Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features මතක ඉතිරි කර සමුගත් සුන්දර දඟකාරයා - වෝන්

මතක ඉතිරි කර සමුගත් සුන්දර දඟකාරයා - වෝන්

editorial - 2022 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අති විශිෂ්ට ක්‍රීඩකයෝ සිටියහ. ඇතැමෙක් දිවි සැරිය නිමාකොට නික්ම ගියහ. ඇතැමෙක් තවමත් සිය දිවි ඉනිමේ නොදැවී ක්‍රීඩා කරති.  ඒ බොහෝ දෙනා අතුරින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග වෙනස් කළ ක්‍රීඩකයන් අතර ෂේන් වෝන් ඉදිරියෙන්ම සිටි අයෙකි.

ඕස්ට්‍රේලියානුවන්ගේ තක්සේරුව අනුව තරුණ වියේ අග්ගිස්සේ සිටි ෂේන් වෝන්, පසුගිය සිකුරාදා අකල් මරණයකට ගොදුරු වූයේ වන විට 52 හැවිරිදි වියේ පසුවිය. දැනට පවතින තොරතුරු අනුව එය හෘදයාබාධයක් හේතුවෙනි. තවමත් එහි පරීක්‍ෂණ අවසන් වී නැතිවාක් මෙන්ම වෝන්ගේ අකල් මරණය හේතුවෙන් ක්‍රිකට් ලෝකය තුළ ඇතිවූ කැළඹීම ද තවමත් පහවී ගොස් නැත.

80 දශකයේදී පිතිකරුවන් දණගැස්වූ පාකිස්තානු දඟ පන්දු යවන්නකු වූ අබ්දුල් කදීර් මෙන්ම ශ්‍රී ලාංකිකයකු වන සෝමචන්ද්‍ර ද සිල්වා (ඩී.එස්. ද සිල්වා) දෙදෙනාගේ ටෙස්ට් දිවිය අවසන් වීමෙන් පසුව පා දඟ පන්දු යැවීමේ කලාව ටෙස්ට් පිටියෙන් වියැකී යන තත්ත්වයක් තිබිණ. එවන් පසුබිමකදී, 1992 ජනවාරි මාසයේදී සිඩ්නි පිටියෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ෂේන් වෝන්, දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ, පා දඟ පන්දු යැවීමේ කලාව තනි අතින් ඉදිරියට ගෙන ගියේය.

සිඩ්නි පිටියේදී ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයෙන් මාස 7 කට පසුව, 1992 කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගය වෝන්ගේ තුන් වැන්න විය.

එහි පළමු ඉනිමේදී අසංක ගුරුසිංහ (137), අර්ජුන රණතුංග (127) සහ රොමේෂ් කළුවිතාරණගෙන් (132)  රිදෙන්න ගුටි කෑ වෝන්ගේ පන්දු යැවීම සටහන් වූයේ 22-2-107-0 ක් ලෙසිනි.

දෙවැනි ඉනිමේදී ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි වෝන්ව, නායක ඇලන් බෝඩර් විසින් පන්දු යැවීමට කැඳවීමට පෙර ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 34 කි. ඕවර 5 කින් ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත් වෝන් ශ්‍රී ලංකාවේ දෑස් අබිමුව තිබූ ජයග්‍රහණය උදුරාගෙන ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 16 ක ජයක් අත්කර දුන්නේය.
ඒ වෝන් වෘත්තාන්තයේ ආරම්භයයි.

පිතිකරුවන් කිසිවිටෙක අපේක්‍ෂා නොකරන තැනකට පන්දුව පතිත කරමින්, අතිශය තියුණු දඟකැවීමක් ලබාගන්නා වෝන්ගේ පන්දුවක් නිදැල්ලේ යාමට දීම ක්‍රිකට් පිටියේ භාවිතය අනුව නම් දිවිනසා ගැනීමකි. ඔහු පන්දු යවන්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ‘කුකබරා’ පන්දුවෙන්ද, නැතහොත් එංගලන්තයේ භාවිතා කෙරෙන ‘ඩියුක්’ පන්දුවෙන්ද යන්න වෝන්ට ප්‍රශ්නයක් නොවීය. මේ ගැන දන්නා බොහෝ පිතිකරුවන් සිටිතත්, එංගලන්තයේ මයික් ගැටිං හෝ ඇන්ඩෲ ස්ට්‍රෝස් දෙදෙනා තරම් හොඳින් ඒ ගැන දන්නා අය නැත.

1993 අළු බඳුන තරගාවලියේ, මැන්චෙස්ටර් නුවරදී පැවැති තරගයේදී වෝන් යැවූ පන්දුව පතිත වූයේ ගැටිංගේ පා ඉන්නට බොහෝ ඈතිනි. දඟ පන්දු යවන්නන් මට්ටු කිරීමට නම්දරා සිටි ඉංග්‍රීසි ජාතික පිතිකරුවා, මේ 24 හැවිරිදි කොළුවාගේ පන්දුව වෙත සිය ඉදිරි පාදයත් පිත්තත් යොමුකළේය. මයික් ගැටිං තඹයකට නොතැකූ පන්දුව, ඔහුගේ පාදයත් පිත්තත් දෙකම පසුකර යමින් පිට ඉන්න සොළවා ඒ මත තිබූ බේලය බිම දැම්මේය.
එය ෂේන් වෝන් අළු බඳුන තරගාවලියේදී යැවූ මුල්ම පන්දුව වූ අතර පසුව එය හඳුන්වන ලද්දේ “සියවසේ පන්දුව” ලෙසිනි.

එය සර්ව සම්පූර්ණ නම්තැබීමකි. මක්නිසාදයත්, සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් තෝරා ගන්නා ලද විසිවැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් වු ශ්‍රීමත් ජැක් හොබ්ස්, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සහ විවියන් රිචඩ්ස් අතරට එක්වූ අනෙක් ක්‍රීඩකයා ෂේන් වෝන් ය.

2005 අළු බඳුන තරගාවලියේ එජ්බැස්ටන් ටෙස්ට් තරගයේදී වෝන් විසින් ඇන්ඩෲ ස්ට්‍රෝස් දවාගන්නේද එවැනිම පන්දුවකිනි. වෙනස තිබුණේ මෙම පන්දු දෙක අතර කාලය වසර 12 ක් වීමත් පිතිකරුවන් දෙදෙනා දකුණත් (මයික් ගැටිං) සහ වමත් (ඇන්ඩෲ ස්ට්‍රෝස්) පිතිකරුවන් වීමත්ය.

කාන්තාවන් ආකර්ශනය කරගැනීමට සමත් තඹවන් කෙස්ස, කනේ පැළැඳි රන් කරාබුව මෙන්ම ප්‍රතිවාදී පිතිකරුවන් කෝප ගැන්වීමට සමත් ‘නොමනා’ නොහොත් සරදම් වදන් වැල වෝන්ගේ සුවිශේෂී ලක්‍ෂණ අතරේ විය. ඕස්ට්‍රේලියානුවන්ටම ආවේණික වූ සරදම් වදන් කලාවේ ෂේන් වෝන් කෙළ පැමිණියෙකි.

මේ සියල්ල තිබියදී ෂේන් වෝන් දැන්වීම් පුවරු අතර ද ඉදිරියෙන්ම සිටියේය.
ඔහු ශාන්තුවරයකුද නොවේ. දුම් පානයත්, බියර් වීදුරුවත් සමග යාවජීව සම්බන්ධතා පැවැත්වූ වෝන්ගේ තවත් නොකටයුතු කම්ද නොවූයේ නොවේ. ක්‍රීඩා ලෝකයේ සුපිරි තරුවූ ඩියාගෝ මැරඩෝනා, පෝල් ගැස්කොගීන්, ක්‍රිස් ගේල් වැන්නන්ට උරුම, විනෝදකාමී පුරුදු කිහිපයක්ම වෝන්ටද තිබිණ. 2003 ලෝක කුසලන තරගාවලිය ඔහුට අහිමි වූයේත් තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවක් හේතුවෙනි.

වසර 2004 මාර්තු මාසයේදී ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය වෝන්ගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකි. එය ෂේන් වෝන් 500 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත් ක්‍රීඩාංගණයයි. මෙම තරගයේ ඉනිම 4 දී මුත්තයියා මුරලිදරන් කඩුලු 5 ක් බැගින් දෙවතාවක්ද, ෂේන් වෝන් කඩුලු 5 ක් බැගින් දෙවතාවක්ද දවාගත්හ. පසුකලෙකදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලීන්හි ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය ‘වෝන් - මුරලි’ කුසලාන වෙනුවෙන් නම්කරන ලද්දේ ද දෙදෙනා අතර පැවැති සුන්දර තරගය හේතුවෙනි.

ගාල්ලේදී සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමෙන් මාස 8 කට පසුව පැමිණි සුනාමියෙන් ගාල්ල ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම විනාශ විය. එය බැලීමට පැමිණි ෂේන් වෝන් මහත් සේ කම්පා වූයේය. ඕස්ටේ්‍රලියාවේ දරුවන්ට උපකාර කිරීම සඳහා පිහිටුවා තිබූ සිය පදනමෙන්, ගාල්ල ක්‍රීඩාංගණය නැවත යථා තත්ත්වයට ගන්නට උපකාර කිරීමටද වෝන් ඉදිරිපත් වූයේය.

සුනාමියට පෙර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සෑම ක්‍රිකට් තරගාවලියකදීම, ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ පොදු සතුරා වූ ෂේන් වෝන්, සුනාමියෙන් විනාශයට පත් ගාල්ල ක්‍රීඩාංගණය යළි ගොඩනැංවීමට ඉදිරිපත් වීමත් සමගින් නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් පැහැර ගත්තේය.

1992 එස්.එස්.සී. ටෙස්ට් තරගයේ සිටම වෝන්ට එරෙහිව තරග කළ අර්ජුන රණතුංග මෙන්ම මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී ෂේන් වෝන් හා පසමිතුරෝ වූහ. එහෙත් ක්‍රිකට් පිටියෙන් ඔබ්බේදී ඔව්හු මිතුරුකම් ගෙන ගියහ.

“බොහෝ දෙනා දන්නා විදිහට, ෂේන් සහ මා අතර තිබුණේ එදිරිවාදීකමත් තරගකාරීබවත් විතරයි. ඒත් ඒ එක්කම, අපි අනෝන්‍ය වශයෙන් එකිනෙකාට මහත් සේ ගෞරව කළා... ෂේන්ගේ අකල් වියෝව ඕස්ට්‍රේලියාවට විතරක් නෙමේ, ක්‍රිකට් ප්‍රජාවටත් විශාල පාඩුවක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එතරම්ම ආදරේ කළා. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහුට තිබුණු දැනුම ඒ තරම් විශාලයි.... ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් ලැබුණු දේ හැමදාම පවතීවි”

“වෝන්ගේ පවුලේ අයට අපගේ හෘදයංගම ශෝකය පළකරනවා. ඔහු සමාදානයේ සැතපේවා” යයි වෝන්ගේ වියෝවෙන් පසු අර්ජුන රණතුංග සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.

ටෙස්ට් කඩුලු දවාගැනීමේ කඩයිම් පසුකිරීම සම්බන්ධයෙන් ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් අතර තිබුණේ එකිනෙකා පරයන සටනකි. ඇතැම් අවස්ථාවලදී මුරලි ජයගත් අතර තවත් අවස්ථාවලදී වෝන් ජයගත්තේය. සුනාමි ව්‍යසනයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි වෝන්, මුත්තයියා මුරලිදරන් සම්බන්ධ ගුණ-ජය-සතුට පදනම මගින් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් විය.

“වසර ගණනාවක් මා සමග ක්‍රිකට් පිටියේ සිටි ෂේන් වෝන්, මේ වැනි අඩු වයසකදී හදිසියේම වියෝවීම මාව මහත් කම්පාවටත් ශෝකයටත් පත්කළා....”

“ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්‍ෂයෙක්. පා දඟ පන්දු යැවීමේ කලාවට පුනර්ජීවනය එකතු කරමින් ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ලෝකයේ දැවැන්ත කණ්ඩායමක් බවට පත්කළා. ඔහු පන්දු යැවීමේ ඉතිහාසයට එකතු කළ දේ මා ඉතාමත් ඉහළින් අගය කරනවා.. ඔහු අපට සුන්දර මතක බොහොමයක් ඉතිරි කළා” යයි ෂේන් වෝන්ගේ 2004 ශ්‍රී ලංකා ගමනේ වීඩියෝ දසුන් කිහිපයක් ද එකතු කරමින් මුත්තයියා මුරලිදරන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

හිනැහී කතාබහ කළ මිනිසකුගේ මරණය වෙනුවෙන් සටහනක් තැබීමට සිදුවීමත් වේදනාබර අත්දැකීමකි. අර්ජුන රණතුංගට සහ මුත්තයියා මුරලිදරන්ට පමණක් නොව, ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුට එම වේදනාබර අත්දැකීම ඉතිරි කරමින් ෂේන් වෝන් යන්නම ගියේය.

එහෙත් පාකිස්තානු ක්‍රිකට් ලෝලීන් කියන පරිදි, පුරාවෘත්තයන් බඳු මිනිසුන් මතකයෙන් මැකී නොයනු ඇත. මිනිසුන්ගේ හදවත් තුළ ඔව්හු සදහටම ජීවත් වෙති.
නිසි කලට පැමිණියද, අකලට පැමිණියද, ඒ සම්බන්ධයෙන් මාරයාට කළ හැකි දෙයක් නැත.

■    ෂේන් වෝන්ගේ 700 වැනි ටෙස්ට් කඩුල්ල. පිතිකරුවා එංගලන්තයේ ඇන්ඩෲ ස්ට්‍රෝස්

 


■    වෝන් - මුරලි කුසලාන හඳුන්වා දුන් 2007 දී

 


■    ෂේන් වෝන් (ලෝක කණ්ඩායමේ නායකයා) සහ මුත්තයියා මුරලිදරන් 2005 සුනාමි ආධාර තරගයකදී

 


■    ෂේන් වෝන් සිය දඟ පන්දු ඇදුරාණන් වන ටෙරී ජෙනර් මහතා සමග

සැකසුම - දමින්ද විජේසූරිය

ඡායාරූප - රොයිටර් සහ ඒ.එෆ්.පී. ඇසුරිනි


අදහස් (0)

මතක ඉතිරි කර සමුගත් සුන්දර දඟකාරයා - වෝන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.