Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - පැපුවා නිව්ගිනියා තරගය මාර්තු 22

ශ්‍රී ලංකා - පැපුවා නිව්ගිනියා තරගය මාර්තු 22

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හඳුන්වා දුන් අන්තර් ජාතික සම්මේලන පාපන්දු තරග මාලාවේ ශ්‍රී ලංකා කලාප සිවුකොන් තරගාවලිය යටතේ ශ්‍රී  ලංකාව ලබන මාර්තු 22 වැනිදා පැපුවානිව්ගිණියාව සමග තරග වැදීමට නියමිතය. ඒ එදින රාත්‍රි 8.45ට රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී ය.

ශ්‍රී ලංකාව සත්කාරය දරන මෙම තරගාවලිය එදින පස්වරු 3.30ට ආරම්භ වන්නේ  භූතානය හා මධ්‍යම අප්‍රිකානු ජනරජය අතර තරගයෙනි. දෙදිනකට සීමා වන මෙම තරගාවලියට ඇතුළත් තරග ගණනින් හතරකට සීමා වෙයි.

ඒ අනුව මාර්තු 25 වැනිදා මෙහි සෙසු තරග පැවැත්වේ. ඒ අනුව එදින පස්වරු 3.30ට මධ්‍යම අප්‍රිකානු ජනරජය හා පැපුවානිව්ගිනියාව අතර තරගය පැවැත්වේ. එදින රාත්‍රි 8.45 ට ශ්‍රී ලංකාව හා භූතානය අතර පැවැත්වෙන තරගයෙන් තරගාවලිය නිමාවට පත් වේ.

ලෝක කුසලාන (2026) පූර්ව වට පරාජිතයන් සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය පළමු වතාවට හඳුන්වා දුන් තරග මාලාව යටතේ පළමු තරගාවලිය ලෙස ශ්‍රී ලංකාවේදී මෙම තරගාවලිය පැවැත්වේ.

කෙසේ වුවත් එහි ජයග්‍රාහකයෙකු තෝරා නොගන්නා අතර ත්‍යාග ප්‍රදානයක්ද සිදු නොවේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් දෙදෙනා  බවට පත්වන රටවල් ඉදිරියේදී සංවිධානය කෙරෙන තවත් තරගාවලියකට නිර්දේශ කෙරෙන බවයි.

කොළඹ තරගාවලියේ විශේෂ  වැදගත්කම වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග දෙකකට සහභාගිවීමේ අවස්ථාව උදාවීම බව පවසන ජස්වර් මහතා මෙම වසරේදී ශ්‍රී ලංකාවට අවම ජාත්‍යන්තර තරග අටක පමණ සහභාගිත්වයකට ඉඩ ප්‍රස්ථා සළසන බවද පැවසීය.

එහිදී මෙම වසර අවසානයට පෙර ශ්‍රී ලංකාව 200න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීමේ ස්ථානයකට පත් කිරීම සිය අපේක්ෂාව බවත් පැවසීය. අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (15) සිදු කළ අලුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවත් ශ්‍රී ලංකාව තවදුරටත් 204 වැනි ස්ථානයේ පසුවේ.

ආසියාවේ ඔවුන්ගේ ස්ථානය 46න් 45ය. අවසන් වරට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකට සහභාගි වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 12 වැනිදාය. ලෝක කුසලාන සුදුසුකම් (2026) තරග වටය යටතේ ‘අබහා’ නුවරදී පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාව  කෙන්යාවට ගෝල 3-0කින් පරාජය විය.

එම තරග වටය යටතේ ඔක්තෝබර් 17 වැනිදා කොළඹදී පැවැති දෙරට අතර තරගය ගෝල 1-1 කට සම විය.

මේ අතර මාර්තු මාසයේදී කොළඹ තරගාවලිය ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන ජාතික පාපන්දු සංචිතය සඳහා විදෙස් රටවල කල් ගෙවන ශ්‍රී ලාංකික සම්බවයකින් යුත් ක්‍රීඩකයන් හත් දෙනෙකු අවම වශයෙන් කැඳවීමට අපේක්ෂා කරන බව ජස්වර් උමාර් මහතා පවසයි.

ඒ සඳහා ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීමට ද (ද්විත්ව පුරවැසිභාවය) කටයුතු කෙරේ. මෙසේ විදේශයන්හි පුරවැසියන් බවට පත්ව සිටින ශ්‍රී ලංකා සම්භවයකින් යුත් ක්‍රීඩකයන් 12 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හඳුන්වා ගෙන තිබේ.

ඔවුන් සිය රටවල ලීග් තරග මාලා සඳහා සහභාගි වී සිටින අතර ජාත්‍යන්තර තරගමාලා සඳහා ශ්‍රී ලංකාවේ කැඳවීම් ලබන අවස්ථාවන්හිදී මෙරටට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වී ක්‍රීඩා කිරීමෙන් පසුව නැවත සිය රට බලා පිටත් කර හැරීමට කටයුතු කෙරේ.

කොළඹ සිවුකොන් තරගාවලියට සහභාගි වන ආරාධිත රටවල් තුන අතර භූතානය 184 වැනි ස්ථානයේද මධ්‍යම අප්‍රිකානු ජනරය 129 වැනි ස්ථානයේද පැපුවානිව්ගිණියාව 165 වැනි ස්ථානයේද ඊයේ (15) සිදුකළ අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පසුවෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා - පැපුවා නිව්ගිනියා තරගය මාර්තු 22

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.