Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආජන්ටිනාව අන්ද මන්ද වෙයි

ආජන්ටිනාව අන්ද මන්ද වෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැල් රකින ක්‍රීඩක විලී කබේලෙරෝ සිදුකළ භයානක වැරැද්දක් නිසා ක්‍රොඒෂියාව හමුවේ ගෝල 3-0ක අන්ත පරාජයක් අත්විඳි ලයනල් මෙසීගේ ආජන්ටිනා පිල මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වේලාසනින්ම ගෙදර යාමේ වාතාවරණයකට මුහුණ දී සිටී. ඒ අතරතුර නොසිතූ විරූ ලෙස ආජන්ටිනාවට වේදනාකාරී පරාජයක් උරුම කරදුන් ක්‍රොඒෂියාව අවසන් 16 දෙනාගේ වටයට එක්වීමේ අවස්ථාව උදාකරගත්තේය. අවුරුදු 60 කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේ ආජන්ටිනාව ලැබූ විශාලතම පරාජය මෙය විය. ඊට පෙර ඔවුන් 1958 දී චෙක් රාජ්‍යය හමුවේ ගෝල 6-1 කින් පරාජයට පත්විය.

නිෂ්නි නව්ගොරෝඞ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල රහිතව සිටි අතර දෙවැනි භාගයේදී ආජන්ටිනාවේ ජයග්‍රහණය තහවුරු වනු ඇතැයි කවුරුත් සිතූ තරගය එහෙම පිටින්ම උඩුයටිකුරුවූයේ තරගයේ 53 වැනි මිනිත්තුවේදීය.

ආජන්ටිනාවේ මුළු බරම කරපින්නා ගත් නායක ලයනල් මෙසී දහසක් බලාපොරොත්තු පොදි බඳිමින් සිටියදී සිදුවූ මේ අනපේක්ෂිත සිදුවීමෙන් මෙසීගේ කණ්ඩායම බිමටම ඇද වැටිණි. එය සිදුවූයේ ක්‍රොඒෂියාවේ ඇන්ටේ රෙබික් පන්දුව රැගෙන පැමිණ ගෝල් කණුවට මීටර් කිහිපයක් නුදුරින් සිට එල්ල කළ පහර සුරක්ෂිතව රැක ගැනීම වෙනුවට ප්‍රතිවාදී ක්‍රීඩකයාට එපිටින් සිටි තම සගයා වෙත යාමට කබේලෙරෝ විසින් පා පහරක් එල්ල කරන්නට යාමෙනි. ඔහු ගැසූ පහරින් කැරැකී ගිය පන්දුව ලැබුණේ රෙබික්ටමය. ඔහු එය නිවැරැදි ඉලක්කයට යොමු කරමින් ක්‍රොඒෂියාවට පළමු ගෝලය ගෙන දුන්නේය.

ඊළඟට ක්‍රොඒෂියාවේ නොම්මර දහයේ විශිෂ්ට ක්‍රීඩක ලූකා මොඞ්රික් ආජන්ටිනාවේ ගෝල් රකින්නා පරයා යන අන්දමේ විස්මිත ගෝලයක් වාර්තා කරමින් තරගයේ 80 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමුවේය. 

අන්තිම මොහොතේ ඉවාන් රැකිටික් වාර්තා කළ ගෝලයත් සමග ආජන්ටිනාවේ ඉරණම තීන්දු විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දී ක්‍රොඒෂියාව විසින් දකුණු අමෙරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව මෙය විය.  ඔවුන් ඊට පෙර අවස්ථා හතරකදීම පරාජයට පත්වී තිබිණි. එමෙන්ම ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක මූලික වටයේ පළමු තරග දෙකම පිට පිට ජයගත්තේ දෙවැනි වතාවටය. ඊට පෙර 1998 තරගාවලියේ දී මේ හපන්කම දැක්වූ ක්‍රොඒෂියාව එවර නැවතුණේ අවසන් පූර්ව වටයටම යාමෙන් පසුවය. 

- 036


අදහස් (0)

ආජන්ටිනාව අන්ද මන්ද වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.