Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කෝටි 16 ක ගෙවීම් හිරවෙලා

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කෝටි 16 ක ගෙවීම් හිරවෙලා

editorial - 2023 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 14 වැනිදා නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාව ලබන සඳුදා (14) වන විට මාස දෙකක කාලයක් නිකරුණේ ගෙවා දැමූ බවට චෝදනා එල්ල වේ. එකී කාලය තුළදී කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් හෝ තරගාවලියක් සංවිධාන කිරීමට අපොහොසත් වී සිටින වත්මන් විධායක සභාව ඉදිරියේ පැන නැගී තිබෙන බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත්තේ පසුගිය වසරක කාලයක් සඳහා පාපන්දු ආයතනය ලබාගත් බව කියන සේවා හා සැපයුම් සඳහා රුපියල් කෝටි 16කට ආසන්න ගෙවීම් කිරීමට සිදුව තිබීමය.

කෙසේ වුවත් පාපන්දු ආයතනයේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය යටතේ එම ගෙවීම් කිරීම තවදුරටත් ප්‍රමාදවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

එම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් වන රුපියල් මිලියන 90කට ආසන්න මුදලක් ගුවන් ප්‍රවේශපත්‍ර සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු බව ද වාර්තා වේ. ඒ අන්තර්ජාතික තරග සංචාර සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් හා ඒවායෙහි පරිවාර කාර්ය මණ්ඩල වෙනුවෙනි.

ජනවාරි 21 වැනිදා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ තහනම හේතුවෙන් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.2 කට වැඩි මුදලක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් අත්හිටුවා තිබේ. එයින් ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ආසියානු පාපන්දු සමුළුව විසින් අනුමත කළ ඒවායි.

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 38 ක ඉතාම ආසන්නය.

සිය පත්වීමෙන් පසුව මෙතෙක් කිසිදු ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී. ඒ හේතුවෙන් ඔහුගේ නිලවරණයට සහයෝගය දුන් පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා එළිපිටම ඔහුට චෝදනා කරමින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත විරෝධතා ලිපියක් ද බාරදී තිබේ.

ඔහු එමගින් අවධාරණය කර ඇත්තේ මේ වසරේ මැයි 31 වැනිදාට පෙර පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය (2023–25) පැවැත්විය යුතු බැවින් මෙම 20 වැනිදාට පෙර විශේෂ මහා සභාවක් කැඳවා නිලවරණ කමිටුව නිර්දේශ කිරීම ක්‍රීඩා පනතට අනුව අනිවාර්ය කටයුත්තක් බවයි. කෙසේ වුවත් ඒ සඳහා වත්මන් විධායක සභාව සූදානම් වන බවක් මෙතෙක් ප්‍රදර්ශනය වී නැත.

ඒ අතර වත්මන් පාපන්දු සභාපති ජේ. ශ්‍රී රංගා මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට අවධාරණය කර ඇත්තේ හිටපු සභාපතිවරුන් කීප දෙනකු යටතේ පැවැති පාපන්දු ආයතනයේ පසුගිය නිල කාලයත් එක් කර ගනිමින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ යුතු බවයි.

පවතින තත්ත්වය හමුව් රංගා මහතාගේ නිලවරණ ව්‍යාපාරයට සහයෝගය දුන් පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතාත් මේ වනවිට එම සහයෝගය ඉවත් කරගෙන ඇතැයි ද පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.  රංගා මහතාගේ පත්වීමෙන් පසුව අනුර ද සිල්වා මහතා පාපන්දු ආයතනයේ උපදේශකවරයකු ලෙසත් යෝජනා කර තිබුණත් ඔහු එම පත්වීම් බාරගත් බව වාර්තා නොවීය.

තත්ත්වය මෙසේ තිබියදී ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ පාපන්දු ආයතනයේ විධායක සභාවේ එම පත්වීම්වලට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා තිබෙන නඩු දෙකක් ඊයේ (8) නැවතත් විභාගයට ගත්තේය. එම නඩු දෙකෙන් හිටපු සභාපති ජස්වර් උමාර් මහතා පැවරූ නඩුව සඳුදා (13) යළිත් සලකා බැලේ. පාපන්දු ලීග නියෝජිතයන් පිරිසක් අභියාචනාධිකරණයේ පැවරූ සෙසු නඩු යළි මෙම 24 වැනිදා සලකා බැලේ.

මේ වනවිට පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාවේ ඝණපූර්ණය බිඳ වැටීමෙන් එහි තත්ත්වය තවත් නරක අතට හැරී තිබේ. ඊට හේතුව ජනවාරි 14 වැනිදා නිලවරණයෙන් තේරී පත්වූ විධායක සභාවේ නිලධාරීන් අටදෙනාගෙන් සිව් දෙනකුම මේ වනවිට ඉල්ලා අස්වීම නිසාය. ඉතිරි තනතුරු කීපයත් හිස්ව පවතින්නේ ජනවාරි 14 පැවැති නිලවරණයේදී එම පත් කිරීම් සිදු කිරීමට නොහැකිවීම නිසාය.

ඝණ පූර්ණය බිඳ වැටීම හේතුවෙන් මේ වන විට පාපන්දු ආයතනයේ ක්‍රියාකාරකම් එහෙම පිටින්ම ඇණහිට තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කෝටි 16 ක ගෙවීම් හිරවෙලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.