
(නාමල් පතිරගේ)
මාලේ නුවරදී ආරම්භ වූ අට වැනි සාෆ් ශූරතා පාපන්දු (වයස 20 න් පහළ - පිරිමි) තරගාවලියේ සහභාගි වූ සිය පළමු තරගය කණපිට පෙරළමින් ගෝල 3 - 2 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට පෙරේදා (23) ශ්‍රී ලංකාව සමත් විය.ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලියේදී මාලදිවයින පරාජයට පත් කළේ වසර 24 කට පසුවවීම එහිදී වාර්තා වූ කැපී පෙණුනුම සිදුවීමයි.
තරගයේ පළමු භාගය ගෝල 2 - 0 ක් ලෙස ජය මාවත විවර කර ගෙන සිටි මාලදිවයින අනපේක්ෂිත අකරතැබ්බයකට පත් කරමින් දෙවැනි භාගයේදී ගෝල තුනක්ම වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි ප්‍රතිපලය උඩු යටි කුරු කරමින් මෙම ජයග්‍රාහණය වාර්තා කිරීමට සමත් විය.
මොහොමඩ් ඉම්රාන් විසින් 28 වැනි හා 45 වැනි විනාඩියෙන් පසුව පිරිණැමුණු අතිරේක කාලයේදී මාලදිවයිනේ ගෝල දෙකම වාර්තා කළේය.මොහොමඩ් කතීම්, අහමඩ් හිජාසී හා හුසේන් අබ්දුල්ලා විසින් 46, 63 හා 88 යන විනාඩි වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල රැස් කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ පෙරළිකාර ජය වාර්තාවූ තෙවැනි ගෝලය දඩුවම් පහරක් ප්‍රයෝජනයට ගනිමින් අබ්දුල්ලා ලබා ගැනීමත් සමග වසර 2001න් පසුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පළමු වතාවට මාලදිවයින පරාජය කිරීමට සමත් විය.
දකුණු ආසියානු කලාපයේ රටවල් හතේ සහභාගිත්වයෙන් සදුදා (23) ආරම්භ වූ මෙම තරගාවලිය අප්‍රේල් 3 වැනිදා දක්වා මාලේ නුවරදී පැවැත්වේ.ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වන දෙවැනි තරගය අද (25) නේපාලයට එරෙහිව පැවැත්වේ.
පෙරේදා මූලික වටයේදී නේපාලය විසින් භූතානය පරාජයට පත් කළේ ගෝල 2 - 1 කටය. මූලික ලීග් වටය ඒ හා බී යන කාන්ඩ දෙකකින් ලබන සෙනසුරාදා (28) දක්වා පැවැත්වේ. මාලදිවයින පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාව ඒ කාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු තුනක් ලබා එහි පෙරමුණේ පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.