Last Update  :  2025-11-23 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ක්‍රීඩකයන් ඕනතරම් ඉන්නවාද ? ඇත්තේම නැත...!

ක්‍රීඩකයන් ඕනතරම් ඉන්නවාද ? ඇත්තේම නැත...!

editorial - 2025 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රාවල්පිණ්ඩි නුවරදී සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් පරාජය වීමත් සමගින්, පසුගිය සැප්තැම්බරයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට සහභාගි වූ විස්සයි-20 තරග 5 කින් දිනුමක් නැත. පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරග තුනක් ඇතුළත් කළ කල්හි ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට සහභාගි වූ සීමිත ඕවර තරග 8 කින් දිනුමක් නැත. 

සෙනසුරාදා තරගය නිමාවේදී විස්සයි-20 නායක දසුන් ශානක කීවේ මෙවන් කතාවකි. 
“අපි මේ වගේ ක්‍රිකට් ගහන්න ඕන කණ්ඩායමක් නෙමේ. අපි මීට වඩා හොඳ කණ්ඩායමක්. අපිට අද හරිම කණගාටුවක් දැනෙනවා වුණත්, (තරගාවලියේ) ඉතිරි තරග දෙක ගැන බලාපොරොත්තු සහගතව ඉන්නවා” යයි කී දසුන් ශානක...

“එතන කිසි අරමුණක් තිබුණේ නෑ... අපේ කඩුලු එක පොකුරට වැටුණා.... අපි මෙහාට (රාවල්පිණ්ඩි නුවරට) ආව දා ඉඳලාම මේ තණතීරු මත අපේ පිතිහරඹයේ රිද්මය ලබාගන්න අපට අපහසු වුණා... අපි ඒ වෙනුවෙන් තව ටිකක් වෙහෙසිලා කටයුතු කළ යුතුයි..... ඒ කොහොම වුණත් අපි මීට වඩා හොඳ කණ්ඩායමක් කියලා නම් මට විශ්වාසයි” යයි ද තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදි කීවේය. 

මේ ‘අරමුණක් නැති’ කතාව එහෙම පිටින්ම, සිම්බාබ්වේ තරගය නිමාවීමෙන් පසුවත් දසුන් කීවේය. එසේ නම් නායකයකු වශයෙන් ඔහු සතු වගකීම කු-මක්ද ? හිසරදයට කොට්ට මාරු කරන්නාක් මෙන් ක්‍රීඩකයන් මාරු කිරීමද ?
අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම රාවල්පිණ්ඩි නුවරට ගියේ නොවැම්බර් 9 වැනිදාය. දැන් සති දෙකක් ගතවීත් පිතිකරුවන්ට සොයාගත නොහැකිවන පරිදි රිද්මය කොහේ ගියේද ?
ශ්‍රී ලංකාවේ වර්තමාන සීමිත ඕවර කණ්ඩායම් දෙකම, අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙදී වල්මත්වී ඇති බව නම් පැහැදිළිවම පෙනෙන්නට තිබේ. ඊට විසඳුම නායකයා මාරු කිරීම යයි සිතූ නිසා චරිත් අසලංකව අසනීප කර නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් නමුත් එයින් ප්‍රශ්නයට විසඳුම ලැබුණේ නැත. 

(තමන්ට ඕන කෙනා ඇතුළට ගැනීම සඳහා කණ්ඩායමේ සිටින අයෙක් අසනීප ගැන්වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ පිළිබඳ අතීත සිදුවීම් ද තිබේ)

චරිත් අසලංක අසනීප යයි කියූ තුන්වැනි එක්දින තරගයේදී (නොවැම්බර් 16 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ කුසල් මෙන්ඩිස් විස්සයි-20 කණ්ඩායමේත් සිටී. ඇරත් ඔහු විස්සයි-20 කණ්ඩායමේත් නායකත්වය දරා ඇති ක්‍රීඩකයෙකි. එසේ වුවත් විස්සයි-20 තුන්කොන් තරගාවලියේදී නායකත්වය හිමිවූයේ කුසල් මෙන්ඩිස්ට නොව දසුන් ශානකටය.
 
කණ්ඩායමේ 11 දෙනා ඇතුළත තමන්ගේ ස්ථානයවත් සොයාගත නොහැකි අයකුට නායකත්වය ලැබීම ගැන නම් ඇත්තේ කුකුසකි. මේ ගැන විමසා පලක් නැත්තේ එවන් විමසීම් වලට ලැබෙන හිස් ප්‍රලාප ලිවීමට පුවත් පතක ඉඩ නැති බැවිනි. 

බොහෝ විට පැවසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතර ලණුවට උඩින් පාරක් ගැසීමට ඉන්නේ දසුන් ශානක බවයි. එසේ නම් මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන්වූ ප්‍රහාරාත්මක පිතිහරඹ උපදේශක ජූලියන් වුඩ් මහතා මෙතෙක් කලක් කළේ මොනවාද ? ඇරත් ජාතික කණ්ඩායමක නායකයකු වීම සඳහා මූලික සුදුසුකම විය යුත්තේ ලණුවට උඩින් ගැසීමේ හැකියාව පමණක් ද ?

මේ සම්බන්ධයෙන් දොෂාරෝපණය එල්ල වන්නේ ක්‍රිකට් තේරීම් කමිටුවට වුවත්, තේරීම් කමිටුව පීඩනයට ලක්වී ඇති බව නම් රහසක් නොවේ. එක පැත්තකින් පීඩනය වැඩි කෙරෙන විට අනෙක් පැත්තේ ඇති හිස් බව නිසා තේරීම් කමිටුවත් එක අන්තයකට තල්ලු වීම වැළැක්විය නොහැක්කකි. සැබෑව නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුසු අයකු පෙනෙන තෙක් මානයේ නැති වීමයි. 
 
2025 වසර පුරාම විස්සයි-20 තරග 14 කට සහභාගි වූ දසුන් ශානක ඒවායේදී ලබාගෙන ඇත්තේ ලකුනු 201 කි. ඔහුගේ එකම අර්ධ ශතකය ලෙසින් වාර්තා වන්නේ ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ ලබාගත් ලකුණු 64 වුවත් ඒ තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූයේ පරාජයම මිස අනෙකක් නොවේ. 

විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පැතුම් නිස්සංක 3 වැනියාය. කුසල් ජනිත් පෙරේරා 7 වැනියාය. විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ වනිඳු හසරංග 4 වැනියාය. නුවන් තුෂාර 6 වැනියාය. ඒත් එක දිගට විස්සයි-20 තරග 5 කින් ශ්‍රී ලංකා කණ්ඩායමට දිනුමක් නැත. 

ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ යන සෑම අවස්ථාවකදීම එක් එක් ක්‍රීඩකයන් උඩ දමමින් හුරේ දැම්මාට ඒවායින් කණ්ඩායමක් ජයග්‍රහණය කරා තල්ලුකරගෙන යා නොහැකිය. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ සැබෑ කැපවීමක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි. 

කණ්ඩායම අසාර්ථක වන අවස්ථාවලදී පුහුණුකරුවාට හෝ කළමණාකරුට නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට හෝ ප්‍රධාන විධායක නිලධාරියාට, එසේත් නැතහොත් තේරීම් කමිටු සභාපතිවරයාට බැණ වැදීමෙන් ඵළක් නැත. මක්නිසාද යත් ඔවුන් කිසිවකුට පිටිය මැදට ගිහින් පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම කළ නොහැකි බැවිනි. 
තරගයට මුහුණ දීම ක්‍රීඩකයන් සතු කාර්යයකි. 

ශ්‍රී ලංකාවේ සිටින සියලුම ආකාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් උපරිම සැප සම්පත්, දිරි දීමනා මෙන්ම පාරිතෝෂික ලබන්නෝ ක්‍රිකට් ක්‍රීඩකයෝම වෙති. එහෙත් ඔවුන්ගෙන් කිසිවෙක් සිය රැකියාව හරියට නොකරයි. ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව දිනවීම ඔවුන්ගේ කාර්යභාරය හෙවත් රැකියාවයි. ඔවුන්ට වෘත්තීය ක්‍රීඩකයන් කියන්නේ එබැවිනි. 

“ක්‍රීඩකයන් ඕනතරම් ඉන්නවා” යන්න ප්‍රලාපයකි. 

ඔබ නගරාන්තර සීඝ්‍රගාමී බසයකට ගොඩවන්නට යන්නේ නම් කොන්දොස්තර මහතාද “නගින්න ෟ, නගින්න ෳ, සීට් තියෙනවා..., සීට් තියෙනවා....” යයි කියනු ඇත. එහෙත් අපේක්‍ෂා කළ පරිදි ඔබට අසුන්ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කොන්දොස්තර මහතා බොරුවක් කියලාත් නැත. 

ඇත්ත ඇති හැටියේ කියන්නේ නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩකයන් ඕන තරම් සිටින නමුත් තනි අතින් තරගයක් ජයග්‍රහණය කරා ගෙන යාහැකි මට්ටමේ හරි හමන් ක්‍රීඩකයන් නැති බවයි. 

තරගයක් දිනවීමට නම් සෙනසුරාදා තරගයේදී සහිබඩ්සා ෆර්හාන් (පන්දු 45 කින් ලකුණු 80 ක්) නැතිනම් මොහොමඩ් නවාස් (පන්දු 6 කින් කඩුලු 3 ක්) ආකාරයේ දස්කම් දක්වමින් තනි අතින් තරගයක් වෙනස් කිරීමේ හැකියාවන් සහිත ක්‍රීඩකයන් අවශ්‍ය වේ. 


අදහස් (0)

ක්‍රීඩකයන් ඕනතරම් ඉන්නවාද ? ඇත්තේම නැත...!

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.