Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ බ්‍රසීලය නවතා ගනිති

ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ බ්‍රසීලය නවතා ගනිති

Nisanka Sandeepani - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වනු ඇතැයි පූර්ව අනාවැකිවලින් අසීමිත ජනප්‍රියත්වයක් ලැබූවත් සිය ඉලක්කය කරා යාමට බ්‍රසීලයට ඉඩ නොදුන් ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ ඊයේ (17 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගය ගෝල 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමා කරගත්හ. 

පස්වතාවක්ම ලෝක පාපන්දු කිරුළ දැරූ මේ විශිෂ්ට කණ්ඩායම තරගයේ පළමු භාගය නිමාවෙද්දී ගෝල 1-0 කින් පෙරමුණ ගනිමින් අපේක්ෂා කළ ජයග්‍රාහී සිහිනය දෙවැනි භාගයේ 50 වැනි මිනිත්තුවේදී ස්ටීවන් සුබර් එල්ල කළ ගෝලයත් සමග මැකී ගියේය.

වසර 1978 න් පසුව මෙවර තරගාවලිය දක්වා පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි 9 දීම සිය පළමු තරගය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූ බ්‍රසීලයට ඊයේ රාත්‍රියේ රොස්ටොව් ඔන් ඩොන් හීදී සිදුවූයේ එහෙම පිටින්ම අපේක්ෂා නොකළ දෙයකි.

මැදපෙළ ශක්තිමත් කරන ක්‍රීඩක ත්‍රිත්වය අතරට කළමනාකරු ටිටේ විසින් පත් කරනු ලැබූ කෝටිනෝ සිය  සගයන් දෙදෙනා වන පෝලිනෝ සහ කසීමිරෝ සමග එක්ව බ්‍රසීල කණ්ඩායමේ කීර්තිය රැක ගැනීමට කුරුමානම්  අල්ලන්නට වූහ. අවසානයේදී එය සාර්ථක කරමින් යාර 20ක දුරකින් සිට කෝටිනෝ එල්ල කළ අතිවිශිෂ්ට පහර ප්‍රතිවාදී කණුවේ වැදී දැල තුළට පතිත වූයේ බ්‍රසීලය ගෝල 1-0 කින් ඉදිරියට තබමිනි. 

ඊට පෙර වුවත් ඔවුන්ට එවැනි දස්කමක් පෑමේ අවස්ථාව තිබුණත් සුපිරි ක්‍රීඩක නේමර්  එක දිගටම හිරිහැරවලට  ලක් කළ ස්විට්සර්ලන්තයේ ප්‍රවීණ ක්‍රීඩක වැලොන් බෙහ්රමි ඔහුගේ ගමන් මඟ අහුරා දැමුවේය. මෙවර තරගාවලියත් සමග බෙහ්රාමි ස්විට්සර්ලන්තය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන තරගාවලි සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වී සිටී. මීට පෙර ඔහු 2006, 2010 සහ 2014 තරගාවලි සඳහා සහභාගි විය.

දෙවැනි භාගයේදී වැඩි මහන්සියකින් තොරව ජයග්‍රහණයෙන් තරගය නිමා කිරීමට බ්‍රසීලයට තිබූ සැලසුම විනාශ වූයේ 50 වැනි මිනිත්තුවේදී ස්ටීවන් සුබෙර් වාර්තා කළ ගෝලයත් සමගිනි. මීට පෙර ස්විට්සර්ලන්තය වෙනුවෙන් තරග 14 කට පමණක් පෙනී සිටි මේ ක්‍රීඩකයා ප්‍රතිවාදී ගෝල් කණුවට යාර 4 ක පමණ දුරින් සිට හිසින් එල්ල කළ පහර ඉතා නිවැරැදිව දැල සොයා ගියේය. 

ඒ සමගම තරගය උණුසුම් ස්වභාවයක් ගත්තේ බ්‍රසීලය මේ අනපේක්ෂිත ගෝලයෙන් අන්දමන්දවීම හේතුවෙනි. අන්තිම මිනිත්තුවලදී සිය කණ්ඩායමේ ජයග්‍රහණයට අත්කරදීමට බ්‍රසීල ක්‍රීඩකයන් කොතෙකුත් උත්සාහ කළත් එයින් ප්‍රයෝජනයක් අත්වූයේ නැත. වතාවක් නේමර් හිසින් ගැසූ විශිෂ්ට පහරක් වළක්වාගැනීමට සමත්වූ ස්විට්සර්ලන්තයේ ගෝල් රකින්නා වන යැන් සොමර් අන්තිම මිනිත්තු කිහිපය පුරා දැඩි අවිවේකි ක්‍රීඩකයකු බවට පත්වි සිටියේය. 


- 077

 


අදහස් (0)

ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ බ්‍රසීලය නවතා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.