Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ධනංජය පන්දු යැව්වා මදි
එස්.එස්.සී. ටෙස්ට් තරගය

ධනංජය පන්දු යැව්වා මදි

editorial - 2023 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ධනංජය ද සිල්වා ඕනෑම අවස්ථාවකදී ඉදිරිපෙළ දඟ පන්දු යවන්නකු සේ සැලකිය හැකි නමුත් එස්.එස්.සී. ටෙස්ට් තරගයේදී ඔහු පන්දු යැවීම සඳහා යොදාගැනීම ප්‍රමාණවත් නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා කියයි.

පාකිස්තානු මුල් ඉනිමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් මේ දක්වා ඕවර 132 ක් යවා ඇතත් ධනංජය ද සිල්වා යවා ඇත්තේ ඕවර 3 ක් පමණි.

“ධනංජය ද සිල්වා මේ තරගයේදී පාවිච්චි කළා අඩු ගතියක් තියෙනවා”
“ධනංජය ද සිල්වා කියන්නේ ඉදිරිපෙළ පන්දු යවන්නෙක්. ඕනම වෙලාවකදි බය නැතිව පන්දුව බාර දෙන්න පුළුවන් පන්දු යවන්නෙක්..” යයි පියල් විජේතුංග මහතා අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් පිට දඟ පන්දු යවන්නා වන ධනංජය ද සිල්වා  සිටින නමුත් ඔහු පන්දු යැවීමට පැමිණියේ පාකිස්තානු මුල් ඉනිමේ ඕවර 68 ක් නිමාවීමෙන් පසුවය. ඒ වන විට ලකුණු පුවරුව කඩුලු 3 ට 270 ක් ලෙසින් දිස්වූ අතර ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් නොදැවී ලකුණු 136 ක් ලබා සිටියේය. ඕවර 80 කට පසුව, දෙවැනි නව පන්දුව ලබාගැනීමට පෙර ධනංජය යවා තිබුණේ ඕවර 2 ක් පමණි.

දෙවැනි නව පන්දුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕවර 52 ක් යවා ඇති නමුත් ධනංජය ද සිල්වා එයින් යැව්වේත් එකම එක ඕවරයකි. ලකුණු 563 ක් වාර්තා වූ ඉනිමක, ඕවර 132 ක් අවසානයේදී ධනංජයගේ පන්දු යැවීම සටහන් වූයේ 3-1-13-0 ක් ලෙසිනි.

ටෙස්ට් තරග 50 ක් ක්‍රීඩා කර ඇති නමුත් ධනංජයගේ පන්දු යැවීම ඔහුගේ දක්‍ෂතා හා සමපාත නොවේ. ටෙස්ට් තරග 50 කදී ඔහු විසින් දවාගනු ලැබ ඇත්තේ කඩුලු 34 ක් පමණක් වීමත්, ඔහුගේ තරග දිවිය පුරාම ඔහුගෙන් ප්‍රයෝජන ගෙන නොමැති බව මැනවින් සනාථ කරන්නකි.

පාකිස්තානුවන් ලකුණු ලබාගත්තේ ඔවුනට රිසි පරිද්දෙනි. ඕවර 132 කදී ලකුණු 563 ක් ලබාගත් පාකිස්තානුවෝ ඕවරයකදී 4.23 ක වේගයක් රඳවා ගත්හ.

“ටෙස්ට් තරගයකදී අපි බලාපොරොත්තු වෙන්නේ, ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 3 කට වඩා අඩුවෙන් තියාගන්නයි. ඒත් ඕවරයකදී ලකුණු 4.00 ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගන්නවා නම්, ඒක හොඳ තත්ත්වයක් නෙමේ. එතැනදී ලකුණු වැඩියි” යයි ද පියල් විජේතුංග පැවසීය.

අනෙක් අතට පාකිස්තානු ඉනිමේ ඕවර 132 කින් නොයිඳුල් ඕවර ලෙසින් සටහන් වන්නේ ඕවර 17 කි. පිතිකරුවන් වෙත පීඩනය යොමු කිරීමට එයද ප්‍රමාණවත් නොවේ.

“අපි තරගයකට එද්දි පන්දු යැවීම ගැන සැලැස්මක් හදාගෙන එන්නේ... ඒ සැලැස්මේ ප්‍රධාන අංගය තමයි ඕවරයකදී ලකුණු 3.00 ක වේගයක් පවත්වාගන්න නොදී පන්දු යවන එක”

“ඒත් ඇත්තටම ගත්තොත්, දැන් පාකිස්තානු ක්‍රීඩකයන් පවා උත්සාහ කරන්නේ එංගලන්ත ක්‍රීඩයන්ගේ ටෙස්ට් තරග රටාව (බස්බෝල් ක්‍රිකට්) අනුගමනය කරන්නයි. ඒ නිසා ඒගොල්ලන් අවදානමක් අරගෙන ලකුණු ලබාගත්තා”

“මේ තණතීරුවත් එන්න එන්නම පිතිකරුවන්ට වාසිදායක වුණා. ඒත් අපි ඒ වෙලාවේ අපේ සැලැස්ම නිසිපරිදි ක්‍රියාත්මක වුණෙත් නෑ” යයි ද ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ පුහුණුකරුවා පැවසීය.

 


අදහස් (0)

ධනංජය පන්දු යැව්වා මදි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.