Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner සත්කාරක රුසියාවට පෙරළිකාර ජයක්

සත්කාරක රුසියාවට පෙරළිකාර ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඞ් සාලාගේ ඊජිප්තු කණ්ඩායමට එරෙහිව ගෝල 3-1ක පෙරළිකාර ජයක් වාර්තා කළ සත්කාරක රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දොරකඩට සේන්දුවීමට ඊයේ (19) සමත්විය.

සමාරම්භක තරගයේදී ගෝල 5-0ක් ලෙස සෞදි අරාබියට අමතක නොවන පරාජයක් උරුමකළ සත්කාරකයෝ ඊයේ (19) ශාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේදී සමස්ත රුසියානු ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නැංවූහ.

දෙපිල අතර පැවැති කරටකර සටන නිසා පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වූවත් දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු දෙකකින් තරගයට ජීවයක් එක්වූයේ ඊජිප්තු පිලේ අහමඞ් ෆාති තමන්ගේම දැල තුළට පන්දුව දමාගැනීමෙන් රුසියාවට ගෝල 1-0ක වාසියක් හිමිවීම නිසාය. ඊජිප්තු සීමාවේදී රොමාන් සොබ්නින් ගැසූ පහරින් පන්දුව ඉදිරියට ඇදී යද්දී එය වැළැක්වීමට ෆාති ගත් උත්සාහයෙන් අන්තිමට පන්දුව නතරවූයේ ඔවුන්ගේම දැල තුළය.

ඊළඟට 59 වැනි මිනිත්තුවේදී ඩෙනිස් චෙරිශෙව් රුසියාවට ගෙන දුන් විශිෂ්ට ගෝලයත් සමග ගෝල 2-0කින් ඊජිප්තුව අන්දමන්ද කළ රුසියාවේ ජයග්‍රහණය තහවුරු කළේ ඊට මිනිත්තු 3කට පසුව ආටම් සියුබා ගැසූ අනගි ගෝලයයි.

එකවරම සිදුවූ මේ පෙරළිකාර සිදුවීමෙන් පසුව ඊජිප්තුව දැඩි පීඩනයකට හසුවූ අතර තරගය ආරම්භයේ සිටම ඊජිප්තුවේ සුපිරි ක්‍රීඩක මොහොමඞ් සාලා මත තැබූ සියලු විශ්වාස අපතේ ගිය බවක් පෙනෙන්නට තිබිණි.

ලිවර්පූල් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙස විශිෂ්ටත්වයට පත්ව සිටින සාලා ඊයේ තරගයට ක්‍රීඩා කළේ උරහිසේ සැත්කමෙන් පසු පළමු වතාවටය. 73 වැනි මිනිත්තුවේදී ලැබු දඬුවම් පහරකින් සාලා ගෝලයක් වාර්තා කිරීමට සමත්වුවත් ඊජිප්තුවට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

රුසියාව අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 70 වැනි ස්ථානයේ පසුවෙයි. පළමු තරගයෙන් සෞදිය පරාජයට පත් කිරීමෙන් ලද උත්තේජනය නිසා ඊයේ තරගයේදී ක්‍රීඩා කළේ වෙනදාට වඩා වැඩි ප්‍රබෝධයකින් යුතුවය.

සෝවියට් රුසියාව නමින් 1966 තරගාවලියේදී අවසන් පුර්ව වටයට ගිය රුසියාව එදායින් පසුව ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරග දෙකක් පිට පිට ජයගත් පළමු අවස්ථාව මෙය විය.

දෙවනි වටයට යාමේ ඊජිප්තුවේ බලාපොරොත්තුව දැන් ඇත්තේ අවදානම් තත්ත්වයේය. එය සිදුවන්නට නම් ඔවුන්ට සෞදි අරාබියට එරෙහිව වැඩි ගෝල සංඛ්‍යාවක ජයක් අවශ්‍යව තිබේ. එපමණක් නොව ඔවුන්ට අවසන් 16 දෙනා අතරට යාමට නම් උරුගුවේ පිල රුසියාවට මෙන්ම සෞදි අරාබියටද  පරාජය විය යුතුව ඇත.


- 077

 


අදහස් (0)

සත්කාරක රුසියාවට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.