Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 නික් පොතාස්ගේ කොලේ වසා ගැසීමේ කලාව

නික් පොතාස්ගේ කොලේ වසා ගැසීමේ කලාව

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල පරාජය වූවත් දෙවැනි තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් සටනක් දීම ගැන ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් මහතා පසුවන්නේ උද්දාමයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රශංසා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී ඊයේ (27 වැනිදා) පැවැති තරගයේදී ලද කඩුලු 2 ක පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමක් සීමිත ඕවර තරග වලදී පිට පිටම ලද 15 වැනි පරාජයයි.

තරගයෙන් ජයගැනීම සඳහා පාකිස්තානු පිලට අවසන් පන්දු තුනේදී ලකුණු 8 ක් අවශ්‍ය විය. අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවට හයේ පහරක් ගැසූ ශදාබ් ඛාන් ඊළඟ පන්දුවට ලකුණු 2 ක් ලබාගනිමින් පාකිස්තානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

“ඒක හොඳ තරගයක්” යයි තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී නික් පොතාස් මහතා කීවේය.
එක දිගට එක්දින තරග 12 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි-20 තරග තුනක්ද එක දිගට පරාජය වී තිබේ. එසේ වුවත් නික් පොතාස් මහතා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුව දක්වාම සටන් කළ බවත් අවාසනාව නිසා තරගය පරාජය වූ බවත්ය.

“මේක අපි ක්‍රීඩා කළ හොඳම තරගය කියල කියන්නත් පුළුවන්”

“ඒක හරි පුදුම දෙයක්. අපි මෙහි (එක්සත් අරාබි එමීර් රාජ්‍යයට) ඇවිදිල්ලා හොඳ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළා. මට ඒ ගැන හරි සතුටුයි. ඒත් මා හිතන්නේ එක්දින තරගාවලියෙදි නම් අපි හොඳට සෙල්ලම් කළේ නෑ” යයි කී පොතාස් මහතා....

“මේ තරගය නම් නියමයි. ඒත් ගිලගන්න අමාරු තිත්ත පෙත්තක් වගේ” යයිද කීවේය.

ශ්‍රී ලංකා පුහුණුකරුවා ආරක්‍ෂක හේතු සඳහන් කරමින් පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයට යාම ප්‍රතික්ෂේප කළේය.

“මට සේරටම වඩා වැදගත් වෙන්නේ මගේ පවුලේ අයයි. මා එහි යනවාට ඒගොල්ලන් කැමති නෑ” යයි ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වමින් නික් පොතාස් මහතා කියා තිබිණ.

විස්සයි-20 තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නොවන පාකිස්තානු පිලේත් පන්දු රැකීම ඉතාමත් ඉහළ තත්ත්වයක තිබුණ බවද නික් පොතාස් මහතා කියයි. පොතාස් මහතා පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූයේත් පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙනි.

පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක ඇති බව පුහුණුකරුවා කියතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය පරාජය වූයේත් ඉතාමත් තීරණාත්මක උඩපන්දුවක් ගිළිහීයාම හේතුවෙනි. මේ වසර තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් වැඩි සංඛ්‍යාවකට සෘජු දායකත්වය සැපයූයේ උඩපන්ද අතහැරීමයි.

ඊයේ තරගයේදී ලකුණු 125 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිල අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබාගත යුතුව තිබිණ. එම ඕවරයේ පළමු පන්දුවේදී ෆාහිම් අශ්රෆ් දැවී ගිය අතර ඊළඟ පන්දුවට ලකුණක් ලබාගත්තේය. තුන්වැනි පන්දුවට හසන් අලී ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව හතරේ සීමාව අසළ සිටි ධනුෂ්ක ගුණලකගේ ඇඟිලි අතරින් ලිස්සා ගියේය. යම් හෙයකින් එම උඩපන්දුව රැකගත්තා නම් ලකුණු 114 දී පාකිස්තානු පිලේ 9 වැනි කඩුල්ල ඇද වැටෙන අතර එකම කඩුල්ලක් පමණක් අතැති පාකිස්තානු පිලට ජයග්‍රහණය සඳහා පන්දු 4 කදී ලකුණු 11 ක් අවශ්‍ය වනු ඇත.

එහෙත් උඩපන්දුව ගිළිහී යාමෙන් පාකිස්තානු පිලට ලකුණු 3 ක් එක්වූවා පමණක් නොව, පන්දුවට පහර දෙමින් සිටි හසන් අලී වෙනුවට පිතිකරුවාගේ අන්තයට ශදාබ් ඛාන් පැමිණියේය. ඊළඟ පන්දුවට හයේ පහරක් ගැසූ ශදාබ් ඛාන් පස්වැනි පන්දුවෙන් ලකුණු 2 ක් ලබාගනිමින් පාකිස්තානු පිල ජයටැඹ කරා ගෙන ගියේය.

එසේ වුවත් උඩපන්දුව ගිළිහී යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවාට ඇත්තේ කණගාටුවක් නොවේ.....
“මා කියන්නේ එය පරාජයන් හතක් කියලා නෙමේ. පරාජයන් 5 ක් සහ හොඳ තරග දෙකක් කියායි”
“එක්දින තරග පහේදීම අපි සටන්වැදුණේ නෑ. ඒත් ඒ ගැන හිතුවාම, පාකිස්තානු ක්‍රීඩකයන් තරගයෙන් පසුව උද්දාමයට පත්ව සිටි ආකාරය දැක වඩාත්ම ආඩම්බර වුණේ මමයි” යයි ද නික් පොතාස් මහතා පැවසීය.


 - විස්ඩන් ඉන්දියා ඇසුරිනි
සැකසුම : දමින්ද විජේසූරිය

 


අදහස් (0)

නික් පොතාස්ගේ කොලේ වසා ගැසීමේ කලාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.