Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම නම කියැවෙන චමරි අතපත්තු වසර 15 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳු නාරටිය වූවාය. එක්දින තරග 115 කදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 9 ක් සමගින් ලකුණු 3877 ක් (වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව) ලබා සිටින වමත් ආරම්භක පිතිකාරිණිය මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ වඩාත් සැහැල්ලු සිතිනි. ඊට ප්‍රධානතම හේතුව පිතිකරු ලයිස්තුවේදී ඇයට පසුපසින් පැමිණෙන තරුණ ක්‍රීඩිකාවන් වන විශ්මි ගුණරත්න, නිලක්‍ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම සහ අනුෂ්කා සංජීවනී වැනි ක්‍රීඩිකාවන් බලාපොරොත්තු තැබිය හැකි පිතිකාරිණියන් වීමයි.
මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නායිකාවන්, තරගාවලියට පොරතුව කොළඹදී සහ බෙංගලූරු නුවරදී මාධ්‍ය නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී චමරි අතපත්තු කියා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට වඩාත් සැහැල්ලුවෙන් ක්‍රීඩා කළ හැකි බවයි.
“වෙනදා වඩා සැහැල්ලුවෙන් මට ක්‍රීඩා කරන්න පුළුවන්. මොකද මාත් එක්ක ඉන්න තරුණ ක්‍රීඩිකාවන් දැන් වඩාත් හොඳින් සෙල්ලම් කරනවා”
“ඒ හින්දා මට පුළුවන් මගේ පුරුදු ක්‍රීඩාවටම පිවිසෙන්න. ඒ කියන්නේ මුල් ඕවර කීපයේදී ආක්‍රමණශීලී පිතිහරඹයට ගිහිල්ලා, ඊට පස්සේ (දිගු ඉනිමකින්) ප්‍රතිවාදීන්ට උපරිම හානියක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව” යයි කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේදී සහ ඉන්දියාවේ බෙංගලූරු නුවරදී එකම වේලාවට ආරම්භ වූ නායිකාවන්ගේ කතා බහේදී ශ්‍රී ලංකා නායිකාව ප්‍රