Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මාලිංගගේ හිත වෙන අතක යයි

මාලිංගගේ හිත වෙන අතක යයි

ශනුක අරවින්ද - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමෙන් සමුගැනීම සම්බන්ධයෙන් ඉඟි පළකර සිටී. මෙවර අයි.පී.එල්. තරගාවලියේදීත් ස්ථානය අහිමි වූ මාලිංගට ලැබී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් පිලේ උපදේශක තනතුරකි. මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යවන්නන්ගේ ආදර්ශය ලෙසින් මාලිංග පත්කරනු ලැබ ඇත.

පසුගිය දශකයේ මුම්බායි ඉන්දියන්ස් පිලේ ජයග්‍රහණ රැසකටම දායක වූ මාලිංග මුම්බායි පිල සහභාගි වූ තරග 157 න් තරග 110 ක් සඳහා සහභාගි වී තිබේ.

“මානසික වශයෙන් මම දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන එකෙන් මිදිලා තියෙන්නේ. මා හිතන්නේ නෑ මම තවදුරටත් අන්තර්ජාතික තරග වලට සහභාගි වෙයි කියලා. මම ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය ඉක්මනින්ම නිකුත් කරන්න දැනටමත් සැලසුම් කරමින් ඉන්නේ” යයි ලසිත් මාලිංග පී.ටී.අයි. පුවත් සේවයට පවසා තිබේ.

ස්විට්සර්ලන්තයේ ශාන්ත මෝටිස් නුවරදී පැවැත්වෙන “අයිස් අභියෝගය” ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා එහි ගොස් සිටින ලසිත් මාලිංග පී.ටී.අයි. පුවත් සේවයට එසේ පවසා තිබිණ.

“මා තවමත් මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා නෑ. ඒත් මම ගෙදර ගියාම ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියට සහභාගි වෙලා බලන්න ඕනෑ මගේ ශාරීරික තත්ත්වය කොහොමද කියලා”

“මගේ අයි.පී.එල්. තරග අවස්ථාවන් අවසන් නිසා මුම්බායි ඉන්දියන්ස් පිල සමගින් මම වෙනස් විදිහකට ඉන්න බලනවා. ඒ කොහොම වුණත් මා නැවතත් ක්‍රීඩා කරන එකක් නෑ” යයිද මාලිංග පැවසීය.

අතුරු සිදුරු නැතිව පිරීගිය වැන්කඬේ ක්‍රීඩාංගණයේදී මුම්බායි ඉන්දියන්ස් ඇඳුමෙන් සැරසී ක්‍රීඩා නොකර සිටීම අසීරුතාවකට මුහුණ දීමක් බව මාලිංග දනී. එහෙත් ක්‍රීඩකයකු වශයෙන් තමන්ගේ කාලය අවසන් වෙමින් යන බව මාලිංග පිළිගත්තේය.

ස්විට්සර්ලන්තයේ ශාන්ත මෝටිස් නුවරදී පැවැත්වෙන “අයිස් අභියෝගය” ක්‍රිකට් තරගාවලියට සහභාගි වූයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින ජැක් කලිස්, ග්‍රැහැම් ස්මිත්, මැතිව් ප්‍රයර්, ඔවිස් ෂා සහ සහීඞ් අෆ්රීඩි වැනි ක්‍රීඩකයන්ය. වියපත් වී තරග බිමෙන් ඉවත්ව සිටියද මාලිංගගේ ඕවර 6 කින් ලකුණු 79 ක් (3-39 සහ 3-40) උදුරා ගැනීමට ඔව්හු සමත් වූහ.

“හැමෝටම ඒ පණිවුඩය ඉබේම වගේ ලැබෙනවා. වසිම් අක්රම් වගේ අති විශිෂ්ටයෙක් වුණත් තමන්ගේ කාලය අවසන් වෙමින් යනකොට ඒ බව දැනගත්තා”

“මාව තවදුරටත් කණ්ඩායමේ රඳවා නොගැනීමට ඔවුන් (මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරීත්වය) ගත් තීරණය සම්බන්ධයෙන් මා පුදුමයට පත්වෙන්නේ නෑ. මට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් එක්ක ඉතාමත් හොඳ අවුරුදු 10 ක් තිබුණා.....ඒත් මේ වතාවේ අයිතිකරුවන් මට කතා කළා. කතා කරලා ඒගොල්ලන්ගේ අනාගත දැක්ම මොකක්ද කියන එකමට කිව්වා...ඔවුන්ට ඕනෑ කරන්නේ ඉදිරි අවුරුදු තුන සඳහාම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් හදා ගැනීමයි”

“අනෙක් අතට මගේ තරග සමය ඉවරයි කියලා මම වුණත් තේරුම් අරන් තියෙන්නේ” යයිද මාලිංග පැවසීය. ක්‍රිකට් උපදේශකවරයකු ලෙසින් වෙනත් මාවතක ගමන් කිරීම මාලිංගගේ අපේක්‍ෂාව වී තිබේ.

“මට දැන් 34 යි. මම තවදුරටත් තරුණ වෙන්නේ නෑ. ඒ නිසා මගේ දිවියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තීරණයක් ගන්න මේ වෙලාව හොඳයි” යයිද මාලිංග පැවසීය.

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 110 ත්, ලෝකයේ වෙනත් කණ්ඩායම් වෙනුවෙන් සහ අන්තර්ජාතික තරගත් එක්වූ කල්හි විස්සයි-20 තරග 248 කදී කඩුලු 331 ක් දවාගෙන තිබේ.

“උපදේශකවරයකු වශයෙන් මේ වෙලාවේ මගේ වගකීම වෙන්නේ ඊළඟ පරම්පරාවේ වේග පන්දු යවන්නන්ට මඟ පෙන්වීමයි. මම මගේ දැනුම ඔවුන්ට දෙනවා. ඒ එක්කම මට පුළුවන් පුහුණුකරුවෙක් වශයෙන් මට තිබෙන අවස්ථාව කොයි වගේද කියලා දැනගන්න” යයිද මාලිංග පැවසීය.


අදහස් (0)

මාලිංගගේ හිත වෙන අතක යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.