Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අන්තර් පළාත් තරගාවලියේ වියදම රුපියල් කෝටි 13 යි

අන්තර් පළාත් තරගාවලියේ වියදම රුපියල් කෝටි 13 යි

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අලුතින් හඳුන්වා දුන් අන්තර් පළාත් පාපන්දු තරගාවලිය සඳහා රුපියල් මිලියන 134ක මුදලක් වැයවී තිබේ. පාපන්දු නිවසේ පසුගිය 19 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ජස්වර් උමාර් මහතා වැයවූ ගණන් පිළිබඳ හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තැන්පතු එකතු කරන බැංකුවක් නොවන බැවින් අන්තර් පළාත් තරගාවලියට රුපියල් කෝටි 13ක් වැයවීම පිළිබඳව කිසිවකුත් ප්‍රශ්නයක් කර ගත යුතු නැතැයි ද පාපන්දු සභාපතිවරයා පැවසීය.

“ඔය ගණන් හිලව් ගැන කතා කරන අයට මුලින්ම කියන්න තියෙන්නේ පාපන්දු ආයතනය කියන්නේ තැන්පතු එකතු කරන බැංකුවක් නොවන බවයි. අපිට සල්ලි ලැබෙන්නේ තැන්පත් කරගෙන ඉන්න නොවෙයි. වැඩ කරන්නයි“

“අන්තර් පළාත් තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වුණා. එක කණ්ඩායම් සංචිතයකට ක්‍රීඩකයන් හා පරිවාර නිලධාරීන් 40ක් ඇතුළත් වුණා. විනිසුරුවන් හා තීරකවරුන් 40 දෙනකු තරගාවලියට යොදා ගත්තා. කාර්ය මණ්ඩල හා ලීග් නියෝජිතයන් 50 දෙනකු පමණ දවස ගානේ සේවයට යොදා ගත්තා.“

“එතකොට දවස් 38ක් පවත්වපු මෙම තරගාවලියට ක්‍රීඩකයන් හා නිලධාරීන් අවම වශයෙන් 450 දෙනකු සහභාගි කරගෙන තිබෙනවා. මේ 450 දෙනාට ගිය වියදම වන මිලියන 134 දවස් 38න් බෙදුවාම එක් අයකුට දවසකට  වැයවෙලා තියෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 7800 ක් තරම් වන මුදලක්.“

“ඒවායින් වැඩි මුදලක් වැයවෙලා තිබෙන්නේ ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ඔවුන්ට සැලසීමටයි.“

“අපේ කලාපයේ රටවල දේශීය පාපන්දු තරගාවලි වියදම් දිහා බැලුවාම මේක පුදුම වෙන්න තරම් වියදමක් වෙන්නෙ නෑ. මාලදිවයින වාගේ රටක දේශීය පාපන්දු තරගාවලියක ක්‍රීඩකයකුට දරන වියදම රුපියල් 30,000ක් තරම් වෙනවා“ යයිද පාපන්දු සභාපතිවරයා පැවසීය.

තමන් පාපන්දු සභාපතිවරයා ලෙස කල් ගෙවන තාක් කල් තරගාවලි පවත්වන්න වියදම් ප්‍රශ්නයක් කරගන්නේ නෑ යයි කී සභාපතිවරයා...

“මේ පළාත් තරගාවලියේ හොඳ පැත්ත සමහරු කතා කරන්න කැමැති නෑ. එතනදි අපිට පුළුවන් වුණා දක්ෂතාවලින් පොහොසත් ක්‍රීඩකයන් 54 දෙනකුගේ සංචිතයක් හදන්න. එයින් 17 දෙනකු මම 25 වැනිදා ආරම්භ කෙරෙන ජාතික සංචිතයේ පුහුණුවීම්වලට කෙළින්ම කැඳවීම් ලබනවා.” යයිද පැවසීය.

අන්තර් පළාත් තරගාවලිය මෙතැන් සිට වාර්ෂිකව පැවැත්වෙන බව පවසන පාපන්දු සභාපතිවරයා දේශීය අනුග්‍රාහකයකුගේ සහය ඊට නොලැබුණොත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අනුග්‍රහය ඊට තවදුරටත් ලබාගන්නා බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

පළමු වරට පැවැති අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ උතුරු පළාත් කණ්ඩායම විසිනි. ඒ පසුගිය මාර්තු 5 වැනිදා යාපනය දොරේඅප්පා පිටියේදී පැවැති අවසන් මහ තරගයේදී දකුණු පළාත් කණ්ඩායම ගෝල 3-1කට පරාජය කරමිනි.

 


අදහස් (0)

අන්තර් පළාත් තරගාවලියේ වියදම රුපියල් කෝටි 13 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.