Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ගුණාත්මක තත්ත්වයක් ඇති කිරීමට උනන්දු වෙනවා

ගුණාත්මක තත්ත්වයක් ඇති කිරීමට උනන්දු වෙනවා

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වෙනස් පුහුණු ක්‍රමවේදයක් තුළින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ගුණාත්මක තත්ත්වයක් ඇති කිරීමට තමා උනන්දුවී සිටින බව ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු ප්‍රධාන උපදේශක ධුරයේ වැඩ භාරගත් ස්කොට්ලන්ත ජාතික ඇන්ඩ් මොරිසන් මහතා පැවැසීය.

නිදහස් මාවතේ පාපන්දු නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මොරිසන් මහතා පැවැසුවේ තමාට ශ්‍රී ලංකාවේ සේවය සඳහා වසර තුනක් (3) තරම් කාලයක් ලැබී තිබෙන බැවින් ශ්‍රී ලංකාව ලෝක පාපන්දු පිටියේ ශක්තිමත්ම කණ්ඩායමක් බවට පත් කිරීමට තමා ඇතුළු සෙසු විදේශීය පුහුණුකරුවන්ට හැකිවනු ඇතැයි තරයේ විශ්වාස කරන බවයි.

‘මම තවම ලංකාවට ඇවිල්ලා දවස් කීපයක් විතරයි. මගේ සහයක පුහුණුකරු කීත් ස්ටීවන්ස් මහතාත් ඒ වගේමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නිසි වැටහීමක් ගන්න තවමත් කාලයක් නෑ. ඒ සඳහා අවම සති හතරකවත් කාලයක් ගත යුතුයි. දැනට අපි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හා දක්ෂතා නිරීක්ෂණය කරමින් ඉන්නවා.

යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවේ නිරතවෙලා හිටපු ක්‍රීඩකයකු වගේම පුහුණුකරුවකු හැටියටත් අපිට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ වෙනස්කම් හොඳින් නිරීක්ෂණ වෙමින් තිබෙනවා. ඒ නිසා දැන් පවතින පුහුණු ක්‍රමවේදය වෙනස් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.’

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිනව සහයක පුහුණුකරු උපදේශක බ්‍රිතාන්‍ය ජාතික කීත් ස්ටීවන්ස් හා ශාරීරික අභ්‍යාස පුහුණුකරු බ්‍රසීල ජාතික මාකොස් ෆෙරෙයිරා යන මහත්වරුන් පැවැසුවේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ගුණාත්මක ප්‍රගතියක් සඳහා තමන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ප්‍රධාන පුහුණු උපදේශක මොරිසන් මහතාට උපරිම සහයෝගය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය පුහුණුකරුවන් දෙදෙනා මෙරට පරිසරයට අනුගතවෙමින් සිටින අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසන්නේ මේ වනවිට ඔවුන් හා ක්‍රීඩකයන් අතර භාෂා සන්නිවේදනයේ හඳුනාගත් යම් ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි. නව විදේශීය පුහුණුකරු උපදේශකයන්ගේ සහයට දේශීය පුහුණුකරුවන් වන දේවසායගම් රාස්ටානි හා මොහොමඩ් ෂියාස් යචාහීර් යන මහත්වරුන්ද අතිරේක සහය පුහුණුකරුවන් ලෙස බඳවා ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය නව විදේශීය පුහුණුකරුවන් යටතේ ශ්‍රී ලංකාව සිදු කෙරෙන පාපන්දු කණ්ඩායමේ පුහුණු සැළැස්ම විග්‍රහකර ඇත්තේ ‘ඉතිහාසයේ මුල්වරට අන්තර් ජාතික සහයෝගය මත වසර තුනක (3) නව ජාතික පාපන්දු සංවර්ධන සැලැස්මක් එළඹෙන ජූලි මාසයේ සිට සක්‍රිය කරන බවයි.

මේ අතර පාපන්දු ආයතනය අවධාරණය කරන්නේ මෙම විදේශීය පුහුණුකරුවන් මෙරට ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන උපදේශක ධුරයක් දරන අතර ජාතික පාපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉදිරියේදී දේශීය පුහුණුකරුවකු නිර්දේශ කරන බවයි.


අදහස් (0)

ගුණාත්මක තත්ත්වයක් ඇති කිරීමට උනන්දු වෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.