Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ධනංජය දිගුකාලීන ඉලක්කයක් ගනී
පූර්වවිකාව

ධනංජය දිගුකාලීන ඉලක්කයක් ගනී

editorial - 2024 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව වසර 42 ක සාඩම්බර ටෙස්ට් ඉතිහාසයකට හිමිකම් කියන, ටෙස්ට් තරග 100 ක් ජයගත් කණ්ඩායමකි. ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීම සඳහා හෙට (02 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියට පිවිසෙන්නේ යන්තම් වසර 5 ක් වයසැති, ටෙස්ට් තරග 7 කින් 3 ක් පමණක් ජයගත් ඇෆ්ඝනිස්ථානයයි. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන නමුත් මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව 10 කි. ඒවායින් පළමු වැන්න හෙට ඇරඹෙයි. කෙසේ වෙතත් මෙය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගයක් නොවේ. 
“මේ අවුරුද්ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපට ඉතා විශාල එකක්. මෙතනින් අපි හොඳට පටන් ගන්න ඕනේ” යයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායක ධනංජය ද සිල්වා කීවේය. 

“මේ වසරේ අපේ පළමු ටෙස්ට් තරගය මේකයි. ඒක ජයග්‍රහණයකින් ආරම්භ කරන්න ඕන. ඒත් ඉතාමත් පැහැදිලිවම, අපේ දිගුකාලීන ඉලක්කය වන්නේ ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළට යාමයි.... අපි හත්වැනි ස්ථානයේ සිටියත් පසුගිය සතියේ බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ටේ්‍රලියාවේදී ජයග්‍රහණය කිරීමෙන් පස්සේ අපිව අටවැනි ස්ථානයට තල්ලු වෙලා”

“ඒ නිසා අපගේ ශ්‍රේණිගත කිරීම වඩාත් ඉහළ තැනකට ගෙන ඒම මගේ ප්‍රධාන ඉලක්කයයි” යයි ටෙස්ට් නායකයකු වශයෙන් සිය පළමු පුවත් පත් සාකච්ඡාවට සහභාගි වූ ධනංජය ද සිල්වා ඊයේ (01 වැනිදා) දහවල් කීවේය.

1982 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමෙන් අනතුරුව, අසීරු ගමනක නිරත වූවත්, 1995 මාර්තුවේදී සිය මුල්ම විදේශීය ජයග්‍රහණය අත්පත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම එතැන් සිට වසර 20 ක පමණ කාලයක් සාර්ථක ගමනක නිරත විය. වසර 2002 දී ආසියානු ටෙස්ට් ශූරතාවත් සමගින් එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය සාර්ථක ගමනේ අවසානය සටහන් කළේ 2014 ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැති තරග 2 කින් සමන්විත තරගාවලියක් 1-0 ක් ලෙසින් ජයගනිමිනි. 

මෙම යුගයේදී දක්නට තිබුණ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආවේණික තරග රටාවක් තිබීමයි. එය ක්‍රමානුකූල ආක්‍රමණයේත් අවස්ථාවෝචිත ආරක්‍ෂාවේත් කදිම සංකලනයක් වී තිබිණ. එකල එය හඳුන්වන ලද්දේ “ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ රටාව” යනුවෙනි. ඇතැම්හු එයටම “ක්ලිනිකල් ක්‍රිකට්” (කිසිදු අත්වැරදීමකට ඉඩ ප්‍රස්ථාවක් නැති, ශල්‍යාගාරයක කටයුතු කිරීමේ රටාව) යයි ද කීහ. 
ධනංජයගේ උත්සාහයය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් පැරණි සාර්ථකත්වය කරා කැඳවාගෙන යාමයි. 

“ආක්‍රමණශීලීව ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය මම පසුගිය දින කිහිපයේම ක්‍රීඩකයන්ට කිව්වා”

“පිතිහරඹයේදී විතරක් නෙමේ, පන්දු යැවීමේදී පවා, අපි ආක්‍රමණශීලීව ක්‍රීඩා කරන්න ඕනේ. ටෙස්ට් තරඟයක් දිනන්න නම් කඩුලු 20 ක් දවාගන්න වෙනවා. ඒ නිසා ආරක්‍ෂා වෙන්න ඕනා යයි කියන මනසක් තියාගෙන තරග දිනන්න බෑ”

“ටෙස්ට් තරගයක් දිනන්න නම් ආක්‍රමණයට පිවිසෙන්න ඕනා. ආක්‍රමණශීලී පිටියක් සකස් කරන්න ඕනා.... අනෙක් කාරණාව තමයි ඒ වගේ ආක්‍රමණශීලී පිටියක් තියනකොට, නිරායාසයෙන්ම පන්දු රැකීම වැඩිදියුණු වෙනවා... ඒ හින්දා හොඳින් පන්දු රකින අයට වැඩි අවස්ථා (උඩපන්දු) ලැබෙයි  කියලා මම හිතනවා” යයි ද ධනංජය පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන අන්තර්ජාතික තරග වලදී දක්නට ලැබුණු ප්‍රධානතම දුර්වලතාවක් වූයේත් පන්දු රැකීමයි. 
ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ඔවුන්ගේ ප්‍රධානතම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් නොමැතිවය. කොන්දේ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් ප්‍රතිකාර ලබමින් සිටී. එබැවින් ඇෆ්ඝනිස්ථානයට අහිමි වන්නේ ඔහුගේ පා දඟ පන්දු පමණක් නොවේ. රෂීඩ්ගේ දිරිමත් කිරීමත් ඇෆ්ඝනිස්ථානු පිලට අහිමි වී යයි.  

රෂීඩ් ඛාන් ක්‍රීඩා කළ සෑම අවස්ථාවකදීම ප්‍රතිවාදී පිතිකරුවන්ට ඔහු මහත් හිසරදයක් වූ බව නොරහසකි. එහෙත් ඇෆ්ඝනිස්ථානු පන්දු යැවීම යනු ‘රෂීඩ් ඛාන්’ යයි ලඝු කොට සැලකීම අනුවණ කමකි. 
ධනංජය එය දනී. 

“ඒ ගොල්ලන්ට තවත් හොඳ පන්දු යවන්නන් ඉන්නවා. ඒ හින්දා අපට ඔවුන්ව සැහැල්ලුවට ගන්න බෑ.. අනෙක, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. මේක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන දුෂ්කරම ආකෘතිය” යයි ද ධනංජය කීවේය. 
ඇෆ්ඝනිස්ථානුවන් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග හතක් පමණකි. එහෙත් වත්මන් ඇෆ්ඝනිස්ථානු පිලේ කිසිවකු ටෙස්ට් තරග හතම ක්‍රීඩා කර නැත. එය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති දැවැන්ත වාසියකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණ ශක්තියෙන් යුතුය. දැනට පවතින සංයුතිය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෝ හත් දෙනෙකි. දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම ඔවුන් අතුරින් ඉදිරියෙන්ම සිටිති. මේ හත් දෙනා අතර කඩුලු රකින්නන් සිව් දෙනකු සිටින බැවින් ද, සධීර මේ වන විට ලකුණු අතර නොසිටින බැවින් ද, ඇතැම් විට හත්වැනි ස්ථානය වෙනස් විය හැකි නමුත් ඒ පිතිකරුවකු වෙනුවෙනි. මක්නිසාද යත් ඇෆ්ඝනිස්ථානුවන්ගේ පන්දු යැවීම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ මෑත කාලීන කෙරුවාව ගැනත් කල්තියාම අවධානය යොමුකර තිබුණ බැවිනි. 

“තණතීරුවේ තණකොළ ටිකක් තියෙනවා. කොහොම වුණත් අපි මේ තණතීරුවේ හැටි හොඳින්ම දන්නවා. මේක ලකුණු විශාල සංඛ්‍යාවක් ලබා ගන්නා තරගයක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යයි ද ධනංජය කීවේය. 

ඇෆ්ඝනිස්ථානය ශ්‍රී ලංකාව තරම් විශාල ක්‍රිකට් තරග සංඛ්‍යාවක් පැවැත්වෙන රටක් නොවේ. වසරකදී එහි පැවැත්වෙන්නේ පළමු පෙළ තරග 7 ක් හෝ 8 ක් පමණි. එහෙත් තමන් අභියෝගයට සූදානම් බව නායක හෂ්මතුල්ලා ශහිදි කියයි. 

“නායකයා හැටියට මට කියන්න තියෙන්නේ මේකයි... අපි මොනවා හරි දැනෙන දෙයක් කරනවා” යයි හෂ්මතුල්ලා ශහිදි ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය. 

“අපේ දුර්වල තැනක් තමයි වේග පන්දු යැවීම. අපිට වැඩි වැඩියෙන් ටෙස්ට් තරග ලැබෙනවා නම්, අපි මීට වඩා දියුණු වෙනවා. ඒ නිසා මේක අපේ පන්දු යවන්නන්ටත් හොඳ අවස්ථාවක්” යයි කී හෂ්මතුල්ලා... 

“ කොහොම වුණත් අපි ශක්තිමත් මනසක් තියෙන ජාතියක්. අපි කිසිම දෙයක් අපහසුයි කියලා අතහරින්නේ නෑ... අපි අපේ හැකියාවන් ගැන විශ්වාසයකින් යුතුව තරග කරනවා”

“එක්දින වගේම විස්සයි-20 තරග වලදී අපට කරන්න පුළුවන් මොනවාද කියලා අපි ලෝකයාට පෙන්නලා තියෙනවා. ඒ නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙදීත් අපට ඒක කරන්න පුළුවන්” යයි ද පැවසීය. 

හෙට පෙරවරු 10.00 ට ආරම්භ වන තරගය නැරඹීම සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සියලුම දොරටු ප්‍රේක්‍ෂකයන්ට විවෘත කර තිබේ. 


අදහස් (0)

ධනංජය දිගුකාලීන ඉලක්කයක් ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.