Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - යේමන තරගය සමවෙයි

ශ්‍රී ලංකා - යේමන තරගය සමවෙයි

editorial - 2023 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී ඊයේ (17) පස්වරුවේ නිමාවට පත්වූ ශ්‍රී ලංකාව හා යේමනය අතර ලෝක කුසලාන (2026) සුදුසුකම් පළමු වටයේ තරගය ගෝල 1-1 කට සමවීමෙන් අවසන් විය. කෙසේවුවත් දෙරට අතර සෞදි අරාබියේ අබා නුවර දී පසුගිය සෙනසුරාදා (12) පැවැති තරගය යේමනය ගෝල 3-0 කට ජය ගැනීමට සමත්වීමෙන් ඔවුන් ශ්‍රී ලංකාව අභිබවා 2026 ලෝක කුසලාන මීළඟ තරග වටයට නිර්දේශ ලැබීය.

මෙම තරගයේ සිවුවැනි විනාඩියේදීම නායක අබ්දුල් වසී අල් මටාරි දැල ආසන්නයටම පැමිණ යොමු කළ පහරක් ශ්‍රී ලංකා දැල් රකින්නා වන හිටපු නායක සුජාන් පෙරේරා අභිබවා යාමෙන් තරගයේ පළමු භාගය ගෝල 1-0 කට යේමනය පෙරමුණ ගැනීමට සමත් විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට හිමිවූ දඬුවම් පහරක් රසීක් අහමඩ් වසීම් විසින් අසාර්ථක කරගනු ලැබීමේන් දෙවැනි භාගය ආරම්භයත් සමග 48 වැනි විනාඩියේ දී ශ්‍රී ලංකාවට තරගය සම කිරීමට ලැබුණු පළමු අවස්ථාව මගහැරී ගියේය.

එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ගේ දැල ආසන්නයටම පැමිණෙමින් ප්‍රබල පහර කීපයක්ම දැල තුළට යොමු කළත් යේමන දැල රකින්නා ඉස්සර වීමෙන් තියුණු ගෝල අවස්ථා මග හැරී ගියේය.

කෙසේ වුවත් නායක චරිත බණ්ඩාර සේනානායක රීඩ් මාවත ක්‍රීඩාංගණයට රැස්වූ අතිවිශාල ජනකාය පිනවමින් 89 වැනි විනාඩියේ දී රැස් කළ ගෝලයෙන් ශ්‍රී ලංකාවට තරග වටයේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවත් ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ ඊයේ තරගය ගෞරවාන්විතව අවසන් කිරීමට හැකි විය.

එහිදී ඊයේ ශ්‍රී ලංකාවට සමවූ යේමනය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 156 වැනි ස්ථානය දක්වා තරමක් ඉහළින් පසු වුවත් ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ 202 වැනි ස්ථානයේය.

දෙපිලේ ක්‍රීඩකයන් පස් දෙනකු බැගින් ආදේශ කිරීම් සිදුවූ මෙම තරගයේ දී විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබූ දෙපිලේ ක්‍රීඩකයන් ගණන දෙකක් විය.

මීට පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයක් අවසන් වරට සම කළ අවස්ථාවක් වාර්තා වන්නේ 2021 නොවැම්බර් 8 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීමය. ඒ අගමැති කුසලාන සිව්කොන් තරගාවලියේ දී මාලදිවයිනට එරෙහිව පැවති තරගය ගෝල 4-4 කට සම කරමිනි.


අදහස් (0)

ශ්‍රී ලංකා - යේමන තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.