Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පසුගිය කාලයේ සිදුවීම් පාඩමකට ගන්නවා

පසුගිය කාලයේ සිදුවීම් පාඩමකට ගන්නවා

editorial - 2023 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පසුගිය කාලයේ වූ සිදුවීම් පාඩමකට ගෙන රටේ පාපන්දු ක්‍රීඩාව නව ගමන් මාර්ගයකට ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව සභාපති ජස්වර් උමාර් මහතා ඊයේ (3) ‘පාපන්දු’ නිවසේදී ධුරයේ වැඩ බාර ගනිමින් පැවසීය.

චාම් උත්සවයකින් පසුව කේක් කපා නව ධුරයේ වැඩ ඇරඹූ ජස්වර් උමාර් මහතා අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි විය. එහිදී උප සභාපතිවරුන් වන රංජිත් රුද්‍රිගු හා වෛද්‍ය මනීල් ප්‍රනාන්දු යන මහත්වරු ද මූලාසනයේ වූහ.

පාපන්දු ආයතනයේ නව විධායක සභාව මේ වන විට 12 දෙනකුට සීමාවී තිබේ. විධායක සභාවේ නව සංයුතියට අනුව ප්‍රධාන ලේකම්වරයකු නිලවරණයෙන් පත්කර ගැනීම වෙනුවට වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියකු පත්කර ගැනේ. එහිදී ලේකම් ධුරයේ වගකීම් පැවැරෙන්නේද ඔහුටය.

මාධ්‍යවේදින්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දුන් සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රධාන විධායක නිලධාරි ධුරය සඳහා විදේශිකයෙකු පත්කර ගැනීමේ අවධානය යොමුවී ඇතැයි පැවසීය.

එහිදී ජස්වර් උමාර් මහතා මෙසේද පැවසීය ‘අපේ පළමු ඉලක්කය දේශීය තරගමාලා හැකි ඉක්මනින් ආරම්භ කිරීමයි. ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනමෙන් අපට 2023 දකුණු ආසියානු ශූරතා තරගාවලිය අහිමි වුණා. අපි අපේක්ෂා කරනවා මීළඟට යෙදෙන 2023 තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබාගන්න.

ඒ වගේම ඔක්තෝබර් 12 හා 17 යන දිනවල යේමනය සමග පැවැත්වෙන ලෝක කුසලාන (2026) සුදුසුකම් තරග වටය සාර්ථක කර ගැනීමටත් ප්‍රමුඛත්වය දෙමින් අපි පරිපාලන කටයුතු අද සිට ආරම්භ කරනවා.

මෙම අවස්ථාවට සහභාගි වූ පාපන්දු ආයතනයේ නව උප සභාපතිවරුන් වන වෛද්‍ය මනිල් ප්‍රනාන්දු හා රංජිත් රුද්‍රිගු යන මහත්වරුන් පැවසුවේ මෙතැන් සිට පාපන්දු පරිපාලනයේ පාර්ශ්ව නොමැති බවත් ඇත්තේ පරිපාලනය මෙහෙයවන එකම පාර්ශ්වයක් පමණක් බවත්ය

මුල සිටම එකම පාර්ශවයක් ලෙස ඒකරාශී වී නිතරගයෙන් පාපන්දු පරිපාලනයට විධායක සභාව පත්කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් කෙසේ වුවත් මෙතැන් සිට රටේ පවතින්නේ කොයි පාර්ශ්වයෙන් නිලවරණයට තරග වැදුණත් එකම පාර්ශ්වයක් පමණක් බවත් වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.


අදහස් (0)

පසුගිය කාලයේ සිදුවීම් පාඩමකට ගන්නවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.