Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner වීඩියෝ විනිසුරුගේ තීරණ මතභේදයට

වීඩියෝ විනිසුරුගේ තීරණ මතභේදයට

Nisanka Sandeepani - 2018 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වීඩියෝ සහාය විනිසුරුගේ මතභේදයට තුඩු දෙන තීරණ වලින් උණුසුම් වූ පෘතුගාලය සහ ඉරානය අතර තරගය අන්තිමේදී ගෝල 1-1 කින් සමවීමෙන් නිමාවට පත්වූවත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට පෘතුගාලය සමත්විය.

අනපේක්ෂිත අයුරින් දඬුවම් පහරක් මඟ හරවාගත් පෘතුගාල කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කහ කාඞ් පතේ දඬුවමකට ලක්වූ අතර රතු කාඞ් පතේ දඬුවමෙන් බේරුණේ වීඩියෝ සහාය විනිසුරුගේ පිහිටෙනි. තවත් වීඩියෝ තීරණයකින් අන්තිම මොහොතේ දඬුවම් පහරක් එල්ල කිරිමේ අවස්ථාව ලබාගත් ඉරානය තරගය සමකරගත්තත් පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට නොව ගෙදර යැවීමට තරම් ආසන්නයටම ඉරානය පැමිණ සිටියේය. 

තරගය ආරම්භවී මිනිත්තු 44ක් පුරා පෘතුගාලයේ ඉවසීම පරික්ෂා කළ ඉරානය හමුවේ ගෝල 1-0 කින් පෘතුගාලය පෙරමුණ ගත්තේ පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී රිකාඩෝ කුවරෙස්මා ගැසූ උද්වේගකාරී පහරකිනි. 

කෙසේවෙතත් අවසන් මොහොතේ ලද දඬුවම් පහරින් අන්සාරීෆාඞ් ඉරානයට ගෙනා ගෝලයෙන් තරගය සමවීම නිසා සිද්ධවූයේ පෘතුගාලය ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වීම පමණක් නොව භයානක අවසන් 16 දෙනාගේ වටයේදී ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණේ සිටින ලුයිස් සුවාරිස්ගේ උරුගුවේ පිල සමග ගැටුමක් නිර්මාණය කරගැනීමටය. 

රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගත්තානම් සෙනසුරාදා ආරම්භ වන අවසන් 16 දෙනාගේ වටයේදී ඔවුන්ට ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ සත්කාරක රුසියාව සමග සැනසිලිදායක තරගයකට එක්වීමේ අවස්ථාව එළැඹෙන්නට තිබිණි.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූයේ පළමුවතාවට ඊට දායක වී ඇති  වීඩියෝ සහාය විනිසුරුගේ (ඪ්ඍ) කාර්යභාරයයි. එසේවුවත් ඊයේ පැවැති ‘බී‘ කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගයේදී ලැබුණු තීරණ නම් එහෙම පිටින්ම මතභේදයට තුඩු දුන් ඒවාය.

වීඩියෝ සහාය විනිසුරුගේ මතභේදාත්මක තීරණ ඇරැඹුණේ 52 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට දඬුවම් පහරක් පිරිනැමීමත් සමගය. රොනාල්ඩෝගේ නොවරදින බව කියන පා පහරින් පන්දුව දැල තුළට යා නොදී රැකගැනීමට ඉරාන ගෝල රකින්නා වන අලි බයිරන්වැන්ඞ් සමත්විය. පෘතුගාලයට දඬුවම් පහරක් ලැබුණේ ඉරානයේ සයිඞ් එසාටෝලාහි සමග ගැටුණු රොනාල්ඩෝ බිම ඇද වැටීම නිසාය. මුලින්ම පිටියේ විනිසුරු එය නොසළකා හැරියත් පසුව වීඩියෝ සහාය විනිසුරු පිහිට පැතුවේ රොනාල්ඩෝ ඇතුළු පිරිසගේ දැඩි විරෝධයක් තිබූ බැවිනි. 

තරගය වඩාත් උණුසුම් වූයේ ඒ සිදුවීමෙන් පසුව පිටියේ විනිසුරු නොසළකා සෑම අවස්ථාවක් සඳහාම වීඩියෝ සහාය විනිසුරුගේ පිහිට පැතීමට දෙපිලේහිම ක්‍රීඩකයන් උත්සාහ ගැනීම හේතුවෙනි. ඊළඟට තරගයේ 82 වැනි මිනිත්තුවේදී වීඩියෝ සහාය විනිසුරුගේ තීරණයට මුල් වුයේ රොනාල්ඩෝය. ඒ මොහොතේ මොර්ටෙසා පෝරලින්ගාන්ජිගෙන් පන්දුව උදුරා ගැනීමට උත්සාහ කරමින් සිටි රොනාල්ඩෝ ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ මුහුණ මිරිකනු අයුරු පෙනෙන්නට තිබිණි. 

සෑහෙන වේලාවක් තරගය නතර කරන්නට සිදුවූ අතර රතු කාඞ් පතක් ලැබීමට තරම් බලවත් වරද පසුව කහ කාඞ් පතේ දඬුවමකින් නිමාවට පත්විය. එහෙත් වීඩියෝ සහාය විනිසුරුගේ තීරණවල වඩාත්ම මතභේදයට තුඩු දුන්නේ අන්තිම මොහොතේ තරගය තීන්දු කළ ඉරානයේ දඬුවම් පහරයි. 

ඒ මොහොතේ පන්දුව ලබාගැනීමට උත්සාහක කළ ඉරානයේ සර්දාර් අස්මූන් බිම ඇද වැටුණේ ඒ පන්දුවට පෘතුගාලයේ සෙඞ්රික් සෝරිස් ඉහළට පැන හිසින් පහරක් ගැසීමට උත්සාහ දැරීම නිසාය. පිටියේ විනිසුරු එය නොසළකා හැරියත් ඉරාන ක්‍රීඩකයන්ගේ විරෝධය නිසා සිදුවීම වීඩියෝ සහාය විනිසුරුට යොමු කර අන්තිමේදී සිය තීරණය අකුළාගත්තේ ඉරානයට දඬුවම් පහරක් පිරිනැමීමෙනි. එසේ වුවත් එය විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ඉරාන කණ්ඩායමේ කළමනාකරු (පුහුණුකරු) පෘතුගාල ජාතිකයකු වීම වඩාත්ම අවධානයට ලක්වූයේ මේ තරගයේදීය. මේ තරගාවලියේදී ඉරානයේ කළමනාකරු හැටියට කටයුතු කරන කාර්ලෝස් කුයිරෝස් 2010 ලෝක කුසලාන තරගාවලියේදී පෘතුගාල පිලේ කළමනාකරුය. රොනාල්ඩෝට රතු කාඞ් පතක් දී පිටියෙන් ඉවතට දැමීම වෙනුවට කහ කාඞ් පතක් දීම සිදුවූයේ ක්‍රීඩකයා ඉහළ තලයේ තරුවක් වීම නිසා බව කුයිරෝස් පසුව කීවේය.

‘නීතියේ හැටියට ඔහු ප්‍රතිවාදියාගේ මුහුණ පොඩි කිරීම රතු කාඞ් පතේ වරදක්. ඒක ලයනල් මෙසීට රොනාල්ඩෝට කියලා වෙනසක් නෑ‘
ඉරානය මෙතෙක් සහභාගි වූ ලෝක කුසාලන පාපන්දු තරගාවලි සියල්ලේදීම (1978, 1998, 2006, 2014, 2018) මූලික වටයෙන් පරාජයට පත්වූ අතර පෘතුගාලය පිළිමළුන් පිටුදැකීමේ දෙවැනි වටයට සේන්දුවූයේ සිවුවැනි වතාවටය. ඊට පෙර 1966, 2006 සහ 2010දී ඔවුන් දෙවැනි වටයේ දී ක්‍රීඩා කළහ.


- 077


අදහස් (0)

වීඩියෝ විනිසුරුගේ තීරණ මතභේදයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.