Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අතිවිශේෂ මහසභා රැස්වීම පොළොන්නරුවේදී

අතිවිශේෂ මහසභා රැස්වීම පොළොන්නරුවේදී

editorial - 2022 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට අනුගතව සකස් කළ ‘‘ශ්‍රී ලංකා පාපන්දු’’ ආයතනයේ නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම සඳහා අතිවිශේෂ මහ සභා රැස්වීමක් මෙම 17 වැනිදා පෙරවරු 11 ට පොළොන්නරුව අරලිය හෝටලයේ දී පැවැත්වේ. එහි මීළඟ නිලවරණය ලබන ජූලි 30 වැනිදා කොළඹින් පිට ප්‍රදේශයක දී පැවැත්වීමටද දැනට සැළසුම් කර තිබේ.

ඒ සඳහා දිවයිනේ පාපන්දු ලීග (සංගම්) 66 ක නියෝජිතයෝ ඇරියුම් ලබා සිටිති. රාජ්‍ය සේවා, ගම්පොල හා කිළිනොච්චි යන ලීග තුනක් ඊට සහභාගී නොකර ගන්නේ ඒවා මේ වන විට තහනමට ලක්ව තිබෙන බැවිනි.

පාපන්දු ආයතනයේ යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳව එහි විධායක සභාව දැනුවත් කෙරෙන සාකච්ඡාවක් ඊයේ (3) පස්වරුවේ සූම් තාක්‍ෂණය ඔස්සේ එහි සභාපති ජස්වර් උමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි.

ඒ අතර ඒ සම්බන්ධයෙන් පාපන්දු ආයතනයේ මධ්‍යම කමිටුව (කවුන්සිලය) දැනුවත් කෙරෙන විශේෂ රැස්වීමක් ලබන ඉරිදා (8) පස්වරු 2 ට කුරුණෑගල ‘‘කැන්ඩියන් රීච්’’ හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහිදී නව ව්‍යවස්ථාව පිළිබඳව ලීග් ප්‍රධානීන් දැනුවත් කෙරෙන බව පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

නව පාපන්දු ව්‍යවස්ථාවේ කෙටුම්පතක් මේ වනවිට අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකර තිබේ. නිලවරණයෙන් පත් කෙරෙන එහි විධායක සභාව සභිකයන් 14 දෙනෙකුට පමණක් සීමා කිරීමත් පත්වන විධායක සභාවක නිල කාලය උපරිම සිව් වසරක කාලයකට දීර්ඝ කිරීමත් නව ව්‍යවස්ථාවෙන් හඳුන්වා දේ.

එහිදී විශේෂිත කාරණාවක් වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා වැටුප් ලබන පරිපාලන ලේකම්වරයෙකු පත්කර ගැනීමය.

එහි නිල නාමය භාවිතා කිරීමේදී හඳුන්වන්නේ ප්‍රධාන විධායක නිලධාරිද නැතහොත් ‘‘පරිපාලන ලේකම්’’ ද යන්න ඉදිරියේදී තීරණය කෙරේ. පාපන්දු ආයතනය ව්‍යවස්ථා සංශෝධනයේදී ප්‍රධාන ලේකම් ධුරය නිලවරණයෙන් පත්වන විධායක සභාවෙන් ඉවත්කර පරිපාලන තනතුරක් ලෙස පත් කර ගැනීමට උත්සාහ ගෙන තිබුණි.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ නිලවරණයෙන් පත්වන විධායක සභාවෙන් ‘‘ලේකම්’’ ධුරය ඉවත් කිරීම ක්‍රීඩා පනතට පටහැණි බවයි. ඒ අනුව එම ධුරය විධායක සභාවේ තවදුරටත් ඉතිරි කර පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා වැටුප් ලබන ‘‘පරිපාලන ලේකම්’’ ධුරය හෝ ප්‍රධාන විධායක නිලධාරී ධුරය හෝ ඇති කෙරේ.

‘‘ශ්‍රී ලංකා පාපන්දු’’ ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ ජූලි 30 වැනිදා නිලවරණය පවත්වා අවසන් කිරීම පාපන්දු ආයතනය උනන්දුවී සිටින බවයි.

පාපන්දු ආයතනයේ අවසන් වරට පැවැති නිලවරණය 2021 ජුනි 30 වැනිදා පැවැත්වුණි. ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ එළඹෙන පාපන්දු නිලවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙසයි.

එහෙත් එය මාස දෙකකින් පමණ කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පාපන්දු ආයතනය ඉල්ලීමක් කළ බව වාර්තා විය.

නව ව්‍යවස්ථාවට අනුව පාපන්දු විධායක සභාව පත් කිරීමේ දී සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උපලේකම්, උපභාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට උපසභාපති ධුර හතරක් පත් කෙරේ. නව ව්‍යවස්ථාවට අනුව පාපන්දු ආයතනයේ විධායක සභාවේ සංයුතිය 14 දෙනෙකු වන්නේ නිල බලයෙන් ඊට පාසල් සංගමයේ නියෝජිතයකු නිතරගයෙන් පත්වන බැවිනි.


අදහස් (0)

අතිවිශේෂ මහසභා රැස්වීම පොළොන්නරුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.