරම් පැහැදීමක් නෑ. ඒ දෙන්නා කඩුල්ලේ හැම තැනම පන්දු යැව්වා....මම මේ නිදහසට කරුණු කියනවා නෙමේ. ඒත් ඔවුන් දෙන්නාම තරුණයි. විශ්ව එයාගේ දෙවැනි ටෙස්ට් තරගය. ළහිරු එයාගේ හයවැනි තරගයද කොහෙද. ඒත් දිවා ආහාරයෙන් පස්සේ ඒ දෙන්නාම හොඳින් පන්දු යැව්වා” යයිද වාස් පැවසීය.

ශ්‍රී ලංකාවට හොඳ වේග පන්දු යවන්නන් සිටින බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට තරමක් ඉවසීම තිබිය යුතු බවත් වාස් කියයි. එම වේග පන්දු යවන්නන්ට ටිකක් කාලය දිය යුතු බවද කියන වාස්... “ඔවුන් ඒ තරම් ක්‍රිකට් ගහලා නෑ.....ඒත් ඔබ ඉන්දීය වේග පන්දු යවන්නන් දෙස බැලුවොත් ඔවුන් තරග 60 ක් විතර ක්‍රීඩා කරලා තියෙනවා. අපි ඉවසීමෙන් හිටියොත් අපේ වේග පන්දු යවන්නන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්” යයිද පවසයි.

වේග පන්දු යවන්නන් දිගින් දිගටම ආබාධ වලට ලක්වීම පිළිබඳ ඔහුට ඇත්තේ කණස්සල්ලකි. එහෙත් ඒ වෙනුවෙන් විසඳුම් සෙවීම ඔහුට කළ හැකි දෙයක් නොවේ. එය පවතින යාන්ත්‍රණය විසින් හසුරුවාගත යුත්තකි.  

“ඒක වෙන්නේ අපි පුහුණුවීම් වලදී ක්‍රීඩකයන් කළමණාකරණය කරන විදිහ වගේම ඔවුන් ක්‍රීඩා කරන තරග ප්‍රමාණය අනුවයි. අනෙක තමයි ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම. අපි ඒවා හරි විදිහට කළමණකරණය කරගන්න ඕනා. ඔවුන්ව බලාගන්න ඕනෑ” යයි කියන වාස්...

“මගේ ශාරීරික තත්ත්වය වෙනස්. වේග පන්දු යවන්නකු වශයෙන් මම ප්‍රශ්න හසුරුවාගත්ත විදිහ වගේම මම පුහුණුවීම් වලදී පන්දු යැව්ව විදිහත් වෙනස්. ඒ නිසා වර්තමාන පන්දු යවන්නන්ගේ ශාරීරික තත්ත්වය මොකක්ද කියලා අපි හොයාගෙන ඒ අනුව ඔවුන්ව බලාගන්න ඕනා. එහෙම තමයි ඔවුන්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ” යයිද පැවසීය.

මෑත කාලීන ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගෙන් දක්නට ලැබුණ විශේෂිතම ලක්‍ෂණය වූයේ ඔවුන්ගේ පන්දු යැවීමේ වාර ඉතා කෙටි ඒවා වීමයි. ඉතාමත් හොඳින් පන්දු යවන අවස්ථාවකදී වුවද පන්දු යැවීමේ වාරයක් ඕවර 5 කට හෝ 6 කට සීමා වෙයි. එහෙත් වාස්ගේ අදහස වන්නේ වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණක් ක්‍රීඩා කරන බැවින් ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අරමුණ ඇතිව පන්දු යැවීමේ වාර කෙටි කරන බවයි. කෙසේ වෙතත් පන්දු යැවිය හැකි පිතිකරුවන් සොයාගත යුතුය යන්නත් වාස්ගේ මතයයි.

“අපට සිටින පන්දු යවන්නන්ගෙන් සමහර දෙනකුට පිතිකරුවන් වශයෙන් ලකුණු ලබාගන්නත් පුළුවන්. ඒත් වෙන්නේ ඒ ගොල්ලන් පිතිකරුවන් වුණාම ඔවුන් මැද පිල පිතිකරුවන් වෙලා පන්දු යැවීමෙන් ඈත් වෙනවා. ඒත් ඇත්තටම නම් ඔවුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ඉදිරියට ගෙන යා යුතුයි” යයිද වාස් පැවසීය.

පන්දු යැවීමේ හැකියාවෙන් යුත් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටි අසේල ගුණරත්න මේ වන විට තුවාල ලබා සිටී. ඔහුට තවත් සති තුනක් පමණ යන තුරු ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ. එහෙත් ඉන්දීය පිලේ එවන් ක්‍රීඩකයෝ තිදෙනෙක්ම සිටිති.

රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන තිදෙනා එක්ව මෙම තරගාවලියේදී ඉන්දීය පිල වෙනුවෙන් දැක්වූ දායකත්වය මතම ඉන්දියානුවෝ මේ වන විටත් තරගවලිය ජයගෙන සිටිති. මෙම ක්‍රීඩකයන් තිදෙනා එක්ව පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකේදී පමණක් ලකුණු 288 ක් රැස්කර තිබෙන අතර දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 27 කි.

 


අදහස් (0)

වාස් වධක භූමිය හඳුනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.