Last Update  :  2026-05-15 11:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩී.එස්. සේනානායක - මහානාම මහ තරගය ජය පැරදුමෙන් තොරයි
20 වැනි රන් සටන

ඩී.එස්. සේනානායක - මහානාම මහ තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2026 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ  මහානාම විද්‍යාලය අතර  පැවැති 20 වැනි “රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත්  ජය පැරදුමෙන් තොරව අවසන් විය. දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ දෙවැනි වතාවට තෙදින තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී දෙපිලම ලකුණු 300 සීමාව ඉක්මවීම විශේෂයෙන් කැපී පෙනිනි.

මෙම තරගය පසුගිය සති අන්තයේදී කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය හිමිකරගත් කොළඹ මහානාම විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය තම  පළමු ඉනිම වෙනුවෙන් ඕවර 119කදී ලකුණු 344ක් රැස් කළේය. එහිදී අගනා පිතිහරඹයක නිරතවූ 14 හැවිරිදි ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර පන්දු 156 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 100 ක් රැස් කළේය.  පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක චාමික හීනටිගල ලකුණු 100කට කඩුලු 6ක් දවාලීය.

කොළඹ මහානාම විද්‍යාලය ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිම වෙනුවෙන් ඕවර 87.4කදී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 387ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරතවුණු නායක දුල්නිත් සිගේරා පන්දු 209 කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 189ක් රැස් කළේය. දුල්නිත් සිගේරා සහ සිනෙත් වීරරත්න ආරම්භක පිතිකරුවන් ලෙස තම වගකීම ඉටුකරමින් තම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 192 ක සම්බන්ධතාවයක් පැවැත්වීම විශේෂයෙන් කැපී පෙනිනි.

පන්දු 135කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 91ක් රැස්කළ සිනෙත් වීරරත්න, චාමික හීනටිගල (30) සහ සනුල් වීරරත්න (28) මහානාම පළමු ඉනිම ගොඩනැංවීමට දායකවූහ.

තරගය නතර කරන විට කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 54ක් රැස් කර තිබිණ.

මහානාම විද්‍යාලය මෙම මහා තරගයේදී වැඩි බලාපොරොත්තු සහිතව තරගයට පිවිසුණු අතර, තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. මහා ක්‍රිකට් තරගය අවසන් වරට ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයට කුසලානය හිමිවිය.

දුල්නිත් සිගේරා (මහානාම විදුහල) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර, මියුරු බණ්ඩාර (ඩී.එස්. සේනානායක විදුහල) තරගයේ  දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය. චාමික හීනටිගල (මහානාම විදුහල)  දක්ෂතම පන්දු යවන්නා ලෙසත් තවිරු පෙරේරා (මහානාම විදුහල) දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ.

 

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම 344 යි
(මියුරු බණ්ඩාර 100, රන්දිෂ බණ්ඩාරනායක 48, චනුල් අතලේ 47, ෂෙවාන් වෙල්ගම 37, සිත්රු ගුණරත්න 26, ජනිඳු රණසිංහ 24, ෂනාල් බිනුක්ෂ 23, චාමික හීනටිගල 100/6)

කොළඹ මහානාම විද්‍යාලය: පළමු ඉනිම - කඩුලු 9 ට 387 යි
දුල්නිත් සිගේරා  189, සිනෙත් වීරරත්න 91, චාමික හීනටිගල 30, සනුල් වීරරත්න 28, ඕෂධ පෙරේරා 3/63, රන්දිෂ බණ්ඩාරනායක 45/2, හාමිඩ් අෆ්ඩාල් 79/2

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම -  කඩුලු 1 ට 54 යි
(ෂෙවාන් වෙල්ගම නොදැවී 25 )

 

මියුරු බණ්ඩාර  - කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය

 

චාමික හීනටිගල - කොළඹ මහානාම විද්‍යාලය

 

දුල්නිත් සිගේරා - කොළඹ මහානාම විද්‍යාලය


අදහස් (0)

ඩී.එස්. සේනානායක - මහානාම මහ තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.