Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්‍රසීලය මළගමක් වෙයි

බ්‍රසීලය මළගමක් වෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A


2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව තරගයෙන් බ්‍රසීල පාපන්දු කණ්ඩායම ජර්මනිය හමුවේ අන්ත පරාජයට ලක්වීම සමස්ත බ්‍රසීල ජනතාව මෑත කාලයේ මුහුණ පෑ දරුණුතම බේදජනක සිදුවීම බවට පත්වී තිබේ.
 
බ්‍රසීල පාපන්දු ඉතිහාසයට කළු පැල්ලමක් එකතුකළ මෙම තරගය බොහෝ කලකට ඔවුන්ගේ මතකය වේදනාවෙන් පුරවා දැමීමට තරම් සමත් එකකි. තරගයේ පරාජයෙන් පසුව හඬා වැලපෙන බ්‍රසීල ජනතාවගෙන් එරට වීදි පිරී ඉතිරි යන්නට විය. ඇතැමුන් සිය කණ්ඩායමේ දරුණු පරාජය අදහාගත නොහැකිව විමතියෙන් දෑස් දල්වා බොහෝ වේලාවක් යනතුරු ක්‍රීඩාංගණයේ රැස්ව සිටිනු දක්නට ලැබිණි.

ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ වසර 64කට පසුව සිය ‍රටෙහි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ශූරතාව ආගන්තුක කණ්ඩායමක් අතට පත්වනු දැකීම තරම් වේදනාවක් බ්‍රසීල ජනතාවට තවත් නම් නොමැති බවය.

මීට පෙර පළමු වරට බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගමාලා‍වේ අවසන් තරගයේ දී උරුගුවේ පිල වෙතින් බ්‍රසීලය ලැබූ පරාජය තවමත් ඔවුන්ගේ හදවත් තුල තැන්පත්ව තිබේ. ඒ අමිහිරි අත්දැකීමට මුහුණදුන් ක්‍රීඩාලෝලීන්ගෙන් ඇතැමුන් අද ජීවතුන් අතර නැත. තවත් පිරිසක් ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිති. එහෙත් ඉතිහාසය නැවතත් අලුත් කරමින් ජර්මනිය වෙතින් බ්‍රසීලය පරාජය වූ මොහොතේ ඔවූහූ නැවතත් සිත පාරවා ගත්හ. අද ඔවුන්ගේ තුන්වැනි පරපුර ද ඒ කටුක අත්දැකීමට මුහුණ දී තිබේ.

බ්‍රසීලය ලැබූ මේ දරුණු පරාජය ලෝ පුරා විවිධ මාධ්‍යවලටත්, ලෝක පාපන්දු ප්‍රජාවටත් උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත්වී තිබේ. රොයිටර් පුවත් සේවය එම පරාජය දුටුවේ 1950 වසරේ අවතාර නැවතත් බ්‍රසීලය දඩයම් කරන්නට පටන්ගෙන ඇති බවකි. බ්‍රසීලය මෑත කාලයේ මුහුණ පෑ දරුණුම ඛේදවාචකය මෙය බව ඒ.පී. පුවත්‍ ‍සේවය වාර්තා කළේය.

මෙම  තරගය ජාත්‍යන්තර රූපවාහිනී සේවා 100 අධික ප්‍රමාණයක් සජිවීව විකාශය කළ අතර ලෝ පුරා ක්‍රීඩාලෝලීහු මිලියන ගණනක් මෙම පරාජය සජීවිව දැක බලා ගත්හ. ඒ අතර විවිධ රටවල  රාජ්‍ය නායකයෝ පවා සිටියහ. මේ පරාජය පිළිබඳව ඇතැම් රාජ්‍ය නායකයෝ බ්‍රසීල ජනපතිනියට සිය කණගාටුව පුද කිරීමට ද අමතක නොකළහ.

මේ පරාජය තම පාපන්දු දිවියේ තමන් මුහුණදුන් අන්තිම නරකම පරාජය බව බ්‍රසීලයේ පුහුණුකරු ලුයිස් ෆෙලිප් ස්කොලාරි තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළ අතර පරාජයේ වගකීම තනිව බාරගන්නා බව ද කියා සිටීමෙන් බ්‍රසීල ජනතාව වඩ වඩාත් සංවේදි වූහ.

එය ඔවුන්ගේ දෑසට තවත් කඳුළු උනන අවස්ථාවක් බවට පත්විය. තරගයක පරාජයේ වගකීම සමස්ත කණ්ඩායමටම හිමිවිය යුතු බව ඇතැමුන් කියද්දී ස්කොලාරි පැවැසුවේ තරගය අතරතුර ක්‍රීඩකයන් ස්ථානගත කිරීම තනිකරම තම අණසකට යටත්ව පැවැති බැවින් ඊට වගකිව යුත්තේ තමා බවය.
 
එමෙන්ම ජර්මනිය එදා ක්‍රීඩා කළ ආකාරය ඉතා විශිෂ්ට බවත්, ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රශංසාවට ලක්විය යුතු බවත් ඔහු කී‍වේය. මේ අවස්ථාවේ දී සමස්ත බ්‍රසීල ජාතියෙන්ම සමාව අයැද සිටීමට ද ඔහු අමතක නොකළේය.

දැන් තම එකම අභිප්‍රාය වන්නේ තරගමාලාවේ තුන්වැනි තැන දිනා ගැනීම බවද ස්කොලාරි කියා සිටි‍යේය. තරගයේ පරාජයත් සමග බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩෝ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් කියා සිටි‍යේ මෙය අන්තිම නරක තත්ත්වයක් බවයි. ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය ඔහුගේ විවේචනයට ලක්විය. එමෙන්ම ක්‍රීඩකයන්ගේ ස්ථානගත කිරීමේ අඩුපාඩු රැසක් ද ඔහු පෙන්වා දුන්නේය.

එදා තරගයේ දී නායකත්වයේ වැඩ බැලුවේ ඩේවිඩ් ලුයිස්ය. ඔහු මේ පරාජය විඳ දරා ගත නොහැකිව බොහෝ වේලාවක් කඳුළු සැලුවේය. සමස්ත බ්‍රසීල ජාතියෙන්ම සමාව අයැද සිටිමින් ලුයිස් පැවැසුවේ මෙය කෙතරම් වැදගත් තරගයක් ද කියා ඔවුන් හොඳින්ම දැන සිටි බවය. එමෙන්ම පරාජයේ වගකීම පුහුණුකරුට පමණක් පැවරීම සාධාරණ නැතැයි ද ඔහු කීවේය.

බ්‍රසීලය ලැබූ අන්ත පරාජයේ අමිහිරි වේදනාව මකා දැමීමට රියෝ ද ජැනයිරෝ නුවර එක්තරා අවන්හලකට වී මැදියම් රැය වනතුරු බීර පානය කරමින් සිටි 67 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් ද වූවාය.

මට මගේ ඇස් අදහාගන්න බැරිවුණා. ජර්මානුවන් එක දිගට ගෝල් ගහන්න පටන් ගත්තම මට ඒක දැනුණේ නිකම් එකම ගෝලයක් නැවත නැවතත් පුනරූපනය කරන රූපවාහිනී දර්ශනයක් වගෙයි. මට මේ වේදනාව උහුලගන්න අමාරුයි. මම හුඟාක් සංවේදි වුණා. ඇය හඬමින් එසේ කියන්නීය.
 
එදා තරගය නැරැඹූ බ්‍රසීල ජනතාවට පළමු භාගයේ මිනිත්තු තිහේ විස්මිත ගෝල වරුසාව අදහාගත නොහැකි එකක් විය. ඇතැමුන් තමන් සතු ප්‍රවේශපත් ඉරා දමන්නට පටන්ගත්හ. එය රූපවාහිනියෙන් නරඹමින් සිටි තවත් සමහරුන් රූපවාහිනිය බිඳ දැමූ සිදුවීම් ද වාර්තා විය.
 
පහට බිංදුවක් කියන්නේ හුඟාක් දුක හිතෙන පරාජයක්. තරගයේ පළමු භාගයෙන් පසුව ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය රිබෙයිරෝ ‍ෆ්‍රැන්කා එසේ කීවේය.

එකට බිංදුවක් කමක් නෑ. එකට එකක්, එකට දෙකක්, දෙකට දෙකක් කමක් නෑ. ඒත් පහට බිංදුවක් කියන්නේ හරිම ලැජ්ජා හිතෙන ලකුණු සංඛ්‍යාවක්.

ජර්මානුවන් තරගයේ පළමු භාගයේ දී බ්‍රසීලය එහෙම පිටින්ම විනාශ කරද්දී බ්‍රසීලයේ ‍.ෆේස් බුක්. පිටුවල හිමිකරුවන්ට කිසිදිනෙක නොතිබූ තරම් අපහාසාත්මක පණිවුඩ රැසක් කියැවීමට සිදුවී තිබිණි. ඒ සියලු පණිවුඩවලින් දැක්වූයේ බ්‍රසීල පාපන්දු පිලේ ක්‍රීඩකයන්ට කළ සරදම් කතාවලිනි.

මගේ ෆෙස්බුක් පිටුව මුළුමනින්ම වැසී ගියේ ඒ වගේ කතාවලින් ර්‍ණ 25 හැවිරිදි මිරාල් රිබේර්ඩෝ කීවේයග ඔහු රියෝද ජැනයිරෝ නුවර වැසියෙකි.

මේක පුදුම පරාජයක්. හැමදාම මතක් කර කර අඬන්න වෙන සිදුවීමක්
සාඕ පාඔලෝ නුවර දහස් සංඛ්‍යාත ක්‍රීඩා‍‍ලෝලීන් රැස්වන තැනක දැවැන්ත රූපවාහිනිය තිරයක් මත විකාශය වූ මේ තරගය නැරැඹූ සමිර් කෙල්වින් මෙසේ කීවේය.

මට කියන්න දෙයක් නෑ. බ්‍රසීල ජාතිකයෙක් හැටියට මම ලැජ්ජා වෙනවාග මට දැන් ඕන කරන්නේ ජීවිතය නැති කරගන්නයි.

එදා ක්‍රීඩාංගණයෙන් ඇතැමුන් නික්ම ගියේ දැඩි කෝපයෙන් යුතුවය.
මොන තරම් ලැජ්ජාවක්දගග?. කාන්තාවක් එසේ කෑගැසුවාය.


ලතින් අමෙරිකාවේ ජර්මානු රංගනය. බ්‍රසීල පුවත්පත් පසුදින සිය පුවත්පත්වල ශීර්ෂ පාඨයෙන් එසේ කියා සිටියේය. බොහෝ පුවත්පත් බ්‍රසීල කණ්ඩායම දරුණු විවේචනයට ලක් කොට තිබිණි.
 
සැබැවින්ම එය බ්‍රසීලයේ මළගමක්ම විය.


අදහස් (6)

බ්‍රසීලය මළගමක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.