Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football තරගාවලියට අධිකරණයේ අවසර

තරගාවලියට අධිකරණයේ අවසර

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලිය සිය රටේදී පැවැත්වීම සඳහා අවසර ලබා දීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. ඒ අනුව 14 වැනිදා බ්‍රසීලයේ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමාරම්භක තරගයේදී වෙනිසියුලාවට එරෙහිව සත්කාරක බ්‍රසීලය තරග බිමට පිවිසෙනු ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය බ්‍රසීලයේ පැවැත්වීමට ඉඩ ලබා නොදෙන ලෙසට ඉදිරිපත්වී තිබූ ‍ඉල්ලීමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ ඊයේ (10 වැනිදා) හදිසි රැස්වීමක් පැවැත්වූහ. රැස්වීමෙන් අනතුරුව තරගාවලියේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා අවසර ලබාදීමට ඔවුහු තීරණය කළහ.

තරගාවලි‍ය බ්‍රසී‍ලයේදී පැවැත්වීම දහස් ගණනක‍ෙගේ ජීවිත අනතුරට හෙලනු ඇතැයි බ්‍රසීල විපක්ෂය තර්ක කළේය.  කෙසේ වුවත් ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරුවරුන්ගේ රැස්වීම අවසානයේ විනිසුරුවන් කියා සිටියේ තරගාවලියකට අවහිර කිරීමේ බලය බ්‍රසීල ව්‍යවස්ථාවෙන් අධිකරණයට ලබාදී නොමැති බවය.

කෙසේ වෙතත් ‘සෞඛ්‍ය නීති රීති’ වලට අනුකූලව තරගාවලිය පැවැත්වීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් වැඩි යමක් කළ යුතු බව ඔවුහු පැවසූහ. නරඹන්නන් නොමැති ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වීමට බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ මහතා අවසන් මොහොතේදී ගත් තීරණය පිළිබඳවද එහිදී ඔවුහු අප්‍රසාදය පළ කළහ.

සෞඛ්‍ය ආරක්ෂත හේතු මත තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමක්ම පැය 48 කට වරක් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. ඊට අමතරව ඔවුන්ගේ ගමන් බිමන් සීමා කිරීමටත්, විශේෂයෙන් වෙන්කරවාගත් ගුවන් යානාවල පමණක් ඔවුන් තරග පැවැත්වෙන නගර වෙත ‍ගෙන යෑමටත් සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

ඉකුත් වසරේ (2020) ජූනි මස 12 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා කොලොම්බියාවේදී සහ ආර්ජන්ටිනාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය, කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමීමට සිදුවිය.

කොලොම්බියාවේ ජනාධිපතිවරයාට එරෙහිව එරට තුළ පවතින විරෝධතාවන් හේතුවෙන් ‍මේ වසරේ මැයි මස 20 වැනිදා තරගාවලියේ සම සත්කාරකත්වයෙන් කොලොම්බියාව ඉවත් කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය කටයුතු කළේය. තම රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලියේ සෙසු සත්කාරක රට වූ ආජන්ටිනාවද මැයි මස 30 වැනිදා එහි සත්කාරකත්වයෙන් ඉවත් විය.

ඒ අනුව මෙවර තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා අවසන් වරට (2019 වසරේදී) එහි ශූරයන් බවට පත් වූ බ්‍රසීලයට ආරාධනා කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය පියවර ගත්තේය. එම ආරධනය පිළිගත් බ්‍රසීල ජනාධිපතිවරයා දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය සමග එක්ව තරගාවලියේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා බ්‍රසීල පාපන්දු සම්මේලනයට අවසර ලබාදුන්නේය.

මිලියන 212 ක බ්‍රසීල ජනගහණයෙන් මිලියන 17 කට පමණ මේ වනව විට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති අතර 475,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. මිලියන 45 ක ජනගහණයක් සිටින ආර්ජන්ටිනාවෙන්ද කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 80,000 ක් පමණ වාර්තා වී ඇත.

-036

 


අදහස් (0)

තරගාවලියට අධිකරණයේ අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.