Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ලීගවලට කෝටි හතක්

පාපන්දු ලීගවලට කෝටි හතක්

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයින පුරා ස්ථාපිත පාපන්දු ලීග 55ක් සඳහා රුපියල් මිලියනයක් බැගින් තරගාවලි පවත්වාගෙන යාම සඳහා ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර ඇත. එය ලක්ෂ දෙකහමාරක් බැගින් වන කොටස් හතරකින් ලබාදීමට කටයුතු කෙරේ.

කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කාන්තා හා පිරිමි  තරග මාලා ආරම්භ කිරීම සඳහා මෙරට සෑම ප්‍රාදේශීය ලීගයක් සඳහාම මෙම මුදල් ප්‍රදානය කෙරෙන්නේ කොන්දේසි මාලාවක් යටතේය.

එය සංකේතවත් කරමින් කටුනායක ‘බ්ලූ ඊගල් විව්’ හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී (2023-24) අක්කරෙයිපත්තුව පාපන්දු ලීගය සඳහා අරමුදල් ප්‍රදානය කිරීම සිදුවිය.

ප්‍රාදේශීය පාපන්දු සංගම් හෙවත් ලීග හැරෙන්නට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ තවත් ක්‍රියාත්මක සාමාජික සංගම් 13ක් ද ක්‍රියාත්මක වේ. ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු පාර්ශව නියෝජනය වන සංගම් ය. ඔවුන් සඳහා ද රුපියල් ලක්ෂ 7 1/2ක් බැගින් වන ප්‍රදානයක් සිදු කිරීමට ද පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලීග වෙත වයස 16න් පහළ හා වයස 18න් පහළ (බාලක) තරගමාලා ආරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවයි.

ඒ අනුව එම තරගමාලා දෙක සඳහා එකකට කණ්ඩායම් 440ක් බැගින් වන පරිදි කණ්ඩායම් 880ක් දිවයින පුරා ස්ථාපිත ලීග විසින් ආරම්භ කෙරෙන තරගාවලි සඳහා සම්බන්ධ වේ.

ඒ අනුව එකී තරගාවලි සඳහා දිවයින පුරා සම්බන්ධ වන ක්‍රීඩකයන් ගණන 22000ක් තරම් ඉහළ ගන්නා බව පාපන්දු ආයතනය පවසයි.

සෑම ලිගයක් ඔස්සේ කාන්තා තරගාවලියක් බැගින් ද පැවැත්වීම සඳහා පාපන්දු ආයතනය ඉදිරියේ දී ලීග දිරිගැන්වේ.

මේ අතර දිවයිනේ පාසල් 100කට ප්‍රදානය කිරීම සඳහා ඉදිරියේ දී පාපන්දු 3000ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ  සඳහා අනුග්‍රහය දරන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසිනි.

දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් නිර්දේශ කෙරෙන පාසල් හතරක් බැගින් වන පරිදි පාසල් 100 ක් මෙම වැඩසටහන සඳහා තෝරා ගැනේ. පාපන්දු ලීග සඳහා පාපන්දු ආයතනය වැය කරන මුළු මුදල රුපියල් මිලියන 64කි. එය වෙනත් වසරවල දී ලීගයන් වෙත සිදුකළ ප්‍රදානයන් හා සැසඳීමේ දී 1023% කින් වැඩිවීමකි.

මින් පෙර දිවයිනේ පාපන්දු ලීග සඳහා උපරිම වාර්ෂිකව ප්‍රදානය වුයේ රුපියල් ලක්ෂ 2 1/2ක් තරම් මුදලකි.


අදහස් (0)

පාපන්දු ලීගවලට කෝටි හතක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.