Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා පාපන්දු පිල තුන්වැනි වටයට

ශ්‍රී ලංකා පාපන්දු පිල තුන්වැනි වටයට

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ (2023) සුදුසුකම් ලැබීමේ මීළඟ වටයට සුදුසුකම්  ලබා තිබේ.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරන පරිදි ශ්‍රී ලංකාවට එහිදී අත්වන ලොකුම වාසිය වන්නේ තවත් ජාත්‍යන්තර පාපන්දු තරග ගණනාවකට සහභාගිවීමේ අවස්ථාව හිමිවීමයි.  

ලෝක කුසලාන පාපන්දු (2022) ආසියානු කලාප සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ‘එච්’  කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ‘එච්‘ කාණ්ඩයෙන් සිව්වැනි තැනට පත් වූ හෙයින් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය.

ලෝක පාපන්දු කුසලාන (2022) පැවති ආසියානු කලාප දෙවැනි වටයේ පරාජිත කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියනු කුසලාන මීළඟ තරග වටයේ හොඳම කණ්ඩායම් එහිදී වසර 2023 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් තරග වටයකට සුදුසුකම් ලබනු ඇත.  ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබාගත් ආසන්නතම සිදුවීම වන්නේ ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරග වටයේ ‘එච්’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත්වීමයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවට මග පෑදුනේ උතුරු කොරියාව අවසන් මොහොතේ එම තරග වටයෙන් ඉවත්වීමට  ගත් තීරණයයි. ශ්‍රී ලංකාව කිසිදු ප්‍රසාද ලකුණක් නොලැබූ නමුත්  පස්වැනි  (අවසන්) ස්ථානයේ සිට සිව්වැනි ස්ථානයට පත්වූයේ උතුරු කොරියාව තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙනි.

ආසියානු පාපන්දු සමුළුව හඳුන්වා දී තිබෙන නව තරග ක්‍රමයට අනුව ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවූයේ නම් එහිදී ද ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ  පිළිමළුන් පිටුදැකීමේ විශේෂ  තරග වටයකට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත. ආසියානු පාපන්දු සමුළුව නිවේදනය කරන පරිදි ලෝක කුසලාන තරග වට සඳහා සහභාගි වූ සිය කලාපයේ රටවල් 39කට මෙම තරග ක්‍රමය යටතේ 2023 ආසියානු කුසලාන මීළඟ තරග වටයට පිවිසීමේ අවස්ථාව ලැබී තිබේ.

වසර 2023 ජුනි 16 සිට ජුලි 16 දක්වා චීනයේ ‘බීජින්’ නුවර ඇතුළු නැගෙනහිර හා මධ්‍යම චීනයේ ප්‍රධාන නගර නවයකදී මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගි වන්නේ කණ්ඩායම්  24ක් පමණි.

ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ ‘එච්’ කාණ්ඩයේ සිව් වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාව ඇතුළුව ඉතිරි කාණ්ඩ හතකදී සිව්වැනි ස්ථාන ලද මාලදිවයින, නේපාලය, හොංකොං, සිංගප්පූරුව, ඇෆ්ගනිස්ථානය, මොන්ගෝලියාව, තායිලන්තය යන රටවල්  මීළඟ ආසියනු කුසලාන සුදුසුකම් තරග වටයට පිවිසේ.

මේ අතර ඉහත ලෝක කුසලාන තරග වටයේ කාණ්ඩ අටක ශූරයන් මීළඟ ආසියානු කුසලාන අවසන් වටයට  පිවිසීම සඳහා කෙළින්ම නිර්දේශ ලබා තිබේ.
ඒ සිරියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සෞදි අරාබිය, කටාරය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා දකුණු කොරියාවයි.

කටාරය එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රාජ්‍යය ලෙස කෙළින්ම එහි අවසන් වටයට ප්‍රවේශ වන බැවින් ලෝක කුසලාන ආසියානු කලාප පැවති දෙවැනි වටයේ ඔවුන්ගේ තරග වැදීම ආසියානු කුසලාන තරගාවලියට පමණක් ඉලක්ක කර ගැනේ.
කටාරය අවසන් වරට පැවැති ආසියානු කුසලාන (2018) තරගාවලිය ජයගත් රාජ්‍යයයි. ආසියානු  කුසලාන (2023) තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ අටියෙන් ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ තරග වැදුණු කටාරය එහිදී ‘ඊ’ කාණ්ඩයේ ශූරතාව ලැබීය.

ලෝක කුසලාන (2022) මීළඟ සුදුසුකම් ලැබීමේ තරග වටයට සමගාමීව පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තෙවැනි තරග වටය ලබන සැප්තැම්බර් 2වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය නිමවා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්  22 දෙනාට හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් 11 දෙනාට රුපියල් 50,000ක් බැගින් දිරි දීමනාවක් ගෙවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. මෙම ප්‍රදානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා ලබාදෙන මාසික දීමනාව ද තවදුරටත් ලබාදීමට තීරණය වී තිබේ.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තවදුරටත් කෝට්ටේ බැද්දගානේ පිහිටි ජාතික පාපන්දු මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් කල් ගෙවයි.  ජුනි 10 වැනිදා දිවයිනට පැමිණි ඔවුන් එතැන් සිට සති දෙකක කාල සීමාවක් සම්පූර්ණ වන පරිදි එම නිරෝධායනය ගෙවා අවසන් කළ යුතුය.

පසුගිය මැයි 27 වැනිදා අවසන් වරට කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 204 වැනි ස්ථානයේ ද ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව අවසන් (46වැනි) ස්ථානයේද ශ්‍රී ලංකාව තවදුරටත් පසුවේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිල තුන්වැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.