Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner හැගුම් ඔද වැඩෙන පාපන්දු කෙළිමඬල

හැගුම් ඔද වැඩෙන පාපන්දු කෙළිමඬල

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A


එය සැණකෙළි සියල්ලේම සැණකෙළිය යයි පාපන්දු ලෝලීහු කියති. පිළිගත හැකි තර්කයකි. කෙටියෙන් කියන්නේ නම් එය මිනිසාගේ හැගීම් උද්දීපනය කෙරෙනා දැවැන්ත වේදිකාවකි......

පාපන්දු ලෝලියකුට උවමනා කරන්නේ කුමක්ද?
විනෝදය, උද්යෝගීභාවය, තරගකාරීත්වය, ජාතික හැගීම නොහොත් ජාති මාමකත්වය, අනෙකකු පරයා නැගී සිටීමේ නොතිත් ආශාව, සිහින සැබෑවීම සතුට, සොම්නස මෙන්ම බලාපොරොත්තු කඩමේ දුක්ඛ දෝමනස්සයන් ආදී කී‍්‍රඩා ලෝලීන්ගේ සකලවිධ අපේක්‍ෂාවලින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සමන්විතය. බ‍්‍රසීලයේ සා ඕ පාවුලෝ නුවරදී අද (12 වැනිදා) ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය හැගුම් ඔද වැඩෙනා අවස්ථාවක් වන්නේ එබැවිනි.

එවන් තරගාවලියක සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් බ‍්‍රසීල ජාතිකයන් සතුව ඇත්තේ සැබෑ උවමනාවක්ද යන්න පිළිබඳව බාහිර ලෝකයා විපිළිසර වන්නේ මේ වන විටත් තරගාවලිය සම්බන්ධයෙන් ඇතැම් බ‍්‍රසීල ජාතිකයන් දක්වන විරෝධතා හේතුවෙනි. ඒ පිළිබඳව විමසා බැලීම තරමක් කුතුහලය දනවන්නක් වුවද ඊට වඩා වැදගත් තවත් බොහෝ දේ තිබේ.

ලොව අමරණීය පාපන්දු කී‍්‍රඩකයා වන ‘පේලේ’ වරක් පාපන්දු කී‍්‍රඩාව හඳුන්වා දුන් පරිදි,  ‘අලංකාරවත් කී‍්‍රඩාවේ’ ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය, දේශපාලන හයිය මෙන්ම සමාජයීය වටාපිටාවද අද වන විට බ‍්‍රසීලය සතුව තිබේ.

අතරින් පතර යම් යම් විරෝධතා මතුව එන නමුත් යම් හෙයකින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බ‍්‍රසීල කණ්ඩායම සමත් වුවහොත් මෙම විරෝධතා සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී යනවා පමණක් නොව ඒවාට සහභාගි වූවන්ද සොයාගත නොහැකි තරමට අතුරුදන් වනු නිසැකය.

කී‍්‍රඩාව කෝක වුණත් මිනිසුන්ගේ හැටි එහෙමය.
ගත පුරා දිවයන රුධිරයේත් පාපන්දු කී‍්‍රඩාව දියවී ගලායන ජනසමූහයක් වෙසෙනා දකුණු ඇමරිකානු මහද්වීපයේ විශාලතම රාජ්‍යය වුවත්, පාපන්ද ලෝක කුසලාන වැඩිම වතාවක් (පස් වරක්) දිනාගත් රට වුවත්,  බ‍්‍රසීලය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කිරීමට ඉදිරිපත් වන්නේ වසර 64 කට පසුවය. එබැවින් මෙම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට බ‍්‍රසීලය දැනටමත් පිඹුරු පත් සකස් කර අවසන්ය.

තරගාවලියේ පළමු තරගය බ‍්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර අද (12 වැනිදා) සා ඕ පාවුලෝ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින බ‍්‍රසීලය මෙවරත් තරගාවලිය ජයගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම හෙවත් ‘කාගේත් තේරීම’ බවට පත්ව තිබේ. ඔට්ටු බාරගන්නා සමාගම් බ‍්‍රසීලයේ ජය වෙනුවෙන් ඔට්ටු තබන්නන්ට ගෙවනු ලබන්නේ 1 : 3 ක් වැනි සොච්චමකි.

තත්ත්වය එසේ වුවත් ක්‍රොඒෂියානු කණ්ඩායම කියන්නේ පළමු තරගයේදීම බ‍්‍රසීලය දණගැස්වීමට තරම් කී‍්‍රඩකයන් තමන් සතුව සිටින බවයි.

”තමන්ගේ රටේදී කී‍්‍රඩා කරන විට තියෙන පීඩනය සුළුපටු දෙයක් නෙමෙයි. ඒකේ වාසිය අපටයි...ඇරත් සර්බියානු රටවල් හමුවේ බ‍්‍රසීලය තරමක් සැළෙනවා” යයි ක්‍රොඒෂියානු පුහුණුකරු නිකෝ කොවැක් පවසා තිබිණ.

බ‍්‍රසීලය නොවේ නම තරගාවලියේ ජය හිමිකරගනු ඇතැයි වැඩිදෙනාගේ තේරීම වන්නේ ආජන්ටිනාවයි. මේ වන විට ලෝකයේ හොඳම පාපන්දු කී‍්‍රඩකයා වන ලයනල් මෙසීගේ කණ්ඩායම වීමත්, කුසපත් ඇදීමෙන් ආජන්ටිනාව ඉතාමත් වාසිදායක තත්ත්වයක් ඇති ‘එෆ්’ කාණ්ඩයට අයත් වීමත් නිසා ආජන්ටිනාව කෙරේ බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබේ.

තුන්වැනි තැන ජර්මනියටත්, සිවුවැනි ස්ථානය වත්මන් ලෝක ශූරයන් වන ස්පාඤ්ඤයටත් ලැබී තිබේ. වැඩි සද්ද බද්ද නොකළද ශූරයන් තේරීම් ලයිස්තුවේ බෙල්ජියම (5) සිටින්නේ එංගලන්තය, ඉතාලිය සහ ප‍්‍රංශයටත් ඉහළිනි.

පහළින් සිටියද එංගලන්ත කයිවාරුවේ නම් අඩුවක් නැත. හිටපු නායක ඬේවිඞ් බෙකම් පවසන්නේ එංගලන්ත ලෝක කුසලාන කණ්ඩායමේ සිටින තරුණ කී‍්‍රඩකයන් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බවයි. එහෙත් ඒ බලාපොරොත්තු තැබෙන්නේ 2014 සඳහාද නැතහොත් ඉන් ඔබ්බටද යන්න පැවසීමට තරම් බෙකම් නිර්භය වී නැත. බෙකම්ගේ පි‍්‍රයතම තේරීම වන්නේ එංගලන්තයේ මැදපෙළ කී‍්‍රඩක ඇඩම් ලලනාය.

ලෝක කුසලාන තරගාවලියට පෙර මියාමිහිදී පැවැති පුහුණු තරග දෙකින් එකක් හෝ ජයගැනීමට එංගලන්ත පිලට නොහැකි විය. හොන්ඩියුරාස් පිලට එරෙහිව පැවැති තරගය 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉක්වදෝර් පිලට එරෙහිව පැවැති තරගය 2-2 ක් ලෙස විසඳුමකින් තොරව නිමා විය.

තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා වෙමින් රන් පාවහන දිනාගන්නේ කවුරුන්ද යන්න දැනට පවතින ප‍්‍රබලම විවාදයයි. ලයනල් මෙසී එහි ඉදිරියෙන්ම සිටියත්, ඔහුට ඩියාගෝ මැරඩෝනාගේ තත්ත්වය ලබාගැනීමට නම් ආජන්ටිනා කණ්ඩායම අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන යාමට සිදුවී තිබේ.

කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ තනි පුද්ගල දක්‍ෂතා මත පෘතුගාලය වැනි කණ්ඩායමකට ඉදිරි ගමනක යෙදීම ඉතාමත් අසීරු වන නමුත් ‘ගෙදර එකා’ වන බ‍්‍රසීලයේ නෙයිමාර්ට සහායෝගය දැක්වීම සඳහා අති විශිෂ්ට ගණයේ කී‍්‍රඩකයෝ රැුසක්ම ලූවිස් ෆිලිප් ස්කොලාරිගේ ගුරුහරුකම් ලබන බ‍්‍රසීල පිලේ සිටිති. විලියන්, ඔස්කාර්, පවුලීනියෝ යන මැද පෙළ කී‍්‍රඩකයන්ගෙන් මෙන්ම බර්නාඞ්, ජෝ, හල්ක් සහ ෆ්‍රෙඞ් යන බ‍්‍රසීල පිලේ ඉදිරිපෙළ කී‍්‍රඩකයන්ගෙන්ද නෙයිමාර්ට වැඩි සහයෝගයක් ලැබෙනු ඇත.

පාපන්දු යනු කණ්ඩායම් කී‍්‍රඩාවක් වන බැවින් කී‍්‍රඩකයකු කෙතරම් දක්‍ෂයකු වුවත් සෙසු කී‍්‍රඩකයන්ගේ සහයෝගය මත ඒක පුද්ගල දක්‍ෂතා රඳා පවතිනු ඇත.

එංගලන්ත පිලේ හිටපු කී‍්‍රඩකයකු වන මයිකල් ඔවෙන්ස් පවසන්නේ මෙවර තරගාවලිය ජයගැනීමට වඩාත්ම අවස්ථාව ඇත්තේ ආජන්ටිනාවට බවයි. ලයනල් මෙසීගේ විශිෂ්ට හැකියාවන් සහ දකුණු ඇමරිකාවේ හුරු පුරුදු තත්ත්වයන් නිසා ආජන්ටිනාවට වාසි බව ඔවෙන්ස් කියයි.

”ඒන්ජල් ඩි මාරියා, මෙසී, හියුගුවේන් හා ඇගියුරෝ වැනි අති විශිෂ්ට කී‍්‍රඩකයන් රැසක් ඔවුන්ට (ආජන්ටිනාවට) සිටිනවා...බ‍්‍රසීලය ඉන්නේ අල්ලපු වැටේ බවත් ඔවුන් කී‍්‍රඩා කරන්නේ තමන්ගේ රටේදී බවත් මා දන්නවා. ඒත් මේක මෙසීගේ අවස්ථාවයි”

”ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයකු වෙන්න නම් ලෝක කුසලානයක් දිනලා තියෙන්න  ඕනෑ කියා සමහර අය වාද කරනවා. ඒත් ඔහු ඉතාමත් හොඳින් සෙල්ලම් කරවි කියලා මට විශ්වාසයි..ඔහු දැනට ලෝකයේ සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයා. නැතොත් දෙවැනි විශිෂ්ටතම කී‍්‍රඩකයා” යයි ලයනල් මෙසී සම්බන්ධයෙන් ඔවෙන්ස් පවසා තිබිණ.

කෙසේ වෙතත් 1994 ලෝක කුසලාන තරගාවලියේ සිට පසුගිය 20 වසර තුළ පැවැති ලෝක කුසලාන තරග වලදී කණ්ඩායම් විසින් අනුගමනය කරන ලද ආරක්‍ෂාකාරී උපක‍්‍රම නිසා තරගාවලියකදී වාර්තා වන ගෝල සංඛ්‍යාව එන්න එන්නම අඩුවී තිබේ. 1994 ලෝක කුසලාන තරගාවලියේදී තරගයක් සඳහා වාර්තාව වූ ගෝල සංඛ්‍යාව 2.71 ක් වූ නමුත් 2010 දකුණු අපි‍්‍රකාවේදී පැවැති තරගාවලිය වන විට එය තරගයක් සඳහා ගෝල 2.27 ක් දක්වා පහළ බැස තිබිණ.

අවසන් වරට තරගයක් සඳහා ගෝල 3 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කෙරුණේ 1958 දී ස්වීඩනයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීය.

ලෝක කුසලාන තරග වලදී වැඩිම ගෝල සංඛ්‍යාව ලබාගැනීමෙන් බ‍්‍රසීලයේ රොනාල්ඩෝ (15) විසින් පිහිටුවන ලද වාර්තාව බිඳ දැමීමට ජර්මනියේ මිර්සෝ ක්ලෝස්ට අවශ්‍ය වන්නේ තවත් එකම ගෝලයක් පමණි. එහෙත් එම වාර්තාව ඉදිරියට ගෙන යාමේ අවස්ථාවද ජර්මානු කී‍්‍රඩකයා සතුය.  

පිට පිට ලෝක කුසලාන තරග 10 කදීම සාර්ථක ලෙසින් තමන්ගේ දැළ රැකගත් එංගලන්යේ පීටර් ෂිල්ටන් සහ ප‍්‍රංශයේ ෆේබියන් බර්තාස් සතුව අදටත් පවතින්නේ අග‍්‍රගණයේ වාර්තාවකි. එම වාර්තාව අසළට පැමිණ සිටින ස්පාඤ්ඤයේ  දැළ රකින්නා වන අයිකර් කැසිලස්ට  තවත් තරග 3 කදී දැළ රැකගත හැකිනම් ෂිල්ටන් සහ බර්තාස්ගේ වාර්තාව සම කිරීමට හැකිය. එහෙත් කැසිලස් එම වාර්තාව සමකිරීම යනු ස්පාඤ්ඤය තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමයි.

එක්සත් ජනපද පුහුණුකරු යාර්ගන් ක්ලින්ස්මාන්ට හෝ ප‍්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු ඩිඩියර් ඩෙස්චෑම්ප් තම කණ්ඩායම් වලට ලෝක කුසලාන දිනාදීමට සමත් වුවහෙත් කී‍්‍රඩකයකු මෙන්ම කළමණාකරුවකු ලෙසින්ද ලෝක කුසලාන කණ්ඩායමක සිටීමෙන් බ‍්‍රසීලයේ මාරියෝ සගාලෝ සහ ජර්මනියේ ෆ‍්‍රාන්ස් බෙකන්බවර් දෙදෙනාගේ වාර්තාව සමකිරීමට හැකිවනු ඇත.

බ‍්‍රසීලය අති විශාල රටකි. තරගාවලිය සඳහා කී‍්‍රඩාංගණ 12 ක් සූදානම් කෙරෙමින් පවතින අතර දකුණු දිග බ‍්‍රසීලයේ පෝර්ටෝ ඇලග්රි, කියුරිටිබා, සා ඕ පාවුලෝ වැනි නගර වල තරග පැවැත්වෙන විට නරඹන්නන්ට ශීත කබා පැළඳීමට සිදුවුවහොත් එය අරුමයක් නොවේ. රාති‍්‍රයේ උෂ්ණත්වය ඉතාමත් අඩුවිය හැකිය.

එහෙත් උතුරු දිග බ‍්‍රසීලයේ පිහිටි මනාවුස්, ෆොර්ටලේසා සහ නටාල් වැනි කී‍්‍රඩාංගණවලදී කී‍්‍රඩකයන්ට මෙන්ම පේ‍්‍රක්‍ෂකයන්ටද දහදියෙන් නම් අඩුවක් නොවනු ඇත.

මේ අතර ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ප‍්‍රවේශපත් ලබාගත් නරඹන්නෝ 1000 කට වැඩි පිරිසක් තමන්ගේ ප‍්‍රවේශපත් වලට අනුකූලව කී‍්‍රඩාංගණ ඉදිකර නොමැති බැවින් ඒ සඳහා වෙනත් ස්ථාන වල ආසන පහසුකම් සපයන්නයි සංවිධායකයන්ට බලකර සිටිති.

බ‍්‍රසීලයේම උපත ලද කී‍්‍රඩකයකු වන නමුත් ලෝක කුසලාන තරගාවලියේදී ස්පාඤ්ඤ පිල නියෝජනය කරන ඩියාගේ කොස්තා පවසන්නේ බ‍්‍රසීලය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට කිසිවකු තමන්ට ආරාධනා නොකළ බවයි.

ස්පාඤ්ඤයේ මැඩිරිඞ් නුවර, ඇත්ලෙටිකෝ කී‍්‍රඩා සමාජය නියෝජනය කරන කොස්තා පවසන්නේ ස්පාඤ්ඤ පිලේ පුහුණුකරු වින්සන්ට් ඩෙල් බොස්කෝ ජාතික කණ්ඩායමට එක්වන ලෙස තමන්ට ආරාධනා කළ නමුත් බ‍්‍රසීල පුහුණුකරුවා තමන්ට දුරකතන ඇමතුමක්වත් නොදුන් බවයි.

”මා බ‍්‍රසීල ජාතිකයෙක්. ඒකේ වෙනසක් නෑ. ඒත් ස්පාඤ්ඤය වෙනුවෙන් මා ලෝක කුසලාන දිනාගන්න  ඕනෑ” යයි කොස්තා පවසයි.

කොස්තා එසේ කීවද ලූවිස් පිලිප් ස්කොලාරි මහතා දැඩිව පවසන්නේ කොස්තාගේ සේවය බ‍්‍රසීලයට අවශ්‍ය යයි තමන් දෙවතාවක්ම කොස්තාට කියු බවයි.
”මා ඔහුට කතා කරන්න ගියා තමයි. ඉතින් මම වැරදිද? මා දන්නේ නෑ....”
”මෙතැන ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ හැමදේටම මුවාවෙලා තව තවත් අරමුණු තියෙන එකයි..ඩියාගෝ කොස්තා ස්පාඤ්ඤ පුරවැසියෙක් වුණාම ඔහුට යුරෝපයේ දොරවල් ඇරෙනවා” යයිද බ‍්‍රසීල පුහුණුකරුවා පැවසීය.


- අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා ඇසුරිනි
සැකසුම : දමින්ද විජේසූරිය


අදහස් (3)

හැගුම් ඔද වැඩෙන පාපන්දු කෙළිමඬල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.