Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ස්විට්සර්ලන්තය අවසන් 16 අතරට

ස්විට්සර්ලන්තය අවසන් 16 අතරට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්ෂෙර්ඩන් ශාකිරී 90 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීම නිසා සර්බියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කළ ස්විට්සර්ලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට රිංගා ගත්තේය.

පිටියේ හරි අඩකදී සිය සගයා දුන් පන්දුව රැගෙන එක දිගටම ප්‍රතිවාදී ගෝල් කණුව වෙත එය නෙ ගිය ශාකිරී පසුපස ප්‍රතිවාදී ක්‍රීඩකයෝ ලුහුබඳිමින් පැමිණියහ. එහෙත් දැල තුළට පන්දුව යවන තුරු ආපසු හැරී නොබැලූ ශාකිරී සර්බියානු ගෝල් රකින්නා වන ව්ලැඩිමිර් ස්ටොජ්කෝවික් මුළා කරමින් පන්දුව දැල තුළට යැවීමට සමත්විය.

කලිනින්ග්‍රාඞ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පස්වැනි මිනිත්තුවේදී ඇලෙක්සැන්ඩර් මිට්‍රෝවික් හිසින් ගැසා ලබාගත් ගෝලයෙන් වේලාසනින්ම 1-0 කින් පෙරමුණ ගත් සර්බියාව පළමු භාගයේදී එහෙම පිටින්ම ස්විට්සර්ලන්ත පිල පීඩනයකට ඇද දැමුවේය. එහෙත් දෙවැනි භාගයේදි වෙනම සැලසුමකින් තරගයට පිවිසි ස්විට්සර්ලන්තය ගෝල 1-1 කින් තරගය සම කළේ 52 වැනි මිනිත්තුවේදී ග්‍රැනිට් ෂාකා ලබාගත් ගෝලයෙනි.

පළමු භාගයේ පසුබෑමකට ලක්වීමෙන් ක්‍රීඩකයන් මුහුණ පෑ මානසික වියවුල පහවී ගියේ ඒ ගෝලයත් සමගිනි. එතැන් සිට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තැබීමට සර්බියාව ඉඩ නොදුන් ස්විටිසර්ලන්තය අන්තිම මිනිත්තුව දක්වා ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළේය. තරගයේ අවසන් මොහොතේදී ක්ෂෙර්ඩන් ශාකිරීගේ පාදය ක්‍රියාත්මක වූයේ එවන් තත්ත්වයක් තිබියදීය.

කොස්වෝ රාජ්‍යයේ සම්භවයක් ඇති නිසා ශාකිරි සහ ෂාකා දෙදෙනාම ඔවුනොවුන්  ගෝල ලබාගැනීම සැමරූයේ වෙනස් ආකාරයකිනි. එය දේශපාලන මුහුණුවරක් ගත් කාරණාවක්ද විය.

90 දශකයේ යුගෝස්ලෝවියානු සමූහාණ්ඩුව බිඳී වෙනම රාජ්‍ය කිහිපයක් බිහිවූ අතර සර්බියාව ඉන් එකක් විය.

එහි සිටි කොසොවෝ වැසියන්ට සර්බියානුවන් හිරිහැර කරන්නට වීමෙන් අනතුරුව කොසෝවෝ වෙනම පාලනයක් ලෙස ගෙනයාමේ සටනට පිවිසී සිටියේය. ඇල්බේනියානු වැසියන් වැඩි වශයෙන් පදිංචි කොසෝවෝ පසුව ස්වාධීන රටක් බවට පත්වුයේ නෙටෝ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ෂාකාගේ පියා එවකට යුගෝස්ලෝවියාවේ දේශපාලන සිරකරුවකු ලෙස වසර තුනහමාරක කාලයක් සිටි අතර යුගෝස්ලෝවියාවේ උපන් ශාකිරි ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වී ඇත්තේ කුඩා වියේදීය.

මේ දෙදෙනාම ඔවුනොවුන්ගේ ගෝල වාර්තා කිරීමෙන් පසුව සතුට සැමරුවේ දෑතේ මාපටැඟිලි එකිනෙක පටලා අනිත් ඇඟිලි කුරුලු පියාපත් මෙන් විදහාපාමිනි. එය ඇල්බේනියානු ජාතික ධජයේ සටහන් හිස් දෙකේ රාජාලියාගේ ඉරියව්ව පෙන්නුම් කිරීමකි.

ශාකිරිගේ එක් සපත්තුවක පසුපස ස්විට්සර්ලන්ත ධජයත්, අනිත් සපත්තුවේ පසුපස කොසෝවෝ ධජයත් සටහන් කර තිබේ. ඔහුගේ නම නිවේදනය කරද්දී සර්බියානු ක්‍රීඩාලෝලීන් හූ කියන්නට වූ බවත් වාර්තා වෙයි.
සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මේ ගෝල සැමරුම ගැන පසුව ඔවුන්ගේ බොස්නියාවේ උපන් පුහුණුකරු ව්ලැඩිමිර් පෙට්කෝවික් කියා සිටියේ ඔබ කිසිවිටෙක දේශපාලනයයි, ක්‍රීඩාවයි එකිනෙක හා මිශ්‍ර නොකළ යුතුයි කියාය.


- 077

 


අදහස් (0)

ස්විට්සර්ලන්තය අවසන් 16 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.