Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 වාසිදායක තණතීරු හදන්න වේවි

වාසිදායක තණතීරු හදන්න වේවි

ශනුක අරවින්ද - 2017 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමට මුහුණ දීම ශ්‍රී ලංකා පිලට ඉතාමත් අසීරු වන බව ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර් කියයි. ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට වාසිදායක වන අයුරින් තණතීරු සකස් කළහොත් මිස ඉන්දීය කණ්ඩායම අසීරුතාවට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වන බවද ගම්භීර් පැවසූ බව ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිලට (ප්‍රසාද ලකුණු 0) එරෙහිව පැවැති ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉතා අසීරුවෙන් ජයගන්නා ලද නමුත් එම තරගයේදී සිම්බාව්බේ ක්‍රීඩකයෝ ඉනිම දෙකේදීම ලකුණු 300 සීමාව පසුකර ගියහ. සිවුවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ ලකුණු 388 කි.

ටෙස්ට් තරගයේදී එවන් අසීරුතාවකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ පිල හමුවේ 3-2 ක් ලෙසින් පරාජය විය. එසේ වුවත් ලබන බදාදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට (ප්‍රසාද ලකුණු 92) මුහුණ දීමට සිදුවන්නේ ලෝකයේ අංක 1 හිමි ඉන්දීය පිලට (ප්‍රසාද ලකුණු 123) එරෙහිවය.

කොළඹ සී.සී.සී. පිටියේදී අද (22 වැනිදා) නිමාවූ දෙදින පුහුණු තරගයේදීත් වරෙක කඩුල්ලක් දැවී ලකුණු 139 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අවසන් කඩුලු 9 ම ලකුණු 48 ක් තුළදී අහිමි කරගත්තේය. සභාපතිගේ පිල ලබාගත් ලකුණු 187 ට පිළිතුරු වශයෙන් ඉන්දීය පිල කඩුලු 9 ක් දැවී 312 ක් ලබාගත් නමුත් ඉන්දීය පිලේ විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, ෂිකාර් ධවාන් සහ රෝහිත් ෂර්මා යන සිවුදෙනාම තමන්ගේ කඩුලු අතහැර දමමින් ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

මේ ඕනෑ තරම් හැකියාවන් සහිත තරුණ ක්‍රීඩකයන් සිටිනවා යයි කියන ශ්‍රී ලංකාවේ යොවුන් කණ්ඩයමක තත්ත්වයයි.

“මේක කාටත් පේන්න තියෙන දෙයක්. ඉන්දියාව මෙම තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය ජයගත හැකි කණ්ඩායම ලෙසයි. ඔවුන් ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම. අනෙක ශ්‍රී ලංකාව පසුගිය දවස් වල ක්‍රීඩා කරපු ආකරයෙන් පෙනෙන්නේ ඉන්දීය පිල අසීරුතාවට පත්කරන්න තරම් පන්දු යවන්නන් ඔවුන්ට නැහැ කියන එකයි”

“අපේ කඩුලු 20 ම දවාගන්න ඔවුන්ට තිබෙන එකම ක්‍රමය ඔවුන්ගේ පන්දු යවන්නන්ට වාසිදායක වන විදිහට තණතීරු සකස් කිරීමයි” යයි ඉන්දියාවේ පී.ටී.අයි පුවත් සේවයට ගම්භීර් පවසා තිබිණ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ නමුත් එම තරගාවලියේ අනුශූරයන් වූ ඉන්දීය කණ්ඩායම පසුව බටහිර ඉන්දීය පිලට එරෙහිව එක්දින තරගාවලියකට සහ විස්සයි-20 තරගයකට සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණියේය. ගම්බීර්ගේ අදහස වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන ස්වරූපය අනුව ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 තරග අතරේ ඉක්මනින් හැඩගැසීමට ක්‍රීඩකයන්ට සිදුවී තිබෙන බවයි.

“අපි විතරක් නෙමේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් ශූරයන්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. සිම්බාව්වේ පිලට එරෙහිව ඔවුන්ට තිබුණෙත් එකම ටෙස්ට් තරගයක් විතරයි..දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය ඒකයි..මේ තත්ත්වයන් අතරේ වෙනස් වෙන්නට ක්‍රීඩකයන්ට මානසික ශක්තිය තියෙන්න ඕනේ” යයි ගම්භීර් කියයි.

සිම්බාබ්වේ පිලට එරෙහිව සිවුවැනි ඉනිමේදී කඩුලු 6 කට ලකුණු 391 ක් ලබාගත් නමුත් ඉන්දියාව හමුවේ ක්‍රීඩා කිරීම වෙනස් ආකාරයේ අභියෝගයක් බව ගම්භීර් කියයි.

“ඕනෑම ආකාරයේ කණ්ඩායමකට එරෙහිව ලබාගන්නා ජයක් සතුට දනවන්නක් තමයි. ඒත් සිම්බාබ්වේ කණ්ඩායමයි ඉන්දියාවයි සංසන්දනය කරන්න බෑ. ඉන්දියාවට එරෙහිව තරග කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ අභියෝගයක්...ඒක ගොඩක් අසීරුයි” යයි කී ගම්භීර් කියා තිබිණ.

 


අදහස් (0)

වාසිදායක තණතීරු හදන්න වේවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.