Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලුකාකු - හසාඩ් ගෝල පිට ගෝල රැස්කරති

ලුකාකු - හසාඩ් ගෝල පිට ගෝල රැස්කරති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙල්ජියමේ රොමේලු ලුකාකු සහ ඒඞ්න් හසාඞ්ගේ දක්ෂතාවය හමුවේ ගෝල 5-2 කින් ටියුනීසියාව තරගාවලියේ ඉවතට ඇදදැමූ බෙල්ජියම අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසකම් ලබා ගැනීමට අද(23) සමත් විය. ‘ජී ’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ ස්පාර්ටාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

’රතු යක්කු’ යන අනුවර්ථ නාමයෙන් පාපන්දු පිටිය කළඹන බෙල්ජියම මෙවර සහභාගී වූ පළමු තරග දෙකම ජයගනිමින් අනෙකුත් කණ්ඩායම් වලට අභියෝගයක් එල්ල කරමින් සිටී. බෙල්ජියම් ක්‍රීඩක රොමේලු ලුකාකුගේ විශිෂ්ට ආක්‍රමණය හමුවේ මෙවර බෙල්ජියමට කුසලානයේ බලාපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාවක් ඇති අතර රොනාල්ඩෝ සමගින් රත්‍රං සපත්තුව සඳහා සිහින දකින බවක්ද පෙනේ. රොනාල්ඩෝ සහ ලුකාකු ගෝල 4 බැගින් ලබා මේ වනවිට වැඩිම ගෝල ලාභීන්ගේ සටහනේ පෙරමුණේ පසුවෙති.

ටියුනීසියාවේ සියාම් බෙන් යූසෙෆ් ගෝල සිමාව ආසන්නයේදී, ඒඞ්න් හසාඞ්ව හිරිහැර වන අයුරින් පන්දුව ලබා ගැනිම නිසා බෙල්ජියමට දඬුවම් පහරක් ලබා දීමට තරග විනිසුරුවරයා තීරණය කිරිමත් සමග 6 වැනි මිනිත්තුවේදී, එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් ඒඞ්න් හසාඞ් පළමු ගෝලය වාර්තා කළේය.
 
නැවතත් 16 වැනි මිනිත්තුවේ ටියුනීසියාවේ දැල රකින්නා ගෝල සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුව ලබා ගැනිමට යෑම නිසා එකී හිඩැසින් උපරිම ප්‍රයෝජන ලබාගත් බෙල්ජියමේ ලුකාකු තරගයේ දෙවන ගෝලයද වාර්තා කරමින් බෙල්ජියමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

බෙල්ජියම සමගින් කරටකර තරගයක් ලබාදුන් ටියුනීසියාව තරගයේ 18 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුවත් එවිටමත් ගෝල 2-1 ලෙස පෙරමුණ ලබා ගැනීමට බෙල්ජියමට හැකිවිය.
ටියුනීසියාවේ වහබ් ඛස්රි පිරිනැමූ පන්දුව ඩිලාන් ඩ්‍රෝන් විසින් හිසෙන් දැලවෙත යොමු කරමින් එම ගෝලය වාර්තා කළේය.

පළමු භාගය නිමාවීමට විනාඩියක් තිබියදී, නැවතත් ක්‍රියාත්මක වූ බෙල්ජියමේ ලුකාකු සිය දෙවන ගෝලය වාර්තා කරමින් බෙල්ජියම ගෝල 3-1 ක් පෙරමුණේ තැබීය. ගෝල පිට ගෝල වාර්තා වූ තරගයක් ලෙස ඉතිහාසයට එක්වෙද්දී නැවතත් 55 වැනි මිනිත්තුවේදී බෙල්ජියමේ ඒඞ්න් හසාඞ් වේගයෙන් ලබාගත් ධාවනයකින් පසු සිය දෙවන ගෝලයද වාර්තා කළේය. තරගය පුරාවටම ලුකාකු සහ හසාඞ් සම්පූර්ණයෙන්ම තරගය ඔවුන්ගේ කරගනිමින් බෙල්ජියම ජයග්‍රහණය කරා රැගෙන යද්දී ටියුනීසියාවට පළමු වටයෙන්ම ලෝක කුසලාන සිහිනයට සමුදීමට සිදුවිය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළදී, නැවතත් ගෝලයක් වාර්තා කළ බැට්ෂුයාවි බෙල්ජියම ගෝල 5-1 ලෙස පෙරමුණ ලබා ගනිද්දී, තරගයේ අමතර කාලයේ ටියුනීසියාවේ වහබ් හස්රි ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

බෙල්ජියම ලෝක කුසලාන තරගාවලියකදී ගෝල 5ක් වාර්තා කළ පළමු වතාව බවට මෙය පත්වෙද්දී, ටියුනීසියාව ලෝක කුසලාන තරගාවලියකදී, පරාජයට පත්වූ 13වැනි තරගය බවට ඉතිහාසයට එක්විය.
අද දිනයේ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 6ක් ලබා බෙල්ජියම ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. ටියුනීසියාව තරගාවලියෙන් ඉවත් වෙද්දී එංගලන්තය සහ පැනමාව තවමත් තරගාවලියේ රැඳී සිටී.

 

- 024


අදහස් (0)

ලුකාකු - හසාඩ් ගෝල පිට ගෝල රැස්කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.