Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සම්මේලනය නිසි බලධාරියකු යටතට

පාපන්දු සම්මේලනය නිසි බලධාරියකු යටතට

editorial - 2022 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවනතුරු එහි පරිපාලන කටයුතු මෙහෙයවීම නිසි බලධාරියෙකු යටතට පත් කිරීමට අද  (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තාවේ.

එහිදී නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා යෝජනා වනු ඇතැයිද වාර්තාවේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය 2021 ජුනි (30) වැනිදා සිට ඇරඹූ වත්මන් නිල කාලය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට අවසන් වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට නිල වශයෙන් දැනුම්දී තිබේ.

මේ හේතුවෙන් කොළඹ රීඩ් මාවත පාපන්දු ආයතන මූලස්ථානය පසුගිය සිකුරාදා (23) සිට වසා දමා තිබේ. මේ හේතුවෙන් මාසයේ 25 වැනිදාට පෙර ගෙවිය යුතු එහි සේවක සේවිකාවන්ගේ මෙම සැප්තැම්බර් මාසයට හිමි වැටුප් අද වන විටත් ගෙවා නොතිබූ බවද පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්වය අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇතැයිද වාර්තාවේ.

මෙම දෙපාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 1.5ක් හෙවත් ශ්‍රී ලංකා අද රුපියලේ වටිනාකමින් කෝටි 55කට වැඩි මුදලක් වාර්ෂිකව ලබාදේ.

බොහෝ විට සිය සාමාජික රටක නිල පාපන්දු පරිපාලන ඒකකයට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන අන්තර්ජාතික පාපන්දු සම්මේලනය එවැනි අවස්ථාවලදී එම රටට අන්තර්ජාතික වශයෙන් පාපන්දු තහනමක් පනවයි.

ඉතාම ආසන්න සිදුවීම වන්නේ අසල්වැසි ඉන්දියාවේ ජාතික පාපන්දු සම්මේලනයට පැනවූ වාරණයයි. ඒ ඉන්දීය උසාවි තීරණයක් පදනම් කර ගනිමිනි. කෙසේ වුවත් ඉන්දියාවට පැනවූ අන්තර් ජාතික පාපන්දු තරග තහනම ඉක්මණින්ම ඉවත් කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

දැන් උද්ගතව තිබෙන මෙරට පාපන්දු පරිපාලනයේ අර්බුදය ඉක්මණින් විසඳා නොගතහොත් ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තහනමට ලක්වීමේ අනතුරක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබෙන බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවසුවේ මේ වනවිට කටාරයේ නේවාසික පුහුණුවීම් හදාරමින් සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණු සංචාරයට මෙන්ම ලබන ඔක්තෝබර් 2 වැනිදා උස්බෙකිස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන වයස 17න් පහළ සුදුසුකම් තරග වටයේ සංචාරයටද වත්මන් තත්වය දැඩි බලපෑමක් කරනු ඇති බවයි.

‘‘පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය අවුරුද්දකට විතරක් සීමා කරලා තිබෙනවා කියලා අපි පිළිගන්නේ නෑ. අපේ නිල කාලය අවුරුදු දෙකක් විය යුතුයි. හරියටම එය අවසන් විය යුත්තේ ලබන 2023 මැයි 31 වැනිදාටයි.

පසුගිය දිනවල ලංකාවට ඇවිත් මෙරට නිලවරණය ගැන සාකච්ඡා කරලා ගිය අන්තර් ජාතික හා ආසියානු පාපන්දු සමුළු නියෝජිතයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් ප්‍රතිඥා බිඳවැටීම ගැන මේ වන විට ඔවුන් දැඩි කණස්සල්ලට පත්ව තිබෙනවා” යයිද ජස්වර් උමාර් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

- 223


අදහස් (0)

පාපන්දු සම්මේලනය නිසි බලධාරියකු යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.