Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features පිදුරු ‍ගහෙත් එල්ලෙන්න වෙන තරගයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පිදුරු ‍ගහෙත් එල්ලෙන්න වෙන තරගයක්

editorial - 2023 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට..)

“ගිළෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නාක් මෙන්” ශ්‍රී ලංකාවටද  මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමෙන් වැළකී සිටීමට නම් බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී හෙට (6 වැනිදා) පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ. තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නවසීලන්තයට එරෙහිව ලබන 9 වැනිදා බැංගලෝර්හිදී පැවැත්වෙන තරගය ජයගැනීමද අනිවාර්ය වී තිබේ. එම තරග‍ දෙකම ජයගත්තද, මේ වන විට පත්ව ඇති තත්වය අනුව අවසන් පූර්ව වටය කෙරෙහි බලා‍පොරොත්තු රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සෙසු කණ්ඩායම්  ඔවුන්ගේ ඉතිරි තරග දිනන පරදින ආකාරය දෙස බලා සිටීමටද සිදුව තිබේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර ඕස්ට්‍රේලියාවටද ඒ සඳහා අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණයක් පමණි. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුදුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වීම සඳහා නවසීලන්තය, පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය යන රටවල් 5 ටම තවමත් සුළු වශයෙන් හෝ අවස්ථාව පවතී.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් එංගලන්තය හමුවේ පාකිස්ථානයත්, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ ඇෆ්ඝනිස්ථානයත් පරාජයට පත්විය යුතු අතර ‍නෙදර්ලන්තයද එංගලන්තය හෝ ඉන්දියාව හමුවේ පරාජයට පත්විය යුතුය. ශ්‍රී ලංකාව ඉතිරිව ඇති තරග දෙකම ජය ගෙන, ඉහත කී සියල්ල එලෙසින්ම සිදුවුවහොත් පමණක් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවී‍සීමට හැකි වනු ඇත.

‍මේ වන විට දිල්ලි නුවර පවතින දැඩි වායු දූෂණ තත්වය හේතුවෙන් ඉකුත් සෙනසුරාදා (4 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසිය අතහැර දැමීමට සිදුවූ අතර පවතින තත්වය මත දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වීම නුසුදුසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කිරීමත් සමඟ එම පුහුණු සැසිය අවලංගු කිරීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවර ගෙන තිබිණ.  

කෙසේ වුවත් තරගයට පෙර දිනයේදී, එනම් ඊයේ (5 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි පුහුණු සැසියට සහභාගි වූ අතර එම පුහුණු සැසිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ මෙම වසර තුළ කිහිපවරක්ම බංග්ලාදේශයට එරෙහිව තරගවැදී ඇති බැවින් ඔවුන්ගේ දක්ෂතා මෙන්ම දුර්වලතා ‍පිළිබඳවද තම කණ්ඩායම මනා අ‍වබෝධයකින් පසුවන බවය.

“අපි පහුගිය ටිකේ බංග්ලාදේශයත් එක්ක සෑහෙන්න තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළා. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න නම් ‍අපි මේ තරගය ජයගන්නම ඕන. දිගින් දිගටම ඔවුන් එක්ක ක්‍රීඩා කරපු නිසා මේ තරගෙදි ලොකු වෙනසක් කරන්න වෙයි කියලා මම හිතන්නේ නෑ. නායකයා විදියට කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා බංග්ලාදේශය එක්ක ක්‍රීඩා කරන්න අපිට අමුතුවෙන් සූදානම් වෙන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ.” යැයි මෙන්ඩිස් පැවසීය. 

මේ අතර ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 302 ක පරාජය පිළිබඳව තවදුරටත් පසුතැවීම පලක් නොවන බව පැවසූ කුසල්, එහිදී වැඩිදුරටත් කියා සිටියේ එළබෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇති තරග දෙක ජයැගැනීම වැදගත් බැවින්‍ මේ අවස්ථාවේ තමන් ඇතුළු කණ්ඩායම එම තරග දෙක ජයගැනීම සඳහා සිය උපරිමය යෙදවීමට බලාපොරොත්තු වන බවය.

“කළින් තරගය ගැන කතා කරද්දි ගොඩක් කණගාටුවට පත්වෙනවා. ඒත් අපිට ඒකත් එක්කම ඉන්න අමාරුයි. මොකෙද තරගාවලියෙ තව තරග 2 ක් ඉතුරු වෙලා තියෙනවා. ‍කණ්ඩායමක් හැටියට වෙච්ච වැරදි මෙනවද කියලා අපි දන්නවා. ඒ හින්දා අපි බලන්නේ කොච්චර අමාරු වුණාත්,  පුළුවන් තරම් ඉක්මනට පරණ දේවල් අමතක කරලා, වැරදි හදාගෙන ඊළඟ තරග දෙකට මුහුණ දෙන්න.” යැයිද එහිදී මෙන්ඩිස් කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 53 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 42 ක්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. තරග 9 ක ජය බංග්ලාදේශය සතුවී ඇති අතර තරග 2 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. ‍එක්දින ලෝක කුසලාන තරග 4 කදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් තරග 3 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, සෙසු තරගය විසඳුමකින් තොරව අවසන් වී ඇත.

 

ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් ජනිත්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක සහ දුෂ්මන්ත චමීර

බංගල්දේශ සංචිතය
සකීබ් අල්හසන් (නායක), ටැන්සිඩ් හසන්, ලිටන් දාස්, නජ්මුල් හොසේන්, මුෂ්ෆිකුර් රහීම්, මහමුදුල්ලා රියාද්, තව්හිත් රි‍ඩෝයි, මෙහෙදි හසන් මිරාස්, ටස්කින් අහමඩ්, මුස්තෆිසුර් රහමන්, ෂොරිෆුල් ඉස්ලාම්, නසුම් අහමඩ්, මහෙදි හසන්, හසන් මහමුද් සහ ටැන්සිම් හසන් ශකීබ්

 


අදහස් (0)

පිදුරු ‍ගහෙත් එල්ලෙන්න වෙන තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.