Last Update  :  2025-05-07 11:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාකිස්තානුවන් අපට අමුත්තන් නෙමේ - මැතිව්ස්

පාකිස්තානුවන් අපට අමුත්තන් නෙමේ - මැතිව්ස්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකිනෙකා හා කොයිතරම් අවස්ථා ගණනක් කී‍්‍රඩා කළද පාකිස්තානු පිල පරාජය කිරීම පහසු කාරියක් නොවන බවත් අවසන් ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කරදර නොවී තමන්ගේ කාරිය හරියට කරන්නේ නම් අවසානයේදී හොඳ ප‍්‍රතිඵලයක් ලැබෙන බවත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

”පාකිස්තානු කණ්ඩායමත් එක්ක තරග කරන වෙලාවලදි ඔවුන් අපට අමුත්තන් නෙමේ. ඔවුන් අපේ කී‍්‍රඩාංගණ වල තත්ත්වය හොඳින්ම දන්නවා. ඒ තත්ත්වයට අනුගත වෙන එක ඔවුන්ට ඒ තරම් ලොකු දෙයක් නොවේ”

”ඒ නිසා මා කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ සෑම ඉරියව්වකදීම අපි අපේ ඉහළම දස්කම් දැක්විය යුතුයි. අපේ ඉලක්කය හැකිතාක් දුරට අපේ සැලසුම් ඒ ආකාරයෙන්ම කි‍්‍රයාවේ යෙදවීමයි. ඒ කියන්නේ අපට හැකි තරම් හොඳින් පන්දුවට පහර දීමත්, පන්දු යැවීම වගේම පන්දු රැකීමත් කළ යුතුයි” යයි අද (16 වැනිදා) ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති පුහුණුවීම් වලින් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡවකදී මැතිව්ස් පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයට සූදානම් වන්නේ මාස 2 ක පමණ විවේකයකට පසුවය. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැති අයි. පී. එල්. තරගාවලියට සහභාගි වූයේ මෙම ටෙස්ට් සංචිතයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් පමණි.

එබැවින් ලද විවේකය තරමක් දීර්ඝ යයිද එය දස්කම් කෙරේ කිසියම් අනිසි බලපෑමක් ඇතිකළ හැකිවාක් මෙන්ම වඩාත් හොඳ ප‍්‍රතිඵළ ගෙන එනු ඇතැයිද යන්න එකිනෙක හා ගැටෙන මත දෙකකි.

”තරමක් දුරට ඒ දෙකම තියෙනවා.... සමහර වෙලාවට අපි ටිකක් මේ කී‍්‍රඩාවට (ටෙස්ට් තරග සඳහා) අලූත් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. අපි පසුගිය සති කිහිපයේදී ඉතාමත් වෙහෙස මහන්සියෙන් පුහුණු වුණා”
”ඒ නිසා ඒ විවේකය අපට ඉතාමත් වටිනවා. ඒ විවේකය නිසා අපට කිසියම් පුනර්ජීවයක් ලැබෙනවා” යයි  ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

පාකිස්තානු පිල මෙවර තරගාවලියට එක්ව සිටින්නේ ඔවුන්ගේ ප‍්‍රබලතම දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් නොමැතිවය. පන්දු යැවීමේ ඉරියව්වේ නිරවද්‍යභාවය පිළිබඳ තවදුරටත් වෙහෙසෙන සයීඞ් අජ්මල් ගෙදර තැබූ පාකිස්තාන් පිල මෙවර ශී‍්‍ර ලංකාවට ආවේ දකුණතින් පා දග පන්දු යවන්නකු වන යසිර් ෂා සහ වමතින් දග පන්දු යවන සුල්ෆිකාර් බාබර් කැටුවය.

”පා දග පන්දු යවන්නා වගේම වමතින් දග පන්දු යවන්නාත් ඉතාමත් හොඳ කී‍්‍රඩකයන් වගේ පෙනෙනවා. කොහොම වුණත් (අජ්මල් කණ්ඩායමේ නැති බැවින්) ඔවුන් සුළුවෙන් තකන්න අපට බෑ” යයි කී මැතිව්ස්....

”අපි ඒගොල්ලන් එක්ක එච්චර සෙල්ලම් කරලා නෑ. (සුල්ෆිකාර්) බාබර් එක්ක අපි එක්දින තරගාවලියක් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒත් ටෙස්ට් කී‍්‍රඩා කරලා නෑ. ඒත් ඔුවන්ගේ වීඩියෝ බැලූවාම ඔවුන් ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් බව පෙනෙනවා. මේ දෙන්නාම හොඳ ඉලක්කයකට පන්දු යවනවා”

”මේ පන්දු යවන්නන් දෙදෙනාම ඉතාමත් හොඳයි. ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය කොයි වගේද කියලා ඔවුන් දෙදෙනාට මුහුණ දීලාම බලන්න  ඕනේ ” යයිද මැතිව්ස් අද සවස පැවසීය.

මැතිව්ස් කියන ආකාරයට ගාල්ල තණතීරුවේ විශේෂ වෙනසක් නැත.

”පෙනෙන විදිහට නම් සාමාන්‍යයෙන් අපි ගාල්ලේදී දකිණ තණතීරුවම තමා මේ පාරත් තියෙන්නේ. මුලදී පිතිකරුවන්ට ඉතාමත් හොඳයි. ඒත් අවසන් දින දෙකේදී තණතීරුව තරමක් ද`ග කැවෙනන්න පුළුවන්” යයි කියන මැතිව්ස්...

”තණතීරුවක් ගැන 100 ක් නිවැරදිව අනාවැකි කියන්න බෑ” යයිද පවසයි.

කෙසේ වෙතත් කාලගුණයෙන් තරගයේ තීරණයට බාධාවක් ඇති නොවනු ඇතැයි යන්න ශී‍්‍ර ලංකා නායකයාගේ විශ්වාසයි.

අද පෙරවරුවේදී පැවැති පුහුණු සැසියට රංගන හේරත් සහභාගි නොවීය. හෙට තරගයේදී වඩාත් විශාල කාර්යභාරයක් ඔහුට පැවරෙන බැවින් අද දිනයේ ඔහු පුහුණුවීම් වලට සහභාගි නොවූ බවද මැතිව්ස් පැවසීය.

දිගු කලකට පසුව ජෙහාන් මුබාරක් නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටියද, පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව ඉතාමත් හොඳ දස්කම් පෙන්වූ කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ දෙදෙනා පසෙකට ඇදදමමින් ටෙස්ට් පිලට එක්වීමට මුබාරක්ගේ පන්දු රැකීමේ දක්‍ෂතා පමණක් පමාණවත් වේ යයි සිතිය නොහැකිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් කීවේ මෙවන් කතාවකි.

”මා තවමත් තේරීම් කමිටු නිලධාරීන් හමුවූයේ නෑ. ඒත් අවසන් කී‍්‍රඩකයන් 11 දෙනා අතරට එක්වීම සඳහා කිත්රුවන් ඉතාමත් ආසන්නයෙන් සිටිනවා ... ඒත් ඒ ගැන තවමත් අවසන් තීරණයක් නෑ” යයි මැතිව්ස් අද දහවල් පැවසීය.

සුරංග ලක්මාල්ගේ ඉකිළියේ ඇතිවී තිබෙන ආබාධය තවමත් සම්පූර්ණ වශයෙන් සුවවී නැති හෙයින් හෙට තරගය සඳහා නම්කරන ලද කී‍්‍රඩකයන් 15 දෙනා අතරට ලක්මාල් එක් නොවේ.

ඡයාරූපය : ශාන්ත රත්නායක


අදහස් (0)

පාකිස්තානුවන් අපට අමුත්තන් නෙමේ - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.