Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු අලුත් ව්‍යවස්ථාව සම්මතයි

පාපන්දු අලුත් ව්‍යවස්ථාව සම්මතයි

editorial - 2022 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එරෙහිව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීමෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව ඡන්ද 61ක් ලබා සම්මතවීමෙන් එහි මීළඟ නිලවරණය ලබන ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට ඊයේ (22) වත්තලදී පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය විය.

කෙසේ වුවත් දැන් පවතින ක්‍රමයට අනුව නිලවරණයේදී එක් ලීගයකට ලැබෙන ඡන්ද තුන එකකට සීමා කළ යුතු යයි දැක්වෙන වගන්තිය එහිදී සම්මත නොවීය.

එහිදී ලීග 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටීම කැපී පෙනුණි.

ඒ අනුව පවතින ඡන්ද ක්‍රමයම පවත්වාගෙන යා යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද 48ක් ලබා සම්මත විය.

වෙන්නප්පුව, කළුතර, පොල්ගහවෙල, මීගමුව, කොළඹ, මාතර, දෙනියාය, දෙහිවල, මන්නාරම, මඩුමන්තේ, ගල්කිස්ස, ජනසතුසේවා හා කෑගල්ල යන ලීග එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටි පාපන්දු ලීගයි.

කෙසේ වුවත් කොළඹ, මාවනැල්ල, මීගමුව, වලිකාමම්, පේදුරුතුඩුව ඇතුළු ලීග කිහිපයක් මෙවර නිලවරණයේදී දෙපාර්ශ්වයකට බෙදී සිටින බව ද වාර්තා වේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. මජිඩ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන සිරිපාල මැදවැව යන මහත්වරු ද පත්කර ගනු ලැබූහ.

එහිදී විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ඒ.ජී. ධර්මදාස හා යුද හමුදා විශ්‍රාමික ජනරාල් උපාලි ගුණසේකර යන මහත්වරුන් අවශ්‍යතාවයක් උද්ගතවුවහොත් පමණක් නිලවරණ කමිටුව ලෙස පත්කර ගැනීම සඳහා නාමයෝජනා නිර්දේශ කර ගැනීම ද ඊයේ වත්තල ෆෙගසස්රිෆ් හෝටලයේ පැවැති පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමේදී සිදුකෙරුණි.

එහි සභාපති ජස්වර් උමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. ඒ සඳහා දිවයිනේ පාපන්දු ලීග 64ක නියෝජිතයෝ සහභාගි වූහ. එය නිරීක්ෂණයට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නීති කමිටු නියෝජනය කරන නිලධාරීහු තිදෙ​ෙනක් ද සහභාගි වී සිටියහ.

පාපන්දු ආයතනයේ විශේෂ මහ සභාව හමුවේ ඊයේ සම්මත වූ නව ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කළ යුතුව ඇත. එළඹෙන නිලවරණයේදී පත්වන විධායක සභාවේ නිල කාලය සිවු වසරක් වන අතර, එය සභිකයන් 13 දෙනකුට සීමා වනු ඇත.

එහිදී නිලවරණයෙන් මෙතෙක් පත් කරගත් ගරු තනතුරු වන  ප්‍රධාන ලේකම් හා භාණ්ඩාගාරික යන ධුර වෙනුවට වැටුප් ලබන පරිපාලන ලේකම්වරයකු හා මූල්‍ය අධ්‍යක්ෂවරයකු පත්කර ගැනීමත් නව ව්‍යවස්ථාවට අනුව සිදුවන මූලික වෙනස්කම් කිහිපයකි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා හා කළුතර පාපන්දු ලීගයේ වත්මන් සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙවරත් සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට සැරසී සිටින බව ද වාර්තා වේ.

අවසන් වරට 2021 ජූනි 30 වැනිදා පැවැති නිලවරණයේදී සභාපති ජස්වර් උමාර් මහතාට සහයෝගය ලබාදුන් එහි වත්මන් උපසභාපති රංජිත් රුද්‍රිගු මහතා මීළඟ නිලවරණයේදී තමන් ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

පසුගිය මැයි 31 වැනිදාට පෙර පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවිය යුතුව තිබුණත් විවිධ සිදුවීම් හේතුවෙන් එය අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදුවිය.


අදහස් (0)

පාපන්දු අලුත් ව්‍යවස්ථාව සම්මතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.