Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features 2016 - කොදෙව්වෝ එංගලන්තය අසරණ කරති
විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය

2016 - කොදෙව්වෝ එංගලන්තය අසරණ කරති

editorial - 2024 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි අදියර ජයගැනීමට සත්කාරක ඉන්දියාව සමත්වනු ඇතැයි බොහෝ විචාරකයන් මත පළ කළද, ඒවා පුස්සක් බවට පත්කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූයේ දෙවැනි වරටත් විස්සයි-20 ලෝක කිරුළ තමන් සතුකර ගනිමිනි. 

2014 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ ආකෘතියට අනුව පැවැති 2016 තරගාවලියද තරග 35 කින් සමන්විත වූ අතර බැංගලෝර්, ධර්ම්ශාලා, මොහාලි, කොල්කටා, මුම්බායි, නාග්පූර් සහ නවදිල්ලි යන නගරවලදී පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් එක්ව සිටියේය. 

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 10 න් මුල් රටවල් 8 ඍජුවම තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. එහි 9 වැනි සහ 10 වැනි කණ්ඩායම් වූ බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් පැමිණි ඇෆ්ඝනිස්ථානය, හොංකොං රාජ්‍යය, අයර්ලන්තය, නෙදර්ලන්තය, ඕමානය සහ ස්කොට්ලන්තය සමග මූලික වටයේදී තරග වැදීමට සිදුවිය. 

මූලික වටය අවසානයේ බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය සුපිරි 10 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත, දකුණු අප්‍රිකා, ශ්‍රී ලංකා සහ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම් පළමු කාණ්ඩය යටතේද, නවසීලන්තය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, පාකිස්තානය, සහ බංග්ලාදේශය දෙවැනි කාණ්ඩය යටතේද තරග බිමට අවතීර්ණ විය. 

එම කණ්ඩායම් අතරින් බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පළමු කාණ්ඩයෙන්ද, නවසීලන්තය සහ ඉන්දියාව දෙවැනි කාණ්ඩයෙන්ද අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී නවසීලන්තයට එරෙහිව කඩුලු 7 ක් ලබමින් එංගලන්තයද, ඉන්දියාවට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබමින් කොදෙව්වන්ද අවසන් මහ තරගයේ ස්ථාන වෙන්කරවා ගත්තේය. 

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ඩැරන් සැමීගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ලකුණු සංඛ්‍යාව පසුකර ගිය කොදෙව්වෝ දෙවැනි වරටත් විස්සයි-20 ලෝක ශූරතාව තමන් සතුකර ගැනීමට සමත් වූහ.

තරගය ජයගැනීම සඳහා බෙන් ස්ටෝක්ස් යැවූ අවසන් ඕවරයේදී කොදෙව්වන්ට ලකුණු 19 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරයේ පළමු පන්දු 4 ටම පිට පිට හයේ පහර 4 ක් එල්ල කාර්ලෝස් බ්‍රැත්වේට් කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. පන්දු 66 කින් ලකුණු 85 ක් රැස්කළ මාලන් සැමුවෙල්ස් අවසන් තරගයේ වීරයා බවට පත් විය. 

හිටපු ලෝක ශූරයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි 10 දෙනාගේ වටයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට සමත් විය. එහෙත් එහිදී බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි විය.  

(සටහන - ශානුක අරවින්ද) 


අදහස් (0)

2016 - කොදෙව්වෝ එංගලන්තය අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.