Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා

පාපන්දු ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු කුසලාන (2023) නිර්දේෂිත තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ ලිපියට අනුමැතිය ලබාදීමට පෙරම එහි පිටපත් බාහිර පාර්ශ්ව අතට පත්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

 කොළඹ ‘පාපන්දු නි​වසේ’ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනුමැතිය  ඉල්ලා යොමු කළ එම ලිපියට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාර පාපන්දු ආයතනයට ලැබීමට පෙරම බාහිර පාර්ශව හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීම තුළින් ක්‍රීඩා අමාත්‍යාංශය වැදගත්  ලියකියවිලි රහස්‍යභාවය බිඳ දමා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සේවයට කැඳවූ විදෙස් පාපන්දු උපදේශකවරුන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා මෙසේද පැවසීය.

‘‘ආසියානු කුසලාන නිර්දේෂිත තරග වටයට සහභාගි  වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අනුමැතිය ඉල්ලා යැවූ අපේ ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශය පාර්ශවයෙන් බාහිර පාර්ශව අතට පත්වුණා කියලා අපි විශ්වාස කරන්නේ ඒකේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම  නිලධාරියකුගේ සටහනක් අන්තර්ගත වෙලා තිබ්බ නිසයි.

ක්‍රීඩා අමාත්‍යාංශය අපේ ලිපියට  නිල වශයෙන් ප්‍රතිචාර දක්වල එවන්න කලින් එහි පිටපත් බාහිර පාර්ශ්ව අතට පත්වීම තුළින් අප විශ්වාස කරන්නේ මෙය සිදුවී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළතින්ම බවයි.

පාපන්දු ආයතනයට එරෙහිව කුමන්ත්‍රනකාරීව හැසිරෙන පහළ නිලධාරීන් කීප දෙනකු මේකට වගකිව යුතු බව අපි විශ්වාස කරනවා. මේ  කියන නිලධාරීන් බාහිර පාර්ශ්ව සමඟ සබඳතා පවත්වන අය කියලා විශ්වාස කරන්න පුළුවන්.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා පොලිස්පතිවරයාට ද පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා තීරණය කර තිබේ.

වාර්තා වන පරිදි උස්බෙකිස්ථානයේ නමන්ගාන් නුවර දී ලබන ජුනි 8 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන (2023) නිර්දේශිත තෙවැනි තරග වටයට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ සංයුතිය ගැන ක්‍රීඩා අමාත්‍යාංශය පාපන්දු ආයතනයෙන් විමසීමක් කර තිබේ.

ඒ සංචාරයට අනුමැතිය ඉල්ලා යොමුකළ ලිපියෙන් පසුවය. වාර්තාවන පරිදි ක්‍රීඩකයන් 24 දෙනෙකුගේ සංචිතයක් හා පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන් 16 දෙනකුගේ කාර්ය මණ්ඩලයක් උස්බෙකිස්ථාන් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය නිර්දේශ කර තිබේ.

මෙතරම් නිලධාරීන් ගණනක් තරග සංචාරයට නිර්දේශ කිරීම ගැන එහිදී ක්‍රීඩා  අමාත්‍යාංශය කරුණු විමසිලීමත් කර තිබේ. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම ප්‍රධානියෙකු සටහනක් තබමින් පාපන්දු ආයතනයට යොමු කිරීමට සූදානම් කර තිබු ලිපියක් මෙසේ බාහිර පාර්ශව අතට පත්ව ඇතැයි චෝදනා නැගී තිබේ.

මාධ්‍ය හමුවේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය ඉහළ දැමීම ගැන මාධ්‍යවේදීන් කළ විමසුමේ දී පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවසුවේ 16 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට පැවරුණු රාජකාරියක් ඇති බවත් එය අවසන්වූ සැණින් බොහෝ නිලධාරීන් කණ්ඩායමේ තවදුරටත් රැඳී නොසිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්ය.


අදහස් (0)

පාපන්දු ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.