Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අපි ඉදිරියට ගියේ අඩුපාඩු ඇතිවයි - සංගා

අපි ඉදිරියට ගියේ අඩුපාඩු ඇතිවයි - සංගා

Nisanka Sandeepani - 2017 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෙවීගිය වසර දහය තුළ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගමාලා දහයක අවසන් මහා තරග සඳහා එක්වීමට සමත්විය. මනා යටිතල පහසුකම්, සහයෝගිතා ක්‍රමවේද සහ ක්‍රීඩකයන් වෙනුවෙන් සුදුසු පසුබිමක් නිර්මාණය වී තිබුණත් අන් කිසිදු අන්තර්ජාතික කණ්ඩායමකට එවැනි සාර්ථකත්වයක් අත්කර ගත නොහැකිවිය.

මේ වන විට පරාජය කණ්ඩායමේ පොදු ධර්මතාව බවට පත්ව තිබේ. මෙය සිදුවූයේ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර සහ ටී.එම්.ඩිල්ෂාන් වැනි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්ත ක්‍රීඩකයන් කිහිපදෙනකු විශ්‍රාම ගැනීමෙන් පසුවය. එසේ වුවද ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පසුබෑම ක්‍රීඩකයන්ගේ වරදක් ලෙස නොදකියි. ඔහු පවසන්නේ ප්‍රමිතියකින් තොර ක්‍රිකට් ව්‍යුහය ඊට හේතුවී ඇති බවය. 

“අපගේ සාර්ථකත්වය සිදුවූයේ එතෙක් පැවැති ක්‍රමවේදය නිසා බව බොහෝ පුද්ගලයන් සිතනු ඇත. මා සිතන්නේ අපගේ සාර්ථකත්වය සිදුවූයේ එම ක්‍රමවේදයේ දුර්වලතාව පිරිමසා ගැනීමෙන් බවයි.” යයි බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින සංගක්කාර ජැමෙයිකාවේ සිට ‘සන්ඬේ ටයිම්ස්‘ පුවත්පතට එසේ සිය අදහස් පළ කළේය.

අවුල් සහගත ආධාරක සැලැස්ම හෙවත් දේශීය තරගාවලිය

“කාලෙන් කාලෙට අප ලසිත් මාලිංග කෙනෙක් ඉවතලනවා. අපි අරවින්ද ද සිල්වා කෙනෙක් ඉවතලනවා. අපි සනත් ජයසූරිය කෙනෙක් ඉවතලනවා. අපි මුත්තයියා මුරලිදරන් කෙනෙක් ඉවතලනවා. අපි අජන්ත මෙන්ඩිස් කෙනෙක් ඉවතලනවා” 

“පළමුපෙළ ක්‍රීඩාවේ අඩුලුහුඬුකම් තිබුණත් එවැන්නන්ගෙන් අපිට හොඳ පිතිකරුවන් රැසක් ලැබුණා. ආධාරක සැලස්මේ අවුල් සහගත බවක් තිබුණත් ඉන් මිදී තනිවම කලමනාකරණය කරගැනීමට ඔවුන් සමත්වුණා” ඔහු කීවේය.

ශක්තිමත් කාර්ය මණ්ඩලයක් මෙන්ම ස්වාධීන පිරිසකගෙන් සැදුම්ලත් තේරීම් කමිටුවක් ක්‍රීඩකයන්ට සාර්ථකවීමට සහයෝගය දීම එම යුගයේදී කණ්ඩායමට ආශිර්වාදයක් වූ බව සංගක්කාර පැහැදිලි කළේය. වත්මන් කණ්ඩායමට එවැන්නක් නොමැති බව ඔහු කියයි.

“අපිට හොඳ ශක්තිමත් පුහුණු කාර්ය මණ්ඩලයක් තිබුණා” සංගක්කාර පැහැදිලි කළේය.

“වටපිටාවේ තිබූ ව්‍යාකූලත්වය මඟ හරවාගෙන මනා ආධාරක සැලැස්මක් සමග ඔවුන් ස්වාධීනව කටයුතු කළා”
“ඒක..‘ ඔහු කියයි. 

“ඉතා වැදගත් දෙයක්.”

“ඒ කිසිවක් නොමැතිව දැන් යොවුන් ක්‍රීඩකයන් ප්‍රගුණ කරමින් සිටින්නේ ඉහළ ගුණාත්මකබවක් නැති පළමුපෙළ තරග ක්‍රමවේදයක් හරහායි....ඉතිං ඒ නිසා තමයි අපි දැන් අපහසුතාවට පත්වෙලා ඉන්නේ”

“ඒ නිසා තමයි අපේ ක්‍රීඩකයන් පළමුපෙළ ක්‍රිකට් සහ අන්තර්ජාතික ක්‍රිකට් අතර විශාල පරාසයේ වල්මත් වෙලා ඉන්නේ.” අතීතය මෙනෙහි කරමින් සංගක්කාර කියයි.
“ක්‍රිකට් පරිපාලනය විසින් පසුබෑම නතර කිරීමට අවසන් මාස 18 ක කාලය තිස්සේ පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ නායකයන් සහ තවත් දේවල් වෙනස් කරනු ලබයි. වසරකට ඉහතදී ටෙස්ට් තරගමාලාවකින් ඕස්ටේ්‍රලියාව 3-0 කින් පරාජයට පත් කිරීම පමණයි දෙයකට තිබුණේ”

දේශීය ක්‍රිකට් තරග සැලසුම වෙනස් කිරීමට ශ්‍රී ලංකාව අසමත්වීම ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට ප්‍රධානතම කරුණ බව සංගක්කාර පුන පුනා කියයි.

“ඇයි අපි අපිට වඩා ඉහළ දියුණුවක් පෙන්නන අනිත් රටවල් ගැන බලන්නේ නැත්තේ..?” ඔහු අසයි.

“අපිට වඩා වැඩි පුර ටෙස්ට් තරග දිනාගැනීමෙන්, අපිට වඩා  වැඩිපුර ලෝක කුසලාන දිනාගැනීමෙන් එය පැහැදිලි වෙන දෙයක්. කාලයත් එක්ක අපිට සිද්ධවෙනවා ඉදිරිය බලාගෙන මේ සියල්ල වෙනස් කරන්න”

මේක වෙනස් කරන්නේ නැතුව දුර්වලයි කියලා අපි හොඳටම දන්න පරණ ක්‍රමවේදයේම ඇලි ගැලී ඉන්නවා නම් එය ක්‍රීඩකයකට කරන ලොකු අසාධාරණයක්” ඔහු අවධාරණය කරයි.
“මොකද අපි එයාලට නිවැරැදි සැලසුමක්, නිවැරැදි සහයෝගයක් ලබා නොදී දිනය අවසානයේදී ක්‍රීඩකයන්ට පමණක් ඇඟිල්ල දිගු කරනවා නම් ඒක සාධාරණ නෑ. මං හිතන්නේ මේ වගකිම බෙදා ගත යුතුයි”

“මේ සැලසුම වෙනස් විය යුතුයි. ක්‍රීඩකයන්ට නිසි සහයෝගය ලබාදිය යුතුයි. තරගයට අවධානය යොමු කරන්න ඉඩදිය  යුතුයි. නිවැරැදි පහසුකම් ලබා දිය යුතුයි. එවැනි වාතාවරණයකදී ඔවුන් දස්කම් නොදක්වන්නේ නම්, අපිට කිව හැකියි, හරි දැන් අපිට සිද්ධවෙනවා වෙන ක්‍රීඩකයෙක් ගැන හරි ක්‍රීඩකයන් පිරිිසක් ගැන හරි බලන්න කියලා”

“මේ වෙද්දී නම් අපි ඉන්නේ හේතුවක්, දෙකක් හෝ තුනක් සොයා ගන්න බැරි අසීරු අවස්ථාවකයි”....සංගක්කාර තර්කයක් මතු කරයි. 

