Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු ලෝක කුසලානයේ ඩොලර් මිලියන 35 ක්

පාපන්දු ලෝක කුසලානයේ ඩොලර් මිලියන 35 ක්

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

ඇදහිය නොහැකි තෑගි කන්දරාවක් සමග 20 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජූනි 12 වැනිදා බ‍්‍රසීලයේ ”සාවෝ පාලෝ” නගරයේදී ආරම්භ වේ. ඇදහිය නොහැකි තෑගි කන්දරාවක් යයි කියන්නේ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සඳහා පිරිනැමෙන මුළු තෑගි මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 17,500කට වැඩිවීමය.

නමුත් කෙතරම් වටිනා තෑගි කන්දරාවක් පිරිනැමුණත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එය ඉස්මතු කර පෙන්වීමට අන්තර්ජාතික පාපන්දු සමුළුව උනන්දු නොවන්නේ ලෝක පාපන්දු කුසලාන දිනාගැනීම මිලක් නියම කළ නොහැකි තරම් ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක් වන බැවිනි.

පෘතුගිසි භාෂාව කතා කරන ලොව විශාලම රාජ්‍යයයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ වසර 64 කට පසුවය. 1950 තරගාවලියේ සත්කාරය දැරූ අවස්ථාවේදී බ‍්‍රසීලය අනුශූරතාව හිමි කර ගෙන තිබේ.

ලතින් (දකුණු) ඇමරිකානු කලාපයේ බලවතා ලෙස පිළිගන්නා බ‍්‍රසීලය ලෝක පාපන්දු පිටියේ බලවත්ම රාජ්‍යයක් ලෙස වසර 64 කට පසු යළිත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සත්කාරය දරන්නේ ඒ සම්බන්ධයෙන් එරට රජයට ජනතා විරෝධයක් මතු වෙමින් තිබියදීය.

ලෝක පාපන්දු කුසලාන පස් වරක් දිනා ගත්, වරෙක ලොව ”පාපන්දු රජුන්” ලෙස ද හැඳින් වූ බ‍්‍රසීලය තරගාවලියේ අනුශූරතාව දෙවරක් හිමි කර ගෙන තිබේ. එරට ජනතාවගේ ලෙන්ගතුම ක‍්‍රීඩාව පාපන්දු බවට පත්වුවත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරය දැරීම හේතුවෙන් ඔවුන්ගේ විරෝධය බ‍්‍රසීල රජයට එල්ල වී ඇත්තේ අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් මේ අවස්ථාවේදී ලෝක කුසලාන තරගාවලිය සූදානම් කළත් එරට ජනතාව අතර දරිද්‍රතාවය පැන නැගෙමින් තිබීමය.

එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය බ‍්‍රසීල රජයට තරගාවලියේ සංවිධාන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් ප‍්‍රදානය කර තිබේ. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 1320කට ආසන්න මුදලකි.

බ‍්‍රසීලය ප‍්‍රධාන කරුණු කීපයක් නිසා ලොව ප‍්‍රසිද්ධියක් උසුලයි. ලොව පුරා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බ‍්‍රසීලය ජනප‍්‍රියත්වය හිමි කර ගෙන සිටින්නේ පාපන්දු ක‍්‍රීඩාවෙනි.

එරට අගනුවර වන ”රියෝ ද ජෙනයිරෝ”හි පිහිිටි ලොව පුදුම හතෙන් එකක් වන ගැළවුම්කරුවාණන්ගේ ‘කි‍්‍රස්තු’ පිළිමය හැරෙන්නට ලොව විශාලතම වනාන්තරය වන ඇමේසන් වනයෙන් වැඩි කොටසක් හා ”සාගර ගංගාව” යැයි විරුදාවලිය ලත් ලොව විශාලතම ගංගාව වන ඇමේසන් ගංගාවෙන් වැඩි කොටසක් ගලා බසින්නේ ද යෝධ ”බ‍්‍රසිලය” හරහාය.

ඒ නිසා ලොව සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ගත් රටක් ලෙස දැන් ලොවේ වැඩි අවධානයක් බ‍්‍රසීලයට යොමු වී ඇත්තේ ලබන ජූනි 12 වැනිදා එරට දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය හේතුවෙනි.

එරට නගර 12ක ඉදි වූ දැවැන්ත ක‍්‍රීඩාංගණ 12 කදී 20 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට දැන් සියලූ කටයුතු සූදානම් කර අවසානය.

ශ්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් ශූරයන් ලෙස මේ වන විට ඉහළම පිළිගැනීමක් හිමි කර ගෙන තිබුණත් ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීම නම් ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් බහුතරයක ඉටු නොවන සිහිනයක් බවට පත්ව තිබේ.

ලෝක කුසලාන පූර්ණ සුදුසුකම් ලබාගැනීමේ තරග වට කීපයකට සහභාගි වීමට ශ්‍රී ලංකාවට ද අවස්ථාව හිමිවේ. එහෙත් බ‍්‍රසීලය වැනි රටක පාපන්දු ක‍්‍රීඩාව හා සැසඳීමේදී ශී‍්‍ර ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව තවමත් පවතින්නේ ප‍්‍රාථමික මට්ටමකය.

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර වාර්තා වී තිබෙන ඉහළම පාපන්දු ජයග‍්‍රහණය වන්නේ දකුණු ආසියානු (සාක්) කලාප කුසලාන 1995 දී දිනා ගැනීමය. ඒ නිසා පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීමේ සිහිනය ශ්‍රී ලංකාව සැබෑ කර ගන්නේ වසර 3000දී බව එක්තරා මත විමසුමකට සහභාගි වූ සමහරු හාස්‍යයෙන් යුතුව සඳහන් කර තිබූ බව වාර්තා විය. ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීම ඒ තරමටම දුෂ්කර කටයුත්තක් ලෙස සැලකේ.

ලෝක කුසලාන තරගාවලියට මෙවර ආසියාවෙන් සුදුසුකම් ලැබූ රටවල් තුන අතර සිටින ජපානය මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ වසර 2050දී ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීමේ පරමාර්ථයෙනි. ලෝක කුසලාන තරගාවලිය යයි හැඳින්වුවත් මේ පැවැත්වෙන්නේ එහි අවසන් වටයේ තරග පෙළය. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (මූලික වටය) ආරම්භ වන්නේ අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්වීමත් සමගය.

එනම් මුළු තරගාවලිය වසර හතරක් දක්වා කාලයක් ඇදී යයි.
අවසන් වටයට රටවල් (කණ්ඩායම්) 32 ක් සුදුසුකම් ලබයි. අවසන් වටයට පිවිසීමත් කිියම් රටක් හිමි කර ගන්නා අති දුර්ලභ අවස්ථාවකි.

‘ෆීෆා’ හෙවත් අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සාමාජික රටවල් ගණන 206 කි. ලෝක කුසලාන පූර්ණ සුදුසුකම් තරග වට සඳහා එම සියලූ රටවල් සහභාගි කර ගැනේ. එම අවස්ථාව ශ්‍රී ලංකාවද හිමි වන්නකි.

ජපානය හැරෙන්නට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගත් සෙසු රටවල් වන්නේ දකුණු කොරියාව හා ඉරානයයි. දකුණු කොරියාව හා ජපානය අවසන් වරට (2010) දකුණු අප‍්‍රිකාවේ පැවති 19 වැනි ලෝක කුසලාන තරගාවලියට ද සුදුසුකම් ලැබීය. එවර ආසියානු කලාපයෙන් සුදුසුකම් ලද සෙසු එකම රට වූ උතුරු කොරියාවට මෙවර එම අවස්ථාව හිමි නොවීය.

උතුරු කොරියාව එවර ලෝක කුසලාන තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලබාගන්නේ වසර 48 කට පසුව බව වාර්තා විය.

මෙවර සත්කාරය දරන බ‍්‍රසීලය 1998 න් පසුව ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීමට උත්සාහ දරයි. ඔවුන්ගේ ගියවර තරගාවලියේ ගමන අවසන් වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී නෙදර්ලන්තයට ගෝල 2x0 කට පරාජය වෙමිනි.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගන්නා පිලට ඩොලර් මිලියන 35 ක් හිමිවන අතර අනුශූරතාව ලබන කණ්ඩායමට ඩොලර් මිලියන 25 ක්ද තෙවැනි ස්ථානයට ඩොලර් මිලියන 22 ක්ද සිව්වැනි ස්ථානයට ඩොලර් මිලියන 20 ක්ද පිරිනැමේ.  

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 8 ට ඩොලර් මිලියන 14 ක් බැගින්ද, දෙවැනි වටයේ තරග වදින කණ්ඩායම් 16 ට ඩොලර් මිලියන 9 ක් බැගින්ද තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 32 සඳහා එක් කණ්ඩායමකට ඩොලර් මිලියන 8 ක් බැගින් පිරිනැමෙන අතර තරගාවලියට පෙර ඒ සඳහා වන සූදානම වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඩොලර් මිලියන 1.5 ක් ද හිමිවේ.

පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් එකී කාලය තුළ ක‍්‍රීඩා සමාජවලින් ඉවත්ව සිටින බැවින් ඇති වන පාඩුව සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය එකී ක‍්‍රීඩා සමාජවලට ඩොලර් මිලියන 70 ක් ගෙවීමට බැඳී සිටී.

මේ සියල්ලටම අමතරව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින සමයේ ක‍්‍රීඩකයන්ට ඔවුන් නියෝජනය කරන ක‍්‍රීඩා සමාජවලින් ද ඩොලර් මිලියන ගණනින් ගෙවීම් කරන බැවින් ලෝක පාපන්දු කුසලාන සැබැවින්ම සල්ලි මත පීනන තරගාවලියක් බවට පත් වී හමාරය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙවර ලෝක කුසලාන පාපන්දු සැණකෙළියට ක‍්‍රීඩා කරන ලොව සුපිරිම ක‍්‍රීඩකයන් 100 දෙනකු හඳුනාගෙන සිටින බවය. ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ලයනල් මෙසීය. 26 හැවිරිදි මෙසී බාසිලෝනා ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ඔහුගේ දක්ෂතා කොතෙක්ද යත් වසර 2011-12-13 යන වසර තුනක්ම ක‍්‍රීඩකයන්ගේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පසුවන්නේ මෙසීය.

එම වසර තුනේදී මෙසීගේ ආදායම ඇමරිකානු ඩොලර්වලින් නම් මිලියන 448.8කි. එය ශී‍්‍ර ලංකාවේ මුදලින් නම් කෝටි 5913 කට අධික මුදලකි. දෙවනුවට වැඩිම ආදායමක් ලබන ක‍්‍රීඩකයා පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී පෘතුගාල කණ්ඩායමට නායකත්වය දෙමින් තරගාවලියේ ආකර්ෂණීයම ක‍්‍රීඩකයා බවට ද පත් වූ ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. ”රියල් මැඞ්රිඞ්” ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහුගේ පසුගිය වසර තුනක ආදායම සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 348 ක් ලෙසය.

මේ අන්දමට අපට ඩොලර් මිලියන 25 ක් දක්වා වන ආදායම් ලබන ලොව සුපිරි පාපන්දු ක‍්‍රීඩකයන්ගේ ගණන 80 කි. ඇත්ත වශයෙන්ම ලෝක කුසලාන තරගාවලියේ හටන පවතින්නේ මොවුන් අතර බව පැවසීය නිවැරදිය.

මෙම මුදල් කන්දරාව දෙස බලන කල ලෝක පාපන්දු ක‍්‍රීඩාව අද පවතින තත්ත්වය ලොව වෙනත් කිසිදු ක‍්‍රීඩාවකට ළඟා විය නොහැකි තරම් මට්ටමකය.

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආදායම් අතින් කිසියම් සුපිරි මට්ටමකට පැමිණ තිබෙන බව සත්‍යයක් වුවත් ලෝක පාපන්දු ක‍්‍රීඩාවේ අද ගැවසෙන සල්ලි කන්දරාව අපේ රටේ වැසියන්ට නම් පුදුමය ගෙන දෙන කරුණක් තරම්ය.

ලබන ජූනි 12 වැනිදා බ‍්‍රසීල් වෙලාවෙන් පස්වරු 5.00 ට හෙවත් ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් ජූනි 13 වැනිදා අලූයම 1.30 ට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන්නේ සත්කාරක බ‍්‍රසීලය හා ක්‍රොඒෂියාව අතර තරගයෙනි.

මූලික වටයේ තරග 42 ක් ද ඇතුළුව මුළු තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 64 කි. අවසන් පූර්ව තරග ජූලි 8 සහ 9 යන දිනවලදීත් තෙවැනි ස්ථානය තේරීමේ තරගය ජූලි 12 වැනිදාත් අවසන් මහ තරගය ජූලි 13 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

රියෝද ජෙනයිරෝහි මැරකානා ක‍්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල ඩොලර් 5240 කි. එය ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් හත් ලක්ෂයකට ආසන්නය. අවසන් මහා තරගයේ ප‍්‍රවේශපත‍්‍රයක මිල එය වුවත් මේ වන විට අවසන් මහ තරගයේ ප‍්‍රවේශපත‍්‍ර සියල්ල විකිණී අවසන්ව ඇතැයි වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර මිල තරගයකින් තරගයකට වෙනස්ය. තරගාවලිය ආරම්භ කරමින් බ‍්‍රසීලය හා ක්‍රොඒෂියාව අතර තරගයේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල ඩොලර් 1164 ක් වූවත් ජූනි 25 වැනිදා ඇමරිකාවේ ෆොන්ටා කෝඩා ”සැල්වදෝර්” පිටියේ පැවැත්වෙන බොස්නියාව - ඉරානය අතර තරගයේ ප‍්‍රවේශපත‍්‍රයක මිල දැක්වෙන්නේ ඩොලර් 44ක් ලෙසය. අවසන් පූර්ව තරග ප‍්‍රවේශපත‍්‍රයක මිල ඩොලර් 1500 කට වැඩි වුවත් තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල දැක්වෙන්නේ ඩොලර් 332 ක් ලෙසය.

ඒ අතර සමාරම්භක උත්සවයත් සමග පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේ නැරඹුම් ප‍්‍රවේශ පත‍්‍ර මිල ද මූලික වටයේ සෙසු තරගවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

මෙහිදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීම ඔන්න මෙන්න කියා තිබියදී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ගිය වර ශූරතාව දිනා ගත් ස්පාඤ්ඤය තවදුරටත් අංක එකේ පසුවීම කැපී පෙනේ.

නමුත් ගියවර අවසන් මහ තරගයේදී ඔවුන්ට පරාජය වී අනුශූරතාව ලද නෙදර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක දෙකේ සිට 15 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ තරගාවලියේදී කවදත් පෙරළි කරන ජර්මනියයි. ජර්මනිය වසර 2002න් පසුව ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල දස්කම් මතු කිරීමට සමත්ව නැත. වසර 2002 කොරියාවේ පැවැති තරගාවලියේදී ඔවුන් අනුශූරතාව ලබා තිබේ.

ස්පාඤ්ඤය විසින් ගෝල 1-0කට අවසන් පූර්ව වටයේදී පරාජයට පත් කිරීම නිසා ඔවුන්ට ගිය වර තරගාවලියේ අපේක්ෂා ද අත්හැර ගැනීමට සිදුවිය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ රටවල් තුනෙන් ජපානය 47 වැනි ස්ථානයේද, ඉරානය 37 වැනි ස්ථානයේ ද කොරියාව 56 වැනි ස්ථානයේද පසුවේ.

කෙසේ වුවත් රටවල් 47 ක සාමාජිකත්වයෙන් හෙබි ආසියානු පාපන්දු සමුළුවේ එම රටවල් තුන මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම එම කලාපයට ගෞරවණීය තත්ත්වයකි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබන රටවල් බහුතරයක් සංවර්ධිත රටවල් වන අතර එහිදී ආසියාවෙන් සුදුසුකම් ලද රටවල් තුන දෙස බැලීමේදී ද එම තත්ත්වය තහවුරු වෙයි. තරගාවලිය නියෝජනය ලබන රටවල් බහුතරයක් යුරෝපයේ හා ලතින් ඇමරිකානු රටවල් වේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 1930 දී ආරම්භ වීමෙන් පසු එදා මෙදා තුර එම තත්ත්වයේ ලොකු වෙනසක් දක්නට නොලැබීම කැපී පෙනේ.

1942 හා 1946 යන වසරවලට යෙදුණු ලෝක කුසලාන තරගාවලි දෙකක් අත්හැර දැමුවේ දෙවැනි ලෝක යුද්ධය හේතුවෙනි. මෙවර ”ඞී” කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ඉතාලිය සිව් වරක් ලෝක කුසලාන දිනා ගත් රටකි.

ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරයන් ලෙස මෙවර කරළියට පිවිසෙන අතර ඔවුන්ට එල්ල වී තිබෙන බරපතල අභියෝගය වන්නේ මෙවර එය රැුක ගැනීමට හැකිවේද යන්න පිළිබඳ කරුණය.

ස්පාඤ්ඤය ලෝක ශූරතා අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාවේදීම ශූරතාවක් දිනා ගැනීමට සමත්වූයේ පසුගිය තරගාවලියේදීය. නමුත් ඔවුන් හා පසුගිය තරගාවලියේ අවසන් මහා තරගයට තේරුණ නෙදර්ලන්තය අවස්ථා තුනකදීම ලෝක කුසලාන දිනා ගැනීමේ භාග්‍යය අහිමි විය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වැඩි ඇල්මක් ඇතත් ශ්‍රී ලාංකික ජනතාවගේ පාපන්දු ක‍්‍රීඩා උනන්දුව ලෝක කුසලාන තරග සමයේ මොනවට පැහැදිලි වේ. රටවල් 32 කට පමණක් ලෝක කුසලාන අවසන් වටයට පිවිසීමේ භාග්‍යය හිමිව තිබුණත් ලොව ජනගහනයෙන් පහෙන් දෙකකටත් අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාව හා චීනයට ද ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පිවිසීම සිහිනයකි.

එසේ වුවත් ක්‍රොඒෂියාව වැනි සුළු ජනගහනයක් වෙසෙන රටක් මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිස සිටීම කදිමය. මේ අතර ලෝක බලවතුන් දෙදෙනා වන ඇමරිකාවත් රුසියාවත් මෙවරත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.

එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 13 එහි ස්ථානයේ පසුවන ඇමරිකාව ”ජී” කාණ්ඩයෙන්ද එම ශ්‍රේණිගත කිරීම් අනුව 18 වැනි ස්ථානයේ පසුවන රුසියාව ”එච්” කාණ්ඩයෙන් ද තරග වැදීමට සූදානමින් සිටිති.

ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන රටවල් 32 ශ්‍රේණිගත කිරීම් අනුව ලබා තිබෙන ස්ථාන මෙසේය.

1 ස්පාඤ්ඤය, 2 ජර්මනිය, 3 පෘතුගාලය, 4 කොළොම්බියාව, 5 උරුගුවේ, 6 බ‍්‍රසීලය, 7 ආජන්ටිනාව, 8 ස්විට්සර්ලන්තය, 9 ඉතාලිය, 10 ග‍්‍රීසිය, 11 එංගලන්තය, 12 බෙල්ජියම, 13 ඇමරිකාව, 14 චිලී, 15 නෙදර්ලන්තය, 16 ප‍්‍රංශය, 18 රුසියාව, 19 මෙක්සිකෝව, 20 ක්‍රොඒෂියාව, 21 අයිවරි කෝස්ට්, 25 ඇල්ජිරියාව හා බොස්නියාව, 28 ඉක්වදෝරය 32 හොන්ඩුරාස්, 34 කොස්ටාරිකා, 37 ඉරානය, 38 ඝානාව, 45 නයිජිරියාව, 47 ජපානය, 50 කැමරුන්, 56 කොරියාව, 59  ඕස්ටේ‍්‍රලියාව.

මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පැහැදිළි වන කරුණක් වන්නේ ලෝක කුසලාන, සුදුසුකම් ලැබීමේ තරග වටයේදී වඩාත් ප‍්‍රබල රටවල් ගණනාවක් පරාජයට පත්ව තිබෙන බවය.

ඒ අනුව ලොව පුරා පාපන්දු වසන්තය හඹා යන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙවර ප‍්‍රතිඵලය ගැන සිතීමත් දුෂ්කර වූවත් පස් වරක් කුසලාන දිනා ගත් බ‍්‍රසීලය වසර 64 කට පසුව සිය රටේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදිත් අවසන් මහා තරගයට වරම් ලබා ගනිමින් 1994 න් පසු යළිත් ශූරතාව දිනා ගැනීමට දරන උත්සාහය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ඒ අතර ලොව පුරා ඔට්ටු අල්ලන්නන්ගේ ඇස යොමුවනු ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ලතින් ඇමරිකාවේ යෝධයා දෙසටය. ඒ තුළ සංසරණය වන මුදල තවත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සංවිධානය කිරීමට තරම් වන විශාල මුදලක් වනු ඇතැයි ක‍්‍රීඩා විචාරකයෝ සඳහන් කරති.

 

කාණ්ඩ අටකින් ලෝක කුසලාන පාපන්දු මූලික වටය පැවැත්වේ. ඒ මෙසේය.

  • ”ඒ” කාණ්ඩය -  බ‍්‍රසීලය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, කැමරුන්
  • ”බී” කාණ්ඩය - ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, චිලී,  ඕස්ටේ‍්‍රලියාව
  • ”සී” කාණ්ඩය - කොලොම්බියාව, ග‍්‍රීසිය, අයිවරි කෝස්ට්, ජපානය
  • ”ඞී” කාණ්ඩය - උරුගුවේ, කොස්ටාරිකාව, එංගලන්තය, ඉතාලිය
  • ”ඊ” කාණ්ඩය - ස්විට්සර්ලන්තය, ඉක්වදෝරය, ප‍්‍රංශය, හොන්ඩුරාස්
  • ”එෆ්” කාණ්ඩය - ආජන්ටිනාව, බොස්නියාව, හෙයිගොවිනා, ඉරානය
  • ”ජී” කාණ්ඩය - ජර්මනිය, පෘතුගාලය, ඝානාව, ඇමරිකාව
  • ”එච්” කාණ්ඩය - බෙල්ජියම, ඇල්ජිරියාව, රුසියාව, කොරියාව

අදහස් (4)

පාපන්දු ලෝක කුසලානයේ ඩොලර් මිලියන 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.