Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ

දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ

Nisanka Sandeepani - 2017 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍රිඩා සඟරා හා පුවත් පත් අතර ඉදිරියෙන්ම සිටින ප්‍රංශයේ මුද්‍රිත “ලෙ එකිප් ” ක්‍රීඩා පුවත් පත හෝ පසුගිය දශක තුනකට ආසන්න කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සටහනක් තැබූ බවට මතකයක් නැත. ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රංශය තුල ඇත්තේ එවැන් පිළිගැනීමකි. 

මීට දශක තුනකට පමණ පෙර සිට ප්‍රංශයට පැමිණි ලාංකිකයෝ ප්‍රංශයේදීත් ක්‍රිකට් ක්‍රීඩාව කළෝය. ඒ අනුව ආරම්භයේදී ශ්‍රීලාංකිකයන්ගෙන් සැදුම්ලත් කන්ඩායම් කිහිපයකින් ක්‍රිකට් ශූරතාවලියක් ආරම්භ කළ අතර මේවන විට ශ්‍රී ලාංකික, ඉන්දියානු, පකිස්තානු, බංගලාදේශය ආදී රටවල ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිස් විසින් ගොඩ නැගූ කන්ඩායම් කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රංශය තුල ප්‍රචලිත කිරීමේ මෙහෙවරක යෙදෙමින් සිටී.යුරෝපයට ගිම්හානය ලඟා වෙත්ම ඉහත ජාතිකයන්ට අයත් කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. 

ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහභාගිවූ පැරීසියේ ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සය සමාජික ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා  පැරීසියට නුදුරින් පිහිටි බගතලේ ක්‍රීඩාංගනයේදී ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් විණ.

අරවින්ද ද සිල්වාත් එම තරගාවලියේදී ක්‍රිකට් ගැසුවේය. කුසලාන බෙදා දුන්නේය. 

ඒ අතරවාරයේදී අරවින්ද සමග කෙටි පිළිසඳරක යෙදීමට අවස්ථාව ලැබිණ. එහිදී අරවින්ද සමඟ ඉන්දීය සාගරයේ මුතු ඇටයේ ක්‍රිකට් ගැන කතා කළ හැකිවිය. 

ප්‍රශ්නය: 
ප්‍රංශය යනු ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් විශේෂත්වක් නොදක්වන එම ක්‍රීඩාවට ජනප්‍රිය රටක් නොවේ. එසේ නමුදු පැරීසියේ ශ්‍රීලාංකිකයෝ දශක තුනක පමණ සිට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රංශය තුල ප්‍රචලිත කිරීම සඳහා විශාල මෙහෙවරක් කරමින් සටිනවා. ඔබ සහභාගි වන මෙම ක්‍රිකට් ශූරතාවය එහි එක් ප්‍රථිපලයක්. ඒ ගැන ඔබගේ විස්තර කිරීම කුමක්ද? 

පිළිතුර: 
ශ්‍රී ලංකාවෙත් ක්‍රිකට් ආරම්භ කරන විට මේ වගේ තමයි. නමුත් එම ක්‍රීඩාවට ආදරය කරන පිරිස බොහෝම කැපවීමෙන් ක්‍රියා කරපු නිසා අපටත් ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමටත් ඒ නිසාම ලෝක කුසලානය ජය ගැනීම දක්වාත් පැමිණීමටත් හැකි වුණා. 

මම පසුගිය අවුරුද්දේ මේ වගේම ජර්මනියේ පැවැත්වූ ක්‍රිකට් ක්‍රීඩා තරඟමාලාවකට සහභාගි වුණා. 

ඉන්දියාව, පකිස්ථානය ලංකාව වගේ රටවල පිරිස එම තරඟවලට සහභාගි වුණා. ඇත්තටම එය හොඳ දෙයක්. රටවල් වශයෙනුත්, ආගම් කුල මල භේද වලින් තොරව අපට එසේ එකතුවී ක්‍රීඩා කිරීමට හැකි වීමත් අගය කලයුතු හා වියයුතු දෙයක්. ඒ ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ප්‍රංශයේ පැවැති මෙම ක්‍රිකට් ක්‍රීඩා මාලාවත් එවැනිම අවස්ථාවක්.

එයට සහභාගි වීමට ලැබීම ගැනත් මම සතුටු වෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එවැනි උත්සහායන් ගනිමින් සිටීම සතුටට කරුණක්. එම නිසා ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ ක්‍රිකට් ක්‍රීඩාව මෙම රටේ ප්‍රචලිත කිරීමට ගන්නා උත්සහාය ගැන මම අතිශයින්ම සතුටු වෙන අතරම එය සාර්ථක වේවායි පතනවා.

ප්‍රශ්නය: 
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ පලපුරුදු විශාල අත්දැකීම් සම්භාරයක් හිමි අයෙක්. එවැනි අත්දැකීම් ඇති ඔබ වර්තමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කරන තක්සේරුව කුමක්ද? 

පිළිතුර: 

ඇත්තටම අද අපිට ඉතාමත්ම තරුණ දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. අවුරුදු දෙකකින් එළැඹෙන ඊලඟ ලෝක ශූරතාවය ඉලක්ක කොට අපේ ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රියා කලොත්; අපට ලෝක ශූරතාවය ජය ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙන්න පුළුවන්. ඒ සඳහා දැන් සිටම සැලසුම් කලයුතු වෙනවා. 

ඒ වගකීම තේරීම් කමිටුව සතුයි. එය නිවැරදි ලෙස සිදුවේවී යැයි මම සිතනවා.

ප්‍රශ්නය: 
අරවින්ද ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝම ආදරය කරන ක්‍රීඩකයෙක් මෙන්ම අවංක පරිපාලකයෙක්. එසේ වුවද අද ඔබ ක්‍රිකට් පරිපාලනයේ නොමැති නිදහස් පුද්ගලයෙක්. එහෙම වුනේ ඇයි? 

පිළිතුර: 
ඔබ කිව් පරිදි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් ඒ වගේම මම ක්‍රිකට් පාලක මන්ඩලයේ තනතුරු දරපු කෙනෙක්. එකක් මගේ අනෙකුත් බාහිර වැඩ කටයුතු නිසා අවිවේකි බවක් ඇතිවී තිබෙනවා.

අනෙක අපි ක්‍රිකට් කමිටුව නියෝජනය කරමින් පැය හතර පහ සාකච්ඡා කරලා ගන්නා තීරණ වෙන තැන් වලින් වෙනස් වෙනවා. එහෙම වෙන කොට තවදුරටත් එවැනි තැන්වල රැදී ඉන්න එකේ තේරුමක් නැහැ කියන සිතුවිල්ල සිතට ඇතුල් වෙනවා. ඒ නිසා මම ක්‍රිකට් කමිටුවෙන් ඉවත් වුණා. 

එසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල හැකි හැම උපකාරයක්ම කිරීමට මම පසුබට වෙන්නේ නැහැ. එය ව්‍යාකූල නොවුනු සුදුසු පරිසරයක සිදුවිය යුත්තක්. එසේ වුවොත් අපගේ අත්දැකීම්; අපගේ සහය තව දුරටත් ලබා දෙන්න මම ඕනෑම වෙලාවක සුදාානම්.

ප්‍රශ්නය: 
ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ දූෂණ වංචා ගැන මාධ්‍ය තුලින් දැන ගැනීමට ලැබෙනවා. ගිරව් ඉන්න බෙනයකට රිලව් රිංගා ගෙන ඉන්න කතාවක් මාලිංග ඵීසින් පසුගිය දිනක මාධ්‍යට කල ප්‍රකාශයක සඳහන් වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රීලංකාවේ දූෂිතම ආයතනයක් යයි ඇතැමුන් කියන කතාවල හරය කුමක්ද ?

පිළිතුර: 
දූෂණ ගැන කතා කරනවට වඩා; එක පරමාර්ථයක් එක ඉලක්කයක් කරා යන ගමනකට අවශ්‍යය නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හොඳ නායකත්වයක්. වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා ඉහත කරුන සම්බන්ධවත්, ක්‍රීඩාව දියුනු කිරීමටත් හැකි උපරිම උත්සහායක් ගන්න බව පේන්න තිබෙනවා.

නමුත් එක පරමාර්ථයක් කරා සැලසුම් සහගතව හොඳ නායකත්වයකින් එම ගමන යායුතුයි. සමස්තයක් ලෙස අද රටේත් එවැනි සැලසුම් සහිතව ඉදිරියට යන ගමනක ලකුනු දකින්න ලැබීම හරි අඩුයි. එහෙම වුනාම හැම දෙයක්ම අවුල් ජාලාවක් බවට පත්වීම නොවැලැක්විය හැකියි. 

එය දැන් හැම ක්‍ෂේත්‍රයකම දකින්න ලැබෙනවා. එය කණ්ඩායමකට වගේම රටටත් ඉතාමත්ම තදබල ලෙස බලපානවා. මාලිංග කිව්ව ගිරව් කථාව ගැන ඔහු මුණගැසුනු අවස්ථාවක මම ඔහුගෙන් විමසුවා. එය එක එල්ලේ එක්කෙනෙකුට කියපු කථාවක් නොවන බවද ඔහු කීවා. අනෙක වෙනත් උත්සවයකදී ඔහු එම ප්‍රකාශය කරලා තියෙන්නේ. 

ඒ දිනවල තුවාල සිදුවූ ක්‍රීඩකයන් හිටියා. වෙනත් ආබාධ ඇතිවූ ක්‍රීඩකයන් නිසා කන්ඩායම ටිකක් දුර්වල වුනා. මෙම සියලු තත්වයන් හේතු කොට මාලිංගට එවැනි ප්‍රකාශයක් කිරීමට සිදුවූවා යැයි මම සිතනවා. කෙසේ නමුත් ගිරව් ඉන්න බෙන වලට රිලව් ඇතුල් වෙන්න හදනවා නම් අපි සියල්ලෝම එය නැවැත්විය යුතුයි නේද?

ප්‍රශ්නය: 
ඇත්තටම අරවින්ද ක්‍රිකට් බෙනයට රිලව් රිංගලාද? 

පිළිතුර: 
අරවින්ද සිනාහවේ.

ප්‍රශ්නය: 
මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, සුනිල් වෙත්තමුනි, සිදත් වෙත්තමුනි, රන්ජන් මඩුගල්ල, දුලිප් මෙන්ඩිස්, බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, සංගක්කාර වැනි ශූරයන් බිහි කල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැන් මොකද වෙලා තියෙන්නේ ? මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද ? 

පිළිතුර: 

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දක්ෂයන් බඳවා ගැනීම සඳහා කොකා කෝලා සමාගම සමග පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කලා. එහිදී අපට දැක ගන්න ලැබුනා අපට ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම ඉන්න බව. කලමනාකරණය පැත්ත කෙසේ වෙතත් ක්‍රීඩාව පැත්තෙන් දේශපාලන අත පෙවීම් නොමැතිව ඒ කටයුතු කිරීමට හැකි වුවොත් ක්‍රිකට් ක්‍රීඩාව රැකගෙන ඉහල තත්වයකට එන්න පහසුවෙන්ම අපට පුළුවන්. එම නිසා දේශපාලන න්‍යාය පත්‍රයන් නොමැති ක්‍රිකට් පරිපාලනයක් ඇති වුනොත් අපට ක්‍රිකට් රැකගෙන ඉදිරි ලෝක ශූරතාවයන් ජය ගැනීමට හැකිවේවි යැයි මම සිතනවා.


අදහස් (0)

දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.