“හේතු ගොඩක් තියෙනවා. ඔබට එකිනෙකාගේ භූමිකාවන් වෙන් කරලා ප්‍රවීණයන්ට පිටියේදී ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්න ඉඩදෙන්න සිද්ධ වෙනවා. කිසිම කපා දැමීමක් හෝ පැටලිල්ලක් සිදු නොකර”

ඉතා දුෂ්කර කැපවීම් රැසක් මැදින් දිගු ගමනක් පැමිණ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස 2015දී විශ්‍රාම ගිය සංගක්කාර කණ්ඩායමට එක්වූයේ සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙසය. ක්‍රිකට් පරිපාලනය දේශීය තරග සැලසුම නැවත සළකා බැලිය යුතු බවටත්, තේරීම් කමිටුවට නිදහසේ වැඩි කිරීමට ඉඩ දිය යුතු බවටත්, ඉතා හොඳ කාර්ය මණ්ඩලයක් සහ පුහුණු පහසුකම් ලබා දිය යුතු බවටත් ඔහු අවධාරණය කරයි.

“මට මතකයි ටේ‍රවර් බේලිස් අපිට කියනවා  ක්‍රීඩකයකුගේ අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතයේ අවුරුද්දක් ඔවුන්ට පළමුපෙළ ක්‍රිකට් උගන්වමින් ගත කිරීම හරිම අසීරුයි කියලා. ක්‍රමවේදයක් නොතිබුණත් අතීතයේ සාර්ථකත්වය සිදුවුණේ ක්‍රමවේදය නිසා නොවන බව අපි අවබෝධ කරගත යුතුයි.”

“වෙනස් කරන්න ඕන කාලය ඇත්තටම පහුවෙලා..” ඔහු තව දුරටත් කියයි. 

“අඩු ගාණේ දැන් වුණත් පරක්කු නෑ. නමුත් අපිට ඒක ඉක්මනින්ම කරන්න වෙනවා. කණ්ඩායම වටා ඇති සියලුම දේවලින් ඔවුන් මුදවාගෙන ඇති බවට අපි සහතික කරගත යුතුයි. මං අදහස් කරන්නේ පරිපාලනය ගැනයි.”

තෝරාගැනීමේ ස්ථාවරභාවය

“තෝරාගැනීමේ ස්ථාවරභාවයේ ඇති රුකුල්දීම හා ස්ථීරත්වය විශාල වෙනසකට මුල පුරාවි. එවිට පහසුකම්වල හා පුහුණුවීම්වල වාසිය අරගෙන සාර්ථක ප්‍රථිපලයක් සඳහා මහන්සිවී වැඩ කිරිමේ වැඩි වගකීම පැටවෙන්නේ ක්‍රීඩකයන් මතයි. සමහර වෙලාවට අවුල් සහගත පසුබිමකට ක්‍රීඩකයන් ඇද දැමීමෙන් ඔවුන්ට ලොකු නපුරක් සිද්ධවෙනවා. විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට”....සංගක්කාර කියයි. 

“කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් ගොඩාක් ඉන්න බව පේනවා” යයි කියන ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා...ඉදිරියට යාමට ඉවහල් වන ස්ථාවර වාතාවරණයකට ක්‍රීඩකයන් ද කැමැත්තෙන් පසුවෙන බවත්, ඔවුන් සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත් කියයි.

“දියුණවීමට, දස්කම් දැක්වීමට හා තරග ජයගැනීමට වගකීමත් ඇති නමුත් නිතරම ඔවුන්ට දොස් පැවැරිය නොහැකියි. ඔවුන්ට හොඳ තත්ත්වයේ ස්ථාවර සහයෝගයක් අවශ්‍යයි. එවිට ඔවුන් ඉක්මනින් දියුණු වේවි” ඔහු කීවේ ඊට සමගාමීව පළමුපෙළ ක්‍රිකට් ක්‍රමවේදයත් වෙනස් කළ යුතු බව සඳහන් කරමිනි.

ස්ථාවරත්වය සැපයීමට පරිපාලකයන් අසමත් 

“ශ්‍රී ලංකා කණ්ඩායමට සංක්‍රාන්ති සමයෙන් ඉක්මනින්ම ගොඩ ඒමට නොහැකිවීමට හේතුව පරිපාලකයන් ස්ථාවරත්වය සැපයීමට අසමත්වීමයි. ඔවුන්ගේ පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාව සහ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවරභාවය නිසා අනික් රටවල් එවැනි අවස්ථාවලදී ඉක්මනින් ගොඩ ගියා. ක්‍රීඩකයන් පරම්පරාවක්ම ගෙන්වන්න හෝ වටපිටාවේ ඇති ව්‍යාකූලත්වයකට හෝ ඔවුන් මුහුණ දුන්නේ නෑ”

“ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලවල මොනවා සිද්ධවුණත් ඒක වුණේ පරිපාලනය පැත්තෙන්.” සංගක්කාර පෙන්වා දුන්නේය. 

