Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 නැතිවූ ජයග්‍රහණයේ සූත්‍රය

නැතිවූ ජයග්‍රහණයේ සූත්‍රය

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම සමවූ නමුත් පරාජයන් වැල ආරම්භ වූයේ ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවැති සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරයත් සමගිනි. සිම්බාබ්වේ පිල හමුවේ එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා පිලට එකම ටෙස්ට් තරගය යන්තම් ජයගැනීමට හැකිවූයේත් රූපවාහිනී විනිසුරුවරයාගේ සිතිවිලි වෙනසකින් බව නොරහසකි.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එකම ටෙස්ට් තරගයේදී ලකුණු 388 ක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් ලකුණු 237 කට බිඳ වැටී තිබිණ. ඒ වන විට නොදැවී ලකුණු 37 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමකට හසුකරගත් අවස්ථාවේදී ඔහුගේ පාදය රැඳී තිබුණේ සීමා ඉර මත වූවත් රූපවාහිනී විනිසුරුවරයා ලෙසින් කටයුතු කළ ඉන්දීය ජාතික ශම්සුදීන් මහතාගේ තීරණය වූයේ දික්වැල්ල දැවී නොගිය බවයි.


මෙම අවස්ථාවේදී ලද වාසිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගය ජයගත් නමුත් එතැන් සිට නැවතත් ආරම්භ වූයේ පරාජයන් වැලකි. ඉන්දියානුවන් හමුවේ පැවැති ටෙස්ට් තරග තුනම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම එක්දින තරග තුනක් පරාජය වීමෙන් එම තරගාවලියත් පරාජය වී සිටී.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් පුහුණු කාර්ය මණ්ඩලයත් දන්නා සෙල්ලම් සියල්ල දමමින් කණ්ඩායම ජයමාවත වෙත හැරවීමට උත්සාහ කළද චාමර කපුගෙදර කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් කලක් ජයග්‍රහණය කළ ‘ක්‍රමය’ නැතිවී තිබෙන බවයි.
 

“මෙතැන කිසිම පිටස්තර ප්‍රශ්නයක් නෑ. ඒත් අපි තරග දිනපු ක්‍රමය අමතක වෙලා තියෙනවා. මේ තත්ත්වය තවත් කණ්ඩායම් වලට සිදුවෙලා තියෙනවා මම දැකලා තියෙනවා”


“කණ්ඩායමක් පරදින්න ගියාම ඔවුන් ජයග්‍රහණය අබියසට ආවත් ඒ කඩුල්ල පැනගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා. අපි ඒ දිනපු ක්‍රමය නැතිවෙලා. ඒත් කොහොම හරි එක තරගයක් දිනාගෙන ඉදිරියට යන්න ඕනෑ” යයි පල්ලෙකැළේදී පැවැති තුන්වැනි එක්දින තරගය අවසානයේදී චාමර කපුගෙදර පැවසීය.


එක්දින නායක උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්වීම නිසා තාවකාලිකව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් චාමර කපුගෙදර එක්දින තරග 100 කට වැඩියෙන් ක්‍රීඩා කළ පළපුරුදු පිතිකරුවෙකි. කණ්ඩායම තුළත් ක්‍රීඩකයන්ගේ විවේක කාමරය තුළත් සිදුවන දෑ පිළිබඳ මනා වැටහීමක් ඔහුට තිබේ.


එක අතකින් කපුගෙදරගේ කතාන්දරය දැනට පවතින ඇත්ත තත්ත්වය හෙළිදරව් කිරීමකි. මක්නිසාද යත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය පරාජය වූයේ පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙනි. එහෙත් එය ඔවුන් ග්‍රහණය කරගත්තේද යන්න සැක සහිතය.
පළමු එක්දින තරග තුනේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ මෙලෙසිනි.

 

තරගය ඕවර 10  ඕවර 25 ඕවර 40 ඕවර 50
1 වැනි තරගය 55 141 196 209*
2 වැනි තරගය 52 107 179 236
3 වැනි තරගය  37 97 159 217

 

මෙම තරග තුනේදීම පළමුවෙන් පන්දුවට පහර දුන්නේත් ශ්‍රී ලංකා කණ්ඩායමම වන හෙයින් තමන්ගේ ඉනිම දිගු කරගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට තිබිණ. එහෙත් පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල ඕවර 50 කටත් කලින් දැවී ගියේය.

 


විස්සයි:20 තරග ගැන අසන්නට වත් නොතිබූ 1980 දශකයේදී පවා එක්දින තරගයක ජයග්‍රහණයක් වෙනුවෙන් ආරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් ලෙසින් සලකනු ලැබුබේ ලකුණු 250 සීමාවයි. ඒ ජාවෙඞ් මියැන්ඩාඞ්, විවියන් රිචඞ්ස්, ඉයන් බොතම් මෙන්ම දුලිප් මෙන්ඩිස්ලාගේ යුගයයි. එහෙත් ආසන්න වශයෙන් ඕවරයකදී ලකුණු 5.00 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක වේගයක් රඳවාගෙන යාමේදී ප්‍රතිවාදීන්ගේ කඩුලු දවාගැනීමට වැඩි අවස්ථාවක් තිබිණ. ඒ මීට වසර 30 කට ඉහත තත්ත්වයයි.


1996 දී ජයසූරිය - කළුවිතාරණ විප්ලවයෙන් පසුව එක්දින තරගයකදී පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමක් විසින් යා යුතු ඉලක්කය 280 න් ඔබ්බට පැන්නේය. විස්සයි:20 තරග ගැන කතාබහක් නොතිබුණත් බ්‍රයන් ලාරා, මාටින් ක්‍රෝ, ඩීන් ජෝන්ස් සහ ඉන්සමාම් උල් හක් යුගයේදීත් ලකුණු 280 ක් ආරක්‍ෂා කරගත හැකි තත්ත්වයක් තිබුණේය. විස්සයි:20 තරග ආරම්භ වීමෙන් පසුව මෙම ඉලක්කය ලකුණු 300 ඉක්මවා ගියේ විදුලි වේගයෙනි.


ඉදින් ලෝකයේ වඩාත්ම සවිමත් පිතිකරු බලඇණියට එරෙහිව තරග වදිමින් ඉහත වගුවේ සඳහන් පරිදි ලකුණු ලබාගැනීම ජයග්‍රහණයකට ප්‍රමාණවත් වේද යන්න පිළිබඳ සිතා බැලීම පාඨකයන්ට ඉතිරි කර තවත් අංක කිහිපයක් කෙරේ අවධානය යොමු කිරීම වටී.


දෙවැනි එක්දින තරගයේදී (පල්ලෙකැළේදී පැවැති පළමු තරගය) ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පළමු ඕවර 10 ඇතුළත යවන ලද පන්දු 60 න් පන්දු 40 ක් ලකුණු ලබා නොගත් ඒවා විය. පල්ලෙකැලේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී (තරග මාලාවේ තුන්වැන්න) පළමු ඕවර 10 පන්දු 60 න් පන්දු 41 ක් ලකුණු ලබා නොගත් ඒවා විය.


තුන්වැනි එක්දින තරගයේදී ලකුණු ලබාගත් ආකාරය පහත වගුවේ සටහන් වෙයි.

පන්දු 180 යි ලකුණු 00 යි
තනි ලකුණු 97 යි ලකුණු 97 යි
2 ඒවා 12 යි ලකුණු 24 යි
3 ඒවා 0  ලකුණු 00 යි
හතරේ පහර 18 ලකුණු 72 යි
හයේ පහර 1 යි ලකුණු 06 යි
වයිඞ් පන්දු 8 යි  ලකුණු 8 යි
නිදහස්   ලකුණු 04 යි
පාදයේ වැදී ගිය  ලකුණු 06 යි
එකතුව      217 යි

 

ජයසූරිය - කළුවිතාරණ යුගයේදී පළමු ඕවර 10 ලකුණු සංඛ්‍යාවන් සමග සංසන්දනය කිරීම කෙසේ වෙතත් අඩුතරමේ ඉන් වසර 10 ටත් පසුව හෝ වර්තමානයේදී තරම් ‘තට්ටු පප්පලා’ හිටියේ නැත. ඉඳහිට කිසිවකු තරමක් වැරෙන් පහරක් දෙකක් ගැසුවද නිදැල්ලේ යන නැතහොත් ලකුණු ලබා නොගැනෙන පන්දු සංඛ්‍යාව එන්න එන්නම වැඩිවී තිබේ.


හිත සසළ කෙරෙන කාරණාව නම් තුන්වැනි එක්දින තරගයේදී යැවුණු පන්දු 308 න් (ඕවර 50යි, වයිඞ් පන්දු 8 යි) පන්දු 180 ක් ම ලකුණු ලබා නොගත් ඒවා වීමයි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඕවර 50 න් ඕවර 30 ක්ම තට්ටු දමා තිබේ. ලැබුණු ලකුණු 217 ඕවර 20 යි පන්දු 8 කින් ලබාගත් ඒවාය. (ඉහත වගුව බලන්න)


ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතක වූ නැතහොත් අස්ථානගතවී ඇති සූත්‍රය ඇත්තේ මෙතැනය.


ඕවර 50 තරගයකදී ඕවර 30 කට තට්ටු දමා, ඉතිරි පන්දු 120 න් 97 ක් තනි ලකුණු වන්නේ නම් කණ්ඩායමට එක්වන ලකුණු සංඛ්‍යාව ගැන කියනුම කවරේද? එවන් ලකුණු සංඛ්‍යාවකින් වර්තමාන විස්සයි:20 යුගයේදී එක්දින තරගයක් ජයගත හැකිවේද?


මේ කාසියේ එක පැත්තක් පමණි. එහි අනෙන් පැත්ත මෙසේ වෙයි.


ඉරිදා තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී චාමර කපුගෙදර මෙසේද කීවේය.


“අපිත් හැම තිස්සෙම කතාවෙන්නේ අපි ඉස්සරහට හොඳට කරන්නේ කොහොමද කියන එකයි. මා හිතන්නේ අන්තිම තරග දෙකේදි අපි පන්දු යවන්නන් වශයෙන් හොඳට පන්දු යැව්වා කියලයි”


මෙතෙක් පැවැති තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෝ  9 දෙනෙක් පන්දු යැවූහ. තරග තුනකදී දවාගත යුතු කඩුලු 30 කින් ඔවුන් 9 දෙනාම එක්ව දවාගත්තේ කඩුලු 11 ක් පමණි. ඒවායින්ද කඩුලු 8 ක් අකිල ධනංජයගේය. එයින් කියැවෙන්නේ පන්දු යවන්නන් 8 දෙනකුගේ වෙහෙස කඩුලු 3 ක් දවාගැනීමට පමණක් බවයි.


ඔවුන්ගේ පන්දු යැවීම් හමුවේ ඉන්දීය පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාවට එරෙහිව ඔවුන් විසින් දවාගන්නා ලද කඩුලුත් කෙළවරේ තීරුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම එක්ව (දුවද්දී දවාගැනීම්ද ඇතුළුව) දවාගන්නා ලද ඉන්දීය කඩුලු සංඛ්‍යාවත් පහත වගුවේ සටහන් වෙයි.

 

පන්දු යවන්නා 1 වැනි තරගය 2 වැනි තරගය  3 වැනි තරගය  එකතුව
ලසිත් මාලිංග 52/0 490 25/1 126/1
විශ්ව ප්‍රනාන්දු 43/0 32/0 35/1 110/1
ඇන්ජලෝ මැතිව්ස්  09/0 11/0 17/0 37/0
තිසර පෙරේරා  18/0     18/0
ලක්ෂාන් සඳකැන්  63/0     63/0
වනිඳු හසරංග 35/0     35/0
දුෂ්මන්ත චමීර   45/0 59/0 104/0
අකිල ධනංජය    54/6 38/2 92/8
මිලින්ද සිරිවර්ධන   39/1 43/0 82/1
දුවද්දී දවාගැනීම්  1 0 0 1
දවාගත් කඩුලු  220/1 231/7 218/4 669/12

 

නැතිවූ ‘ජයග්‍රහණයේ සූත්‍රය’ ඇත්තේ කොතැනද යන්න දැන් පැහැදිළි වනවාට සැක නැත.


“අන්තිම තරග දෙකේදී අපේ පන්දු යැවීමේ ගොඩක් ලොකු දියුණුවක් තිබ්බා. දැන් අපේ පිතිකරුවොත් කොහොම හරි ඒ වගේ දියුණුවක් ලබාගන්න ඕනේ. පිතිකරුවන් වශයෙන් අපි එකතු වෙලා කොහොම හරි හොඳ ලකුණු සංඛ්‍යාවකට ගියොත් මං හිතන්නේ අපට තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්” යයිද චාමර කපුගෙදර පල්ලෙකැළේ තරගය අවසානයේදී පැවසීය. මේ දියුණුවේ තරම ඉහත වගුවෙන් වටහාගත හැකිය.


ඇත්ත තිත්ත බව සැබෑවකි. එහෙත් ලෙඩ හොඳ වෙන්න නම් තිත්ත බේත් පානය කළ යුතුමය. කපුගෙදර ඒ ගැනත් කීවේය. ඒ මෙවන් කතාවකි.


“මා හිතන්නේ නෑ අපට පුහුණුකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ගොල්ලන්ට මැද්දට ගිහින් සෙල්ලම් කරන්න බෑනේ. ඔවුන් පුහුණුකරුවන් වශයෙන් දෙන්න තියෙන හැම දේම අපට දෙනවා”


“මැද්දට ගිහිල්ලා හරියට සෙල්ලම් කරලා තරගය දිනන එක අපේ වගකීමක්” යයි කපුගෙදර කීවේ පුහුණුකරුවන්ගේ අඩුපාඩු පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.


මේ සිඳී යමින් පවතින්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමය පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටින්නන්ගේත් කීර්ති නාමයයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේම වෙළෙඳ පොළ වටිනාකමයි. අයි.පී.එල්/බිග් බෑෂ්/සී.පී.එල්/නැට්වෙස්ට් බ්ලාස්ට් නැතහොත් බී.පී.එල්. තරගාවලියකදී ක්‍රීඩකයකුට ගෙවනු ලබන ඩොලර් මල්ලේ බරයි.


එය වැඩිකරගත හැක්කේද ක්‍රීඩකයන්ටම පමණි.


තවත් තරග දෙකක් ඉතිරිව තිබේ. දැන් අලුත් නායකයෙක්ද සිටී. හැකිනම් ගොඩ එමු...

 


අදහස් (0)

නැතිවූ ජයග්‍රහණයේ සූත්‍රය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.