Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features අඳුරු වළාපට අතරින් නැඟිටිමු
ආසියානු කුසලාන

අඳුරු වළාපට අතරින් නැඟිටිමු

editorial - 2022 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අවසන් වරට (2018 වසරේදී) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලද අමිහිරි මතකයෙන් මිදී, යළිත් වරක් සිය කලාපයේ ආධිපත්‍ය තමන් සතුකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය. මේ දක්වා පැවැති සෑම ආසියානු කුසලාන තරගාවලියටම සහභාගි වූ ශ්‍රී ලංකාව, මෙවර ඊට එක් වන්නේ 15 වැනි වරටය. 

කොවිඩ් වසංගත හේතුවෙන් 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසර දක්වා කල් දැමුණ අතර පසුව එය මෙම වසර (2022) දක්වාද කල් ගියේය. ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4 කට පසුවය. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කළේද අවසන් මොහොතේදීය. 

වසර 1984 දී ආරම්භ වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දක්වා 14 වරක් පැවැත්වී ඇති අතර ඉන් තරගාවලි 7 කම (1984, 1988, 1990, 1995, 2010, 2016 සහ 2018) ශූරයන් බවට පත්ව ඇත්තේ ඉන්දියාවය. ශ්‍රී ලංකාව අවස්ථා 5 කදී (1986, 1997, 2004, 2008 සහ 2014) ද, පාකිස්ථානය අවස්ථා 2 කදී (2000 සහ 2012) ද ආසියානු කුසලානයට හිමිකම් කියා තිබේ. 

කෙසේ වුවත් එදා මෙදා තුර ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාවට අමිහිරිම අත්දැකීමට මුහුණදීමට සිදුවූයේ 2018 වසරේ අවසන් වරට පැවැති තරගාවලියේදීය. එම තරගාවලිය පැවැතියේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. එහිදී බලාපොරොත්තු නොවූ අයුරින් බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවතට විසිවිය. 

ආසියානු තරග බිමේදී ලද ශූරතා 5 ට අමතරව අනු ශූරතා 6 ක්ද හිමිකර ගෙන සිටි ශ්‍රී ලංකාවට එවර හිස් අතින් ආපසු සිය රට බලා ඒමට සිදුවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් වීමට පවා එම තරගාවලියේදී ලද පරාජය බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස්ට තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වය අහිමි විය. 

එවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් මෙවර තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුලත්ව සිටින්නේ නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පමණි. දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත මෙවර සංචිතයට එක්ව සිටියද විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. 

ඒ අනුව පසුගිය තරගාවලියේදී ලද අහිමිහිරි මතකය මකා දමමින් මෙටර ක්‍රීඩා ලෝලීන්ට සුන්දර මතකයක් ලබාදීම මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වගකීමක් බවට පත්ව තිබේ. ඊට හේතුව මෙවර තරගාවලියේ මූලික වටයේදීද ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය වීමය. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට නම් කෙසේ හෝ එම බාධක දෙක මැඩ පැවැත්වීමට සිදුවනු ඇත.  

සාමාන්‍යනේ ඕවර 50 ආකෘතියට අනුව පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය මෙවර විස්සයි-20 ආකෘතියට අනුව පැවැත්වෙන්නේ එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන්ට පෙර සූදානමක් ලබාදීමේ අරමුණෙනි. මින් පෙර 2016 වසරේදීද ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගාවලිය විස්සයි-20 ආකෘතියට අනුව පැවැත්විණ.

 


අදහස් (0)

අඳුරු වළාපට අතරින් නැඟිටිමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.