“ඔවුන් කණ්ඩායම ඉන් මුදවා දැමුවා. ඔවුන්ට පුහුණුවීමේ පහසුකම් වගේම හොඳ පුහුණු කාර්ය මණ්ඩලයකුත් තිබුණා. ඔවුන්ට  තිබුණේ පිටියට ගිහින් ඔවුන්ගේ ක්‍රීඩාව දියුණු කරන එකයි. අමාරු කාල පරිච්ඡේදයක් පහුකරලා ඔවුන් බලාපොරොත්තු වන විදිහේ කණ්ඩායමක් බවට පත්වීමයි. ඉහත කී කරුණු නිසා ඔවුන්ට ඒක ඉක්මනින්ම කරගන්න පුලුවන් වුණා.”

“ශ්‍රී ලංකාවේ නම් මට පෙනෙන විදිහට ඉන්නේ තරුණ කණ්ඩායමක්. අවධානය යොමු කරලා ක්‍රීඩාවේ නිරතවෙන්න උපකාරී වන පසුබිමක නොවෙයි එයාලා ඉන්නේ.” ඔහු කීවේය. ඔවුන්ට ඕනෑ කරන්නේ පහසුකම්, සහයෝගය හා නිවැරැදි පුහුණු කාර්ය මණ්ඩලයක්, හරි විදිහේ ක්‍රිකට් ක්‍රීඩාවක්, තේරීමේ ස්ථාවරත්වයක්, ඒ වගේම කාලය සහ දියුණු වෙන්න පුලුවන් සැලසුමක්. ඒ සියල්ල වෙනුවට එයාලට ලැබුණේ ව්‍යාකූලත්වයක්” සංගක්කාර කියයි. 

දියුණුව ඉල්ලන සංස්කෘතියක්

“එය ඔවුන්ගේ විශ්වාසය බිඳ දමාවි..” සංගක්කාර අනතුරු අඟවයි. 

“එය ඔවුන් අස්ථාවර කර දමාවි. දියුණුවක් ඉල්ලන සංස්කෘතියක් යටතේ කණ්ඩායම ඇතුළේ තම තමන්ටම අභියෝග කරගන්නට ඔවුන්ට සිද්ධවෙනවා.”
“ඉන්දියාව දියුණු වුණේ එහෙමයි. ඔවුන් එයාලාගේ මුලු ක්‍රිකට් සැලසුමම හරි ගැස්සුවා.” ඔහු කීවේය.

“ඔවුන් තෝරාගත් ආකාරය. ඔවුන් පුහුණුකළ ආකාරය. ඔවුන්ගේ හැසිරීම. මේ හැම දෙයක්ම වෙනස්වුණා. ඕස්ට්‍රේලියාවත් එහෙමයි. එංගලන්තයත් එහෙමයි. ඇයි අපි පස්ස ගහන්නේ.? අපි ආදර්ශ ගන්නවානම් හොඳ ආදර්ශ ගත යුතුයි.”

“ශ්‍රී ලංකාවේ හැම දෙයක්ම ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව වගේ කරන්න ඕනෙ නෑ.  අපේ ක්‍රිකට් අනන්‍යතාව ඒ විදිහට තියාගෙන යන්න පුලුවන් දේවල් ටිකක් අපිට එයාලගෙන් ගන්න පුලුවනි. ක්‍රීඩකයන්ට හරියන විදිහේ. ක්‍රීඩකයා විතරක් නෙවෙයි ප්‍රාථමික මට්ටමේ සහ සැලසුමේ වෙනසකුත් සිද්ධවෙන්න ඕනා.”

“හඳුනාගත් ක්‍රීඩකයන්ට ස්ථාවර ස්ථානයක් යටතේ  වෙනස් නොවන ලෙස ඉදිරියට යාමට ඉඩ දිය යුතු බව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අංක 3 පිතිකරු වන සංගක්කාරගේ විශ්වාසයයි.
“මං හිතන්නේ (දිනේෂ්) චන්දිමාල් විශිෂ්ට ක්‍රීඩකයෙක්.” ඔහු පැහැදිලි කළේය. 

“මං කැමැතියි දැන් ඔහු එක්දින කණ්ඩායමේ ඉන්නවානම්. ඔහු අපේ ටෙස්ට් ක්‍රිකට් නායකයා. ඔහුට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමේ හැකියාව ඇති නිසා ඒක අමාරු නෑ.”
“ඔහු ඉස්සර හොඳ දස්කම් නොදැක්වුවා වෙන්න පුලුවනි. ඒත් මේ වගේ ක්‍රීඩකයන් හඳුනාගනිද්දී එයාලට ස්ථාවර පසුබිමක් මත ස්ථාවර තැනක් දිලා ස්ථාවරව ඉදිරියට යන්න ඉඩ දෙන්න ඕනා.” ඔහු උපදෙස් දෙයි. 

“තිරිමාන්නත් (ළහිරු) එහෙමයි. බලන්න මේ ක්‍රීඩකයන් දිහා. ඔවුන් හොඳ ක්‍රීඩකයෝ. එයාලට ස්ථාවර තැනක් දීලා ස්ථාවර විදිහට ඉදිරියට යාමට අවස්ථාව ලබාදෙමු. එතකොට අපිට පුලුවනි හිත හදාගන්න.”

“මේ වෙද්දී එයාලා ක්‍රීඩා කළ ස්ථාන බැලුවම ක්‍රීඩකයා හොඳ මදිද..අපි එයාට අවස්ථාව දුන්නේ වැරැදි වෙලාවක ද, ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ වැරැදි ස්ථානයක ද කියලා තීන්දුවකට එන්න ගොඩාක් අමාරුයි.” ඔහු වැඩිදුරටත් කියයි.

“පළමුපෙළ ක්‍රීඩකයන් 150 කට වැඩි ප්‍රමාණයක් අතර සිටිද්දී තීරණ ගන්න තේරීම් කමිටුවටත් අමාරුයි. තේරීම් කියන්නේ තොරතුරු මත පදනම් වූ කාරණාවක්.” සංගක්කාර තරයේම කියයි.

“ඔබ දක්ෂතාව තෝරාගන්න උත්සාහ කරනවා. ඒ අතරේම දක්ෂතාව සමග හැකියාවත් තෝරාගන්න බලනවා”

“ඒ කාලයේ මෙන්ඩිස් වගේ හෝ මාලිංග වගේ හෝ දක්ෂතා ඇති ක්‍රීඩකයන් තෝරාගත්තම හොඳ ක්‍රීඩකයන් වෙන්න පුලුවන් විදිහේ හැකියාවක් ඔවුන් වටා තිබුණා. ඔවුන් පරිණත ක්‍රීඩකයන් වනතුරු වුණත් අපිට හොඳ සමතුලිත කණ්ඩායමක් හිටියා. මොකද අපිට අතපත්තුලා හිටියා. ජයසුරියලා, ජයවර්ධනලා, සමරවීරලා, ඩිල්ෂාන්ලා මේ හැමෝම හිටියා”
“වයිල්ඞ් කාඞ්වලින් ආපු (අහසින් පාත්වෙන) ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් නෙවෙයි අපිට හිටියේ.” ඔහු කීවේය. 

“අපිට එක්කෙනෙක් දෙන්නෙක් හිටියා ඔවුන් ව්‍යුහගත ක්‍රීඩකයන් විදිහට උදව් ලබපු අය. ඒ වගේම අපිට ක්‍රීඩකයන් තෝරාගන්න තියෙන සංචිතයත් ලොකු වැඩියි. ක්‍රීඩකයන් 75ක් ගැන අවධානය යොමු කරනවා වෙනුවට දැන් තේරිම් කමිටු නිලධාරීන්ට 150 දෙනෙක් ගැන විතර හිතන්න වෙලා තියෙනවා.”

සාධාරණ අපේක්ෂාවක්

“ක්‍රීඩකයනුත් දැන් හිතනවා, පළමුපෙළ තරග සැලසුම තුළ අපි ලකුණු රැස් කරනවා කඩුලු ලබා ගන්නවා. ඒ නිසා අපිව තෝරාගත යුතුයි කියලා. ඒක එක අතකට සාධාරණ බලාපොරොත්තුවක් තමයි. ඒත් තේරීම් කමිටු නිලධාරීන් මෙහෙම හිතන්න පුලුවනි. හරි මට ක්‍රීඩකයන් ගොඩාක් ඉන්නවා. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන වාර්තාවලින් පමණක්ද මට ක්‍රීඩකයන් තෝරගන්න පුලුවන්..? ඔවුන් මෙතැන දක්වන දක්ෂතාවලින් පමණක්ද තෝරාගන්න පුලුවන්..? මොකද එයාලාගේ දක්ෂතාවල තත්ත්වය මොකක්ද..?”

“ඉතිං මේ වගේ ප්‍රශ්න තියෙද්දී තේරීම් කමිටු නිලධාරින්ට වුණත් හරියට වැඬේ කරන්න අමාරුයි.” සංගක්කාර විග්‍රහ කරයි. 

“ව්‍යාකූලත්වය ඉවත් කරලා සුදුසු තේරීම් ප්‍රතිපත්තියක් ඇති කරන්න නම් පළමුපෙළ තරග සැලැස්ම වෙනස් කිරීම අත්‍යවශ්‍යයි මොකද එහි ප්‍රතිඵල දිගුකාලීන එකක්”
“ක්‍රීඩා කරන කණ්ඩායම වෙතින් පරිපාලනය වෙන් කිරීමත් බලපෑමක් ඇති කරාවි.” ඔහු පැහැදිලි කළේය. 

“ඉන් ක්‍රීඩකයන්ට නිශ්චිත භූමිකාවක් බෙදා වෙන් කරදීමට හැකිවේවි. හොඳ තේරීමක් කරන්න හොඳ තේරිම් ප්‍රතිපත්තියක් ගොඩනැගේවි. ක්‍රීඩකයන් තෝරාගැනීමේදී වඩාත් නිවැරැදි තොරතුරු රැසක්, ඊට අනුකූල තොරතුරු රැසක් තේරිම් කමිටුවට ලැබේවි.”

“එමගින් දක්ෂ ක්‍රීඩකයන්ට එකිනෙකා සමග තරගයක් ඇතිවෙන බව සහතික කෙරෙනවා. ඒක තමයි පසුබිම ඉහළම තත්ත්වයකින් යුතු ක්‍රීඩකයන් තෝරාගන්න. එතකොට ඔවුන්ට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට එක්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නෑ”

“ඒ වගේම පුහුණු කාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවයත් සුරක්ෂිත කෙරේවි. ජාතික පුහුණු කාර්ය මණ්ඩලයේ අපේක්ෂාවන් පළමුපෙළ තරගවලින් පහළට ඇවිත් අවුරුදු 19න් පහළ මට්ටමට එන්න ඕනා. එතකොට සැබැවින්ම ක්‍රීඩාවේ පරිනාමයක් සිද්ධවෙව් ඉදිරියට. ක්‍රීඩකයන්ට නිතරම අභියෝග කෙරෙන නිසා දියුණු වෙන්න නම් වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි කියලා.‘

දිගුකාලීන ප්‍රතිඵල

“අන්න ඒක තමයි කියන්නේ පළමුපෙළ ක්‍රිකට් සැලසුම වෙනස් කිරිමෙන් ලැබෙන්නේ හොඳ තරගකාරීත්වයෙන් යුතු ක්‍රීඩාවක් පමණක් නෙමේ කියලා.” සංගක්කාර කීවේය. 
“ඒ වෙනස්කමේ බලපෑමෙන් සහ කණ්ඩායම් හතරක් හරි පහක් හරි සීමා වෙන ගුණාත්මක භාවයෙන් යුතු පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් ලැබීමෙන් අපේ සම්පූර්ණ ක්‍රිකට් පද්ධතියටම දිගුකාලීන ප්‍රතිඵල අත්වේවි.”

“මේ නිසා තමයි අරවින්ද ද සිල්වාගේ ඉඳලා සිදත් වෙත්තමුණි දක්වා හැමෝම මේකට අනුබල දෙන්නේ. වත්මන් පරිපාලක මණ්ඩලයත් කියනවා ඔවුන් සුපිරි මට්ටමේ පළාත් තරගාවලියක් පවත්වනවා කියලා....අවශ්‍ය දේ මොකක්ද කියලා හැමෝටම වැටහෙනවා” යයි සංගක්කාර ස්ථීර වශයෙන් පැවැසීය. 

“නමුත් කාටහරි මේක කරන්න වෙනවා. ඒක නොකර ඒ ගැන කතා නොකර හිටියොත් අපි මේ තත්ත්වයේම ඉඳීවි. කාලෙන් කාලෙට තවත් මාස 6කට සැරයක්, අවුරුද්දකට සැරයක්  ඔබ මේ ප්‍රශ්නෙම මගෙන් විමසාවි. අපි මේ විදිහටම දිගටම යාවි”

“එකපාරටම ක්‍රමවේදය අබිබවා ගිහින් හොඳට ක්‍රීඩා කරාවි. අපි ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3-0 කින් පරාජය කළා වගේ...නමුත් ඒ දස්කම් අස්ථීරයි.” ඔහු අනාවැකියක් පළ කළේය. 
“අපි ක්‍රීඩා කරන කාලේ වුණත් ශක්තිමත් කණ්ඩායමක් හිටියට අපි වඩාත්ම ස්ථීර ටෙස්ට් කණ්ඩායමක් වුණේ නෑ. විශේෂයෙන් විදෙස් රටවලදී”

“අපිට වුණත් විදෙස් රටවලදී තරග දිනන්න ලෙහෙසි වුණේ නෑ මේ හේතු නිසා. මුරලි කෙනෙක් හරි ජයසූරිය කෙනෙක් හරි ඩිල්ෂාන් කෙනෙක් හරි නැතිනම් ඔබ දන්නවද..සම්පූර්ණ සුව සම්පන්න ලසිත් මාලිංග කෙනෙක් හරි අජන්ත මෙන්ඩිස් කෙනෙක් හරි තව දුරටත් නැත්තම් තරග දිනන්න ගොඩාක් අමාරුයි. අන්න ඒකයි හැකිතාක් ඉක්මනින් අපේ පළමුපෙළ තරග සැලසුම වෙනස් කිරිම අපි කළ යුතු ප්‍රධානතම දෙයක් වෙන්නේ.”

පරිපාලනය විසින් සෑම කෙනෙකුටම පැහැදිලි කාර්යභාරයක් බාරදිය යුතු බව ද ඔහු සඳහන් කළේය. එවිට ඔවුන්ට වඩාත් නිදහස් වටපිටාවකින් යුතුව කටයුතු කළ හැකිවනු ඇත. විශ්වාසනීයත්වයකින් යුතුව අවධානය හොඳින් යොමුකළ හැකිවනු ඇත. 

ක්‍රිකට් කළමනාකරු ලෙස අසංක ගුරුසිංහගේ පත්වීම සිය කාර්යයට බාධා පැමිණි බවට දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ග්‍රෙහැම් ෆෝර්ඞ් ඉවත් වීමට හේතු විය.

“එකිනෙකාගේ කාර්ය භාරය හඳුනා ගැනීමෙන් කාටවත් බාධාවක් වෙන්නෙ නෑ. ව්‍යාකූලතාවක් ඇති වෙන්නෙ නෑ. ඒක සුරක්ෂිත වෙනවා. ක්‍රීඩකයන්ටත් වැඩිපුර විශ්වාසයක් වගේම අවධානය යොමු කිරීමේ හැකියාව ලැබේවි” සංගක්කාර  අවසන් වශයෙන් කීවේය.

ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
මුල් ලිපිය : චම්පික ප්‍රනාන්දු
පරිවර්තනය : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

අපි ඉදිරියට ගියේ අඩුපාඩු ඇතිවයි - සංගා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.