Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features වැරදුනේ කාටද ? කොතැනද ?

වැරදුනේ කාටද ? කොතැනද ?

editorial - 2023 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විදුලි කොටන තරමට ගොරවන්නේ නැත. ගොරවන තරමට වැස්සත් නැත. ඒ දෙකම එහෙම නමුත් ගින්නක් නැතිව දුමක් නඟින්නේත් නැත. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කියන්න තියෙන්නේත් ඒ වාගේම කතාවකි.

වසර 2022 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශුද්ධ අතිරික්තය රුපියල් බිලියන 6.3 ක් හෙවත් රුපියල් කෝටි 630 ක් යයි පසුගිය ජූනි මාසයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාරම්බෑවේය. ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 17.5 ක් හෙවත් රුපියල් කෝටි 1750 කි. ශුද්ධ අතිරික්තය රුපියල් බිලියන 6.3 ක් හෙවත් රුපියල් කෝටි 630 ක් වන අතර එය පසුගිය වසරේ ආදායමට වඩා 120% ක වැඩිවීමකි.

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ පවතින දුර්වල අගය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ලාභය තරමක් පිම්බී පෙනුණු බවත් අතිශයෝක්තියක් ද නොවේ. එහෙත් පසුගිය ජූනි මස 17 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේදී, වසර 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා විගණනය කරන ලද මූල්‍ය වාර්තාව, ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා අවධාරණය කරන්නේ එය “අඩුපාඩු වලින් තොර” යන සහතිකය ලැබූ විගණන වාර්තාවක් බවයි.

මේ අතරවාරයේදී, 2022 වර්ෂය සඳහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තවත් විගණනයක් ද කළේය. “2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී-20 ලෝක කුසලාන (පිරිමි) තරඟාවලිය ආශ්‍රිත විශේෂ විගණනය” යනුවෙන් හඳුන්වනු ලබන මෙම සුවිශේෂී කාර්යය ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද්දේත් ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් මත වීම අනෙක් කාරණාවයි.

දෙවැනි විගණනයේ තොරතුරු ඇතුළත් වාර්තාව ‘කෙටුම්පත’ යනුවෙන් සඳහන් කර 2023 ජූනි 14 වැනිදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යවා ඇත්තේද, දින 14 ක් ඇතුළත පිළිතුරු එවන ලෙස දන්වමිනි. ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යවා ඇති බවත්, ඊට පිළිතුරු සැපයීම සඳහා මාසයක් කල් ඉල්ලා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පිළිතුරු ලිවීම කරගත නොහී තවත් මාසයක් කල් ඉල්ලා ගත් බවත් ඒ උදවියම කියති. එසේ තිබියදී...

ජාතික විගණන කාර්යාලය විසින් සකස් කරන ලද පිටු 88 කින් සමන්විත ලියවිල්ල කිසිවකු විසින් මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන ලදි. එයින් කියැවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අති විශාල ප්‍රමාණයක් අයාලේ ගොස් ඇති බවයි.

විගණන තොරතුරු ඇතුළත් මෙම ලියවිල්ල හුදෙක් ‘කෙටුම්පතක් පමණයි’ යයි 25 වැනිදා පැවැති පුවත් පත් සාකච්ඡාවේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා නැවත නැවතත් කීවේය. එහෙත් ඉංග්‍රීසි භාෂාවෙන් දිනපතා පළවන ජාතික පුවත් පතක, පසුගිය 27 වැනිදා මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ජාතික විගණන ආයතනය තම ‘කෙටුම්පත’ වෙනුවෙන් පෙනී සිටින බවකි.

 

මේ කතා සියල්ලම එකිනෙක ඈඳන කල්හි මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි.

1. 2022 දෙසැම්බර් 31 වැනිදා යින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිකුත් කරන ලද, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා විසින් තහවුරු කරන පරිදි  “අඩුපාඩු වලින් තොර” විගණන වාර්තාවට, 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී ඕස්ටේ්‍රලියාවේදී පැවැති 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී-20 ලෝක කුසලාන (පිරිමි) තරඟාවලියේ වියහිදයම් ඇතුළත් වූවාද ? නැද්ද ?

2. 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී-20 ලෝක කුසලාන (පිරිමි) තරඟාවලියේ වියහියදයම් යථෝක්ත වාර්තාවට ඇතුළත් වූයේ නම්, ‘තවමත් කෙටුම්පතක් පමණයි’ යන වාර්තාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පෙනී සිටින්නේ කවර පදනමක් මතද ?

3. පසුගිය ජූනි 17 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේදී සාමාජිකත්වය විසින් ඇස් කන් පියාගෙන විගණන වාර්තාව අනුමත කරන ලද්දේ තමන්ට වාසි ලැබෙනවා නම් කාට හෙණ ගැහැව්වත් අපට මොකද න්‍යාය අනුගමනය කරන නිසාද ?
වැරදුනේ කාටද ? කොතැනද ?

 


අදහස් (0)

වැරදුනේ කාටද ? කොතැනද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.