Last Update  :  2026-03-30 19:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features සූර්යවංශි වෙනුවෙන් කෝටි 10 ක් වෙන්කළ කාරණාව
අයි.පී.එල්. 2026

සූර්යවංශි වෙනුවෙන් කෝටි 10 ක් වෙන්කළ කාරණාව

editorial - 2026 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලියේ පුහුණුවීම් වලට සහභාගි වෙමින් සිටියදී, වෛභාව් සූර්යවංශි කළ විස්මිත පිතිහරඹය නිසා උද්දාමයට පත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා මෙන්ම උසස් දස්කම් අධ්‍යක්‍ෂ සුබින් බරූචා මහතා, මෙම විශ්වකර්මයා වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10 ක් වෙන්කළ යුතු යයි සහතික කර තිබේ. 

තවමත් යන්තම් 15 හැවිරිදි වියේ පසුවන (උපන් දිනය 2011 මාර්ත 27 - බිහාර් ප්‍රාන්තයේදී) වෛභාව් සූර්යවංශි රාජස්තාන් රෝයල්ස් පිල විසින් වෙන්කරගනු ලැබ ඇත්තේ ඉන්දීය රුපියල් මිලියන 11 ක් වෙන්කරමිනි. එය ඉන්දීය රුපියල් වලින් නම් කෝටි 1.1 කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3.66 ක් හෙවත් රුපියල් මිලියන 36 කි. එහෙත් මෙය රුපියල් සත වල කතාවක් නොවේ. වෛභාව් සූර්යවංශි නම් ගැටයා, ක්‍රිකට් පිටියට ගෙනන නවතම බලවේගයක් පිළිබඳ කතාවකි. 

තවමත් ගැටවර වියේ පසුවන නමුත් සූර්යවංශි පන්දුවට පහරදීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) විස්මිත බව සියලු දෙනාම දනිති. පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියානුවන් ඕවර 50 කින් ලකුණු 411 ක් ලබාගත්තේ සූර්වංශි පන්දු 80 කින් ලබාගත් ලකුණු 175 නිසාය. වෛභාව් සූර්යවංශි මුහුණ දුන් පන්දු 80 න් පන්දු 15 ක් හයේ පහර වූ අතර තවත් පන්දු 15 ක් හතරේ පහර විය. වෙනත් ආකාරයකින් කියැවෙන්නේ ඔහු පන්දු 30 කින් ලකුණු 150 ක් ලබාගත් බවයි. 

සූර්යවංශි මේ දස්කම කළේ ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයේදී වූවත් ඔහු එය කළේ 19 න් පහළ පන්දු යවන්නන් හමුවේදීය. 19 න් පහළ පන්දු යවන්නන් සහ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන වෘත්තීමය පන්දු යවන්නන් අතර ඇත්තේ පියවිය නොහැකි පරතරයකි. 

රාජස්තාන් පිලේ ප්‍රධාන පුහුණුකරු සුබින් බරූචාට සූර්යවංශි හමුවන්නේ 13 හැවිරිදි කුඩා කොල්ලෙකුව සිටියදීය. ඒ මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ තෙලගන් හි පිහිටි රාජස්තාන් පුහුණු ඇකඩමියේදීය. 1989 දී ඉන්දීය පිලේ කළමණාකරු ලෙසින් සිටි අජිත් වඩේකාර් මහතා, ඒ වන විට 16 හැවිරිදි වියේ සිටි සචින් තෙන්ඩුල්කාර්ව කපිල් දේව් සහ මදන් ලාල් හමුවට යැවූ ආකාරයත් බරූචාට මතක තිබිණ. 

තරග තත්ත්වයක් මනසේ මවාගත් බරූචා, කර්ණාටක ප්‍රාන්තය වෙනුවෙන් වමතින් වේග පන්දු යවන්නාට පන්දුව බාර කළේය. ඔහුගේ මුල්ම පන්දුව තරමක් දඩබ්බර එකකි. 

“දකුණත් පිතිකරුවා වෙත යැවුණු පන්දුව ටිකක් ඉහළ ගිය එකක්. එයා අඩියක් පස්සට අරන් ඒකට මුහුණ දුන්නා”
“මම හිතන් හිටියේ මේ හාදයා (සූර්යවංශි) පන්දුවට පහර දෙන අවස්ථාව ආවම පන්දුව එයාගේ පිට ඉන්නට එපිටින්, පිත්තේ ගෑවි නොගෑවී, කඩුලු රකින්නා අතට යාවි කියලයි... ඒත් එහෙම වුණේ නෑ” 

“මේ වමත්කාරයා, තමන් මුහුණ දුන්න පළමු පන්දුවටම, එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් යන විදිහට හයේ එකක් ගැහැව්වා”

ක්‍රික් ඉන්ෆෝ මාසික සඟරාව සමග පැවැති සාකච්ඡාවකදී සුබින් බරූචා කියා තිබිණ. 

බරූචා අන්ද මන්ද වී ගියේය. යසස්වී ජයිස්වාල් සහ සංජු සැම්සන් වැනි නම්දැරූ පිතිකරුවෝත්, තමන්ගේ මුල්ම පරීක්‍ෂණයේදී පන්දුවට මුහුණ දුන් ආකාරය බරූචාට සිහිපත් විය. 

සයස්වී ජයිස්වාල් එයා මුහුණ දුන්න පළමු පන්දුවටම ඉදිරියට ඇවිල්ලා ෂෝට් ෆයින් ලෙග් කලාපය හරහා යන විදිහට ‘ෆ්ලික්’ පහරක් ගැසුවේය. සංජු සැම්සන් යනු ජයිස්වාල්ට වඩා තරමක දඩබ්බරයෙකි. ඔහුට පළමු පන්දුව යවන ලද්දේ අමිත් සිං විසිනි. අමිත් සිං යැවූ බවුන්සර් පන්දුව, සංජු සැම්සන් විසින් අසළ තිබුණු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ වහලය මතට යැවීය. 
එහෙත් මේ පුංචි කොලුවා... සූර්යවංශි නම් වෙනස්ම ආකාරයේ එකෙකි. 

“මට මගේම ඇස් අදහාගන්න බැරි වුණා.”

“මට හිතුණේ එක දෙයයි. මම මොනවද මේ දකින්නේ කියලා විතරයි” 
බරූචා පැවසීය. 

මේ සිදුවීම් දෙකම සිහියට නැඟුණත් සූර්යවංශි තවදුරටත් පරීක්‍ෂා කිරීමට බරූචා සිතාගත්තේය. පැයට කිලෝමීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන වමත්කාරයෝ රාජස්තාන් පුහුණු ඇකඩමියේ සිටිති. ඔවුන් අතුරින් දෙදෙනකු කැඳවූ බරූචා, සූර්යවංශි වෙත පන්දු යවන්න’යි කියන අතරේම පන්දුවේ වේගය සම්බන්ධයෙන් සූර්යවංශිට අනතුරු ඇඟවූයේය. 
එහෙත් සූර්යවංශි පන්දුවට පහර දුන්නේ පන්දුවේ වේගය හෝ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමිනි. 

“මේ වමත්කාරයන්ට පුළුවන් පැයට කිලෝ මීටර 157 ක - 158 ක විතර වේගයෙන් පන්දු යවන්න. ඔවුන්ගෙන්න එක්කෙනෙක් අඩි 6 අඟල් 4 ක් උසයි. එතකොට පන්දුව එන්නේ කොයිතරම් උසකින්ද කියලා හිතාගන්න පුළුවන්නේ...” බරූචා පැවසීය. 
“පරීක්‍ෂණය අවසන් වුණාට පස්සේ මම හැම කෙනාවම එළියට යැව්වේ ඔවුන් අපහසුතාවට පත් නොවන විදිහටයි. ඊට පස්සේ මම වෛභාව්ට කතා කළා. 

“මම එයාලට අලුත් පන්දුවක් දුන්නා. ඔයාට පුළුවන් තරම් ආක්‍රමණශීලී විදිහට ඔවුන්ට පහර දෙන්න. හැබැයි එයාලා ඉතාම වේගයෙන් පන්දු එවාවි” මම වෛභාව්ට කිව්වා. 

“හරි සර්... කිසි ප්‍රශ්නයක් නෑ..” වෛභාව් කිව්වේ එච්චරයි

“පළමු පන්දු කිහිපය නිදැල්ලේ යන්න හැරියා. ඒවා නිදැල්ලේ යන්න හැරියේ පහර දෙන්න තරම් වේගයක් ඒවායේ නොතිබුණ නිසා කියලත් මට හිතුණා... කඩුලු රකින්නා හිටියේ යාර 30 ක් විතර පිටිපස්සේ...”

ඉන් පසුව දිස්වූයේ පුහුණුකරු බරූචාට අදහාගත නොහැකි සිදුවීම් මාලාවකි. මේ වමත් පිතිකරුවා ඉහළම තලයේ ක්‍රීඩාවට සුදුසුකම් ලබා ඇතැයි බරූචාට සිතිණ. 

“එක්කෙනෙක් පන්දුව ගෙනල්ලා ඉතාම වේගයෙන් තණතීරුව මැද්දේ ගැහැව්වා. ඒත් දර්ශන තිරයට ඉහළින් යන විදිහට වෛභාව් ඒකට ‘ස්ටේ්‍රට් ඩ්‍රයිව්’ පහරක් ගැහැව්වා. මම ඒ වෙලාවෙම පන්දුවේ වේගය ඉල්ලා සිටියාම ලබුණ උත්තරය තමයි පැයට කිලෝ මීටර 157 ක් කියන එක”

“මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමේ. ඉතාම විශිෂ්ට පිතිකරුවන්ට වුණත් මෙවැනි දේ අපහසුයි. මේක අදහාගන්න බැරි තත්ත්වයක්” යයි 56 හැවිරිදි සුබින් බරූචා පැවසීය. 

පසුව බරූචා රාජස්තාන් රෝයල්ස් හිමිකරුවන්ට කීවේ තමන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන යශස්වී ජයිස්වාල් වගේ දෙගුණයක් සූර්යවංශි වටිනා බවයි. 

“ජයිස්වාල් වගේ දෙගුණයක් සූර්යවංශි වටිනවා”

“ඔබ ඉදිරියේ තියෙන්නේ විශ්වාස කරන්න තරම් බැරි දෙයක්. එයා අපේ දොර ඉස්සරහට ඇවිල්ලා කියන එකත් විශ්වාස කරන්න බෑ.. ඒ හින්දා මේ අවස්ථාව අතහරින්න එපා” කියලා මම රාජස්තාන් හිමිකරුවන්ට කිව්වා යයි සුබින් බරූචා ක්‍රික් ඉන්ෆෝ සඟරාවට පැවසීය. 

වසර 2025 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් රාජස්තාන් පිල විසින් ඉන්දීය රුපියල් මිලියන 11 කට සුර්යවංශී මිලදී ගන්නා ලදි. ඒ වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් පිලත් සමගින් සියුම් සටනක නිරත වූ නමුත් අවසානයේදී රාජස්තාන් පිල සූර්යවංශි අයිතිකර ගත්තේය. 

එය ඉතාමත් ප්‍රතිඵල දායක විය. වෛභාව් සූර්යවංශි ද තමන් කෙරේ තැබූ විශ්වාසය අකුරටම රැක්කේය. 

සූර්යවංශි අයි.පී.එල්. තරගාවලියට අවතීර්ණ වූයේ ශර්දුල් ඨාකූර්ගේ පළමු පන්දුවටම ගැසූ දැවැන්ත හයේ පහරකිනි. 
2025 තරගාවලියේදී රාජස්තාන් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ඉනිම 7 කදී ලකුණු 252 ක් ලබාගත් සූර්යවංශිගේ ඉනිමක සාමාන්‍යය 36.00 කි. පන්දුවට පහර දීමේ ප්‍රවේගයය 206.55 කි. ගුජරාට් ටයිටන්ස් පිල හමුවේ ප්‍රචණ්ඩකාරී ශතකයක් ලබාගත් සූර්යවංශි අයි.පී,එල්. ඉතිහාසයේ ශතකයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා ලෙසින් ද වාර්තා පොතට ඇතුළත් විය. 
--------------------------------------------------------
‘ක්‍රික් ඉන්ෆෝ’ මාසික සඟරාව සහ තවත් අන්තර්ජාතික වාර්තා ඇසුරිනි
ඡායාරූපය - අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි

--------------------------------------------------------


අදහස් (0)

සූර්යවංශි වෙනුවෙන් කෝටි 10 ක් වෙන්කළ කාරණාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.