Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මුසාගේ ගෝල ද්විත්වයෙන් නයිජීරියාවට බලාපොරොත්තුවක්

මුසාගේ ගෝල ද්විත්වයෙන් නයිජීරියාවට බලාපොරොත්තුවක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නයිජීරියාවේ අහමඞ් මුසාගේ ගෝල ද්විත්වය හමුවේ අද (22) අයිස්ලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 2-0 ක ජයක් ලැබීමට නයිජීරියාව සමත් විය. ‘ඩී’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ වොල්ගෝග්‍රැඞ් ඇරෙනා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ දෙවන භාගය ආරම්භ වී විනාඩි 4ක් යාමට මත්තෙන් එනම් 49 වැනි විනාඩියේදී, තරගයට අවතීර්ණ වූ නයිජීරියානු ක්‍රීඩක අහමඞ් මුසා තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. මුලුමනින්ම තරගය තමන් අතට ගත් අහමඞ් මුසා 75 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලයද වාර්තා කරමින් තරගයේ වීරයා බවට පත් විය.

තරගයේ පළමු භාගයේදී දෙපිලටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර දෙවන භාගයේදී නයිජීරියානු ඉදිරිපෙළ වළල්ලෙන් අයිස්ලන්තයට දැඩි පීඩනයක් එල්ල කරනු දැකගත හැකිවිය. තරගයේ 55 වැනි මිනිත්තුවේදී නයිජීරියාව ගෝල සීමාව ආසන්නයට රැගෙන ආ පන්දුව අයිස්ලන්තයේ දැල රකින්නා විසින් නවතා ගැනීම නිසා එවර ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නයිජීරියාවට මගහැරිණ.  

අහමඞ් මුසා අද දිනයේ ලබාගත් ගෝල ද්විත්වයත් සමගින් ලෝක කුසලාන තරගාවලියකදී ඔහු ලබාගත් සිව්වන ගෝලය බවටද පත්විය. පසුගියවර පැවැති ලෝක කුසලාන තරගාවලියේදීද, ආජන්ටිනාවට  එරෙහිව මෙලෙසින්ම ගෝල ද්විත්වයක් ලබා ගැනීමට අහමඞ් මුසාට හැකි විය. මෙම දක්ෂතාවයත් සමග අප්‍රිකානු ක්‍රීඩකයෙකු ලෝක කුසලාන දෙකකදී ගෝල ද්විත්වය බැගින් වාර්තා කළ දෙවන ක්‍රීඩකයාද විය. මීට පෙර 1990 වසරේ රොගර් මිල්ලා විසින් මෙම දක්ෂතාවය පෙන්වා තිබුණි.

තරගයේ 83 වැනි මිනිත්තුවේදී අයිස්ලන්තයට දඬුවම් පහරක් ලබා දුන්නද එයද අසාර්ථක වීම නිසා තරගයේ අවසන් බලාපොරොත්තුවද ඔවුන්ට මගහැරි ගියේය.  

ආජන්ටිනාවට එරෙහිව ඊයේ (21) ගෝල 3-0 කින් ජයගත් ක්‍රෝඒෂියාව  ‘ඩී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් ලබා පෙරමුණේ පසුවන අතර, අද ජයග්‍රහණයත් සමගින් නයිජීරියාව එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව සිටී. මෙවර ලෝක කුසලානයේ කාගේත් බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසි ආජන්ටිනාවට ‘ඩී’ කාණ්ඩයේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ක්‍රෝඒෂියාව සමගින් අවසාන කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාව, නයිජීරියාව සහ අයිස්ලන්තයට තවමත් අවස්ථාව පවතී. මේ මස 26 වැනිදා පැවැත්වෙන ආජන්ටිනාව සහ නයිජීරියාව අතර තරගය ආජන්ටිනාව වැඩි ගෝල ගණනකින් ජය ගතහොත්, ආජන්ටිනාවට අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනිමට අවස්ථාව ඇත. එමෙන්ම නයිජීරියාව එම තරගය ජයගතහොත් අයිස්ලන්තයත් ආජන්ටිනාවත් පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවන අතර ක්‍රෝඒෂියාව සහ අයිස්ලන්තය අතර තරගය අයිස්ලන්තය ජයගතහොත් නයිජීරියාවට සහ ආජන්ටිනාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවෙයි.

මේ නිසා ක්‍රෝඒෂියාව සමගින් ‘ඩී’ කාණ්ඩයෙන් 16 වටයට සුදුසකම් ලබා ගන්නේ කවුරුන්ද යන්න ලබන 26 වැනිදා ආජන්ටිනාව සහ නයිජිරීයාව අතර තරගයෙන් තීරණය වනු ඇත.

 

 

- 024


අදහස් (0)

මුසාගේ ගෝල ද්විත්වයෙන් නයිජීරියාවට බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.