Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ

විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ

Nisanka Sandeepani - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විස්සයි විස්ස තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරග මගහැරීම බලවත් ප්‍රශ්නයක්ව තිබෙන බවත් එබැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා අවම මුදලක් හඳුන්වා දෙන්නැයි ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා කරයි. වර්තමානය වනවිට ජනප්‍රියව තිබෙන සහ මූල්‍යමය වශයෙන් වඩාත් වාසි ගෙන දෙන විස්සයි20 තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් අතහැර යාම විශාල ප්‍රශ්නයක්ව ඇතැයිද තරුණයන් එය වහාම නතර කළ යුතු යයිද සංක්කාර කියයි. 

හොං කොංහි පැවැති විස්සයි-20 තරගාවලියකට සහභාගි වෙමින් සිටින සංගක්කාර ප්‍රංශ පුවත් සේවය සමග පැවැති පිළිසඳරකදී මේ බව පැවසීය. 

වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානයේ පසුවන කුමාර් සංගක්කාර පසුගිය වසරේදී පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගත්තේය. එහෙත් ඔහු තවමත් විස්සයි20 තරගාවලිවලට සහභාගී වෙමින් ලොව පුරා ඇවිදිමින් සිටී. 

ක්‍රිකට් ක්‍රීඩාව ලොවපුරා ප්‍රචලිත කිරීමට විස්සයි20 තරග සමත්ව ඇතැයි පෙන්වාදෙන 40 හැවිරිදි සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් නොකළහොත් ඉදිරියේදී දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පෙන්වාදෙයි. තරුණ ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ රඳවා ගැනීමට වෙනස්කම් කළ යුතු බව ද හෙතෙම කියයි. 

“ඇමෙරිකාව, චීනය ආදී රටවල්වලට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමට වඩාත්ම ගැලපෙන තරග රටාව විස්සයි20 තරගයි. විස්සයි20 තරග ආරම්භයේ සිට මේ දක්වා කාලයේදී එය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල ශක්තියක් වී තිබෙනවා. එහෙත් ඍණාත්මක කරුණු කිහිපයකුත් තියෙනවා.”

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු විය යුතු තරුණ ක්‍රීඩකයන් විස්සයි20 තරග රටාවට යොමු වී තිබෙනවා. එය කනගාටුවට කරුණක්” යයිද සංගක්කාර පැවසීය. 
“කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. විශේෂයෙන්ම ටෙස්ට් තරගයකදී ක්‍රීඩකයකුට ගෙවන මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පොදුවේ ගෙවිය යුතු අවම මුදලක් තිබිය යුතුයි නේද. ඉහළ මූල්‍ය හැකියාවක් තිබෙන රටවල් ක්‍රීඩකයන්ට ටෙස්ට් තරගයකදී නිශ්චිත මුදලක් ගෙවනවා. එය අනෙක් රටවලටත් තිබිය යුතුයි නේද ? ” සංගක්කාර ප්‍රශ්න කරයි.


වර්තමානයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගයකදී ගෙවන මුදල රටින් රටට වෙනස් වන අතර ක්‍රිකට් ලොව ප්‍රබලයන් තිදෙනා වන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවන මුදල අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය. 

‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය පසුගිය වසරේදී කළ සමීක්ෂණයකට අනුව 2017 වසරේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පමණක් උපයාගනු ඇතැයි ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් 1,469,000කි. ඒ අතරවාරයේදී ඊට සාපේක්ෂව සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර් උපයාගත් මුදල ඩොලර් 86,000 කි. 

විස්සයි20 තරගාවලි ඕස්ටේ්‍රලියාවේ බිග්බෑෂ් තරගාවලියේ සිට ඉන්දියාවේ අයි.පී.එල් තරගාවලිය දක්වා ව්‍යාප්ත වී ගොස් තිබේ. ඊට අමතරව බංග්ලාදේශය, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවලත් විස්සයි20 ක්‍රිකට් තරගාවලි පැවත්වේ. 

මූල්‍යමය අතින් පහත තත්ත්වයක සිටින රටවල ක්‍රීඩකයන්ට ලොවපුරා විස්සයි20 තරගවලට සහභාගී වෙමින් ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් උපයාගන්නා මුදලට වඩා මුදලක් උපයාගත හැකිය.  පසුගිය මාසයේදී පැවති එම්.සී.සී ලෝක ක්‍රිකට් කමිටුවේ වාර්ෂික රැස්වීමේදීද වැටුප් ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා විය. 

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම මට්ටම ලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද ඉදිරිපත් විය යුතු යැයි ද ඒ සඳහා දිවා රාත්‍රී ටෙස්ට් තරග සහ සිව්දින ටෙස්ට් තරග ප්‍රවර්ධනය වැනි ක්‍රියාමාර්ග ගත හැකි බවද සංගක්කාර පෙන්වාදෙයි. 

“ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියන එක ප්‍රේක්ෂකයන් වගේම ක්‍රීඩකයනුත් දැනගන්න ඕනේ. ක්‍රීඩාවේ අදාළත්වය ඉතා වැදගත්. ක්‍රීඩාව වර්ධනය කිරීම හා පවත්වාගෙන යෑම තිරසාර වෙන්න ඕනේ”

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ශක්තිමත් කියලා මම හිතනවා. එක්දින හා විස්සයි20 තරග තිබුණත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී ගෞරවය හිමිවන්නේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විටයි. ටෙස්ට් ක්‍රිකට් තවමත් ක්‍රීඩාවේ මුදුන් හිණිපෙත්ත බව කිව යුතුයි” යැයි සංගක්කාර පැවසීය. 

 

ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි 
සැකසුම : හර්ෂණ තුෂාර සිල්වා


අදහස් (0)

විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.