Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසර 23කට පසුව ජය සොයයි

වසර 23කට පසුව ජය සොයයි

editorial - 2025 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සුපිරි (සුපර් කප්) කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගය අද (6) පස්වරු 5 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.දෙරට අතර තරගාවලියේ දෙවැනි (අවසන්) තරගය අඟහරුවාදා (9) පස්වරු 5 ට එම ක්‍රීඩංගණයේදීම පැවැත්වේ.

ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ මෙම දෙරට මුණ ගැසෙන්නේ 2022 වසරෙන් පසුවය.2023 ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී උස්බෙකිස්තානයේදී එසේ අවසන් වරට දෙරට මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කින් එහිදී පරාජයවී තිබේ.

අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් එය ශ්‍රී ලංකාව විසින් මාලදිවයින වසර 23 කට පසුව පරාජය කරන පළමු අවස්ථාව බවට පත් වනු ඇත.දෙරට මෑතකාළීනව ජාත්‍යන්තර පාපන්දු පිටියේදී මුණ ගැසුණු බොහෝ අවස්ථාවලදී ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ මාලදිවයිනය.

වසර 2002 කොළඹ පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව විසින් මාලදිවයින ගෝල 1 - 0 කින් පරාජය කිරීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව ජයග්‍රාහණයක් ලබා ගැනීමට අපොහොසත්ව සිටියි.එසේවූවත් එයින් පසුව දෙරට අතර පැවැති ජාත්‍යන්තර පාපන්දු තරග කීපයක්ම ජයපරාජයෙන් තොරව අවසන්වී තිබේ.

එසේ දෙරට අතර මෑතකාළීනව පැවැති තරග අතරින් නවයක් එලෙස ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන තරග ගණනත් නවයකි.එකී කාලය තුළ තරග දෙකක් පමණක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.

දෙරට අතර අද ආරම්භ වන තරගාවලියට සූදානම්ව කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.විදේශගතව ජීවත් වන නවක ක්‍රීඩකයන් තිදෙනෙකුද එහිදී අළුතින් සංචිතයට කැදවා තිබේ.

මෑත කාළීනව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සුවිෂේශී ලක්ෂණය වන්නේ එහි කල් ගෙවන ක්‍රීඩකයන්ගෙන් බහූතරයක්ම යුරෝපා රටවල ලීග් තරගාවලි ක්‍රීඩා කරන ද්විත්ව පුරවැසිලාභී ශ්‍රී ලාංකිකයන් වීමය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑත කාළීනව වාර්තා කළ ජාත්‍යන්තර තරග ජයග්‍රාහණ ප්‍රගතිය දෙස බැලීමේදී එය ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වඩාත් සාර්ථක අත්හදා බැලීමක් ලෙස සැළකිය හැකිය.වසර 2022 වන විට ලෝක පාපන්දු (පිරිමි කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව 207 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය ජූලි 10 වැනිදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සිදු කළ එම ශ්‍රේණිගත කිරීම් අනුව 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්වීමෙන් එය සනාථ වේ.

එකී කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග 19 කට සහභාගි වෙමින් හයක් ජය ගෙන හතරක් සම කරමින් අවසන් කර තිබේ.කෙසේවූවත් දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් ඉදිරියට පැමිණි මාලදිවයින් පාපන්දු කණ්ඩායමේ කඩා වැටීමක් පෙන්නුම් කරමින් සිටින අතර ඔවුන් ශ්‍රී ලංකා තරග සංචාරයට එක්ව සිටියි.

එහිදී අවසන් ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් පසු ගිය වසරක් ඇතුළත 162 සිට 171 ක දක්වා කඩා වැටීමකට ලක්ව තිබේ. එහිදී සහභාගීවූ ජාත්‍යන්තර තරග හයකින් පහක්ම ඔවුන් පරාජයට පත්ව තිබේ.

මාලදිවයින් කණ්ඩායමේ නායක 29 හැවිරිදි අලී සාමෝ ජාත්‍යන්තර තරග 46 ක අත්දැකීම් හෙබි ක්‍රීඩකයෙකි. ඔහු මේ වන විට බංග්ලාදේශ ෆෝර්ටිස් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගතව සිටියි.     ඉදිරිපෙළ ක්‍රීඩක නයිස් හසන් තරග 47 කදී ගෝල 10 ක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා මේ 33 හැවිරිදි වියේ පසු වන මේ වන විට ජාත්‍යන්තර තරග 59 කට සහභාගි වූවෙකි.ශ්‍රී ලංකා කණ්ඩායමේ කල් ගෙවන ප්‍රබලතම ක්‍රීඩකයන් අතර හොංකොං ඊස්ටන් දිස්ත්‍රික් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරග 25 කදී  ගෝල 10 ක් වාර්තා කළ අහමඩ් වසීම් රසීක් ඉහළින්ම පසුවේ.

තරගාවලිය නැරඹීමට මාලදිවයින් ජාතිකයන් විශාල පිරිසක් ප්‍රවේශපත්‍ර ලබා ගෙන සිටින බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.


අදහස් (0)

වසර 23කට පසුව ජය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.