Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features දසුන් ගෙදර යද්දී කුසල් බර කරට ගනී
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දසුන් ගෙදර යද්දී කුසල් බර කරට ගනී

editorial - 2023 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ආබාධයකට ලක්ව සිටින දසුන් ශානකට මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක කුසල් මෙන්ඩිස්ට පැවරී තිබේ. ඒ අනුව කුසල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (16 වැනිදා) පස්වරු 2.00 ට ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම්වලද නායකත්වය දරා ඇති මෙන්ඩිස්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වන 26 වැනි ක්‍රීඩකයා බවටද පත්වනු ඇත. පෙරහුරු තරගයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලකුණු 158 ක්ද, මූලික වටයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 76 ක් සහ පාකිස්තානයට එරෙහිව ලකුණු 122 ක්ද රැස්කරමින් පිතිකරුවකු ලෙස ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා සිටියි.

තරගයට පෙර දිනයේදී (15 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කුසල් කියා සිටි‍යේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන නමුත් කිසිදු විටෙක එය අමතර පීඩනයක් ලෙස නොසලකන බවය. තමා මින් පෙර විවිධ කණ්ඩායම් මෙහෙයවා ඇති බැවින් ‍නායකත්වය තමාට අලුත් දෙයක් නොවන බවද එහිදී කුසල් කියා සිටියේය.

“මේ දක්වා සෙල්ලම් කරපු විදියටම තමා මම ඉදිරියටත් සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. නායකත්වය ලැබු‍ණා කියලා මගේ පිතිකරණයේ විශේෂයෙන් වෙනස් කරන්න දෙයක් නෑ. මෙහෙ ඇවිල්ලත් මම පෙරහුරු තරගයකදී කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඒ නිසා නායකත්වය බාධාවක් කරගන්නෙ නැතුව කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව සුපුරුදු විධියට පිතිහරඹයෙ යෙදෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.” යැයි කුසල් පැවසීය.

‍දසුන්ගෙන් හිස්වූ ස්ථානය වෙනුවෙන් චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටින අතර කණ්ඩායමේ සමබරතාවය රැකගැනීම සඳහා අද තරගයට ඔහු ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. වේග පන්දු යැවීමේ හැකියාව ඇති වෙනත් තුන් ඉරියව් ක්‍රීඩකයකු සංචිතයේ නොමැති වීම ඊට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය. ඒ අනුව කලකට පසුව යළිත් කණ්ඩායමට එක්වන චාමිකට ‍මෙම තරගයේදී විශාල වගකීමක් පැවරෙනු ඇත.

“ඇත්තටම ‍දසුන් ශානක කණ්ඩායමේ නැති එක ‍ලොකු පාඩුවක්. කණ්ඩායමක් විධියට අපි ඒ ගැන කණගාටු වෙනවා. ඒත් වනිඳු හසරංග නැති වුණාම අපි එයා වෙනුවට කෙනෙක් ගෙනාවා. ඒ වගේම තමයි දසුන් නෙමෙයි මම එළියට ගියත් ඒ වෙනුවට එන කෙනා කරන්න ඕන තමන්ගේ වගකීම හරියට ඉටු කරන එක. ඒ නිසා දසුන් වෙනුවට එන කෙනාට එයාගේ භූමිකාව මොකක්ද කියලා පැහැදිළි කරලා දීලා, කණ්ඩායමට එයාගෙ උපරිමය ලබාගන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයිද කුසල් කියා සිටියේය.

අබාධ තත්වයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණද අද තරගයට ක්‍රීඩා නොකරන බැවින් ඔහුගේ ස්ථානය සඳහා සංචිතයේ සිටින ‍සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රාජිත සහ ළහිරු කුමර අතර තියුණු තරගයක් පවතී. කෙසේ වුවත් මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ සමගින් අතිරේක දඟ පන්දු යවන්නන් ලෙස ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකද කණ්ඩායමේ සිටින බැවින් තවත් දඟ පන්දු යවන්නකු කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට තමා බලාපොරොත්තු නොවන බවද මාධ්‍ය හමුවේදී කුසල් සඳහන් කළේය.

පෙරහුරු තරගයේදී ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා, මූලික වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 7 කට දැවී ගිය අතර පාකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු නොලබා දැවී ගියේය. එසේ වුවත් මෙම තරග‍යේදීත් ආරම්භක පිතිකරු යුග‍ලයේ වෙනසක් නොකරමින් තවදුරටත් ඔහුට අවස්ථාව ලබාදීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා අවධාරණය කළේය.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී පරාජයට පත්වුවද, මෙම තරගය සඳහාද කිසිදු වෙනස්කමකින් තොරව සහභාගී වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉංග්ලිෂ් සහ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය නමුත් මෙම තරගයේදීත් ඔවුන්ට අවස්ථාව ලබා දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට ලැබේ.

එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 11 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 8 ක්ම ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති අතර එහිදී ශ්‍රී ලංකාව ලබා ඇත්තේ ජයග්‍රහණ දෙකක් පමණි. 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට නොපැමිණීම හේතුවෙන් ලැබූ නිතරග ජයද ඊට ඇතුළත් වේ.

ඒ අනුව 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව ලෝක කුසලාන එක්දින තරගයකදී මුහුණට මුහුණ තරග වදිමින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට මේ දක්වා අවස්ථාවක් හිමිව නැත. මෙවරද මෙතෙක් සහභාගි වූ තරග‍දෙකේදීම පරාජයට පත්ව ජයග්‍රහණ පිපාසයකින් පෙළෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ තරග වදිනු ඇත්දැයි දැකගැනීමට ක්‍රීඩා ලෝලීහූ නොඉවසිල්ලෙන් පසුවෙති.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක සහ චාමික කරුණාරත්න

ඕස්ට්‍රේලියානු සංචිතය

පැට් කමින්ස් (නායක), ෂෝන් ඇබට්, මානස් ලැබුෂේන්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හෙසල්වුඩ්, ට්‍රැවීස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර් සහ ඇඩම් සම්පා


අදහස් (0)

දසුන් ගෙදර යද්දී කුසල් බර කරට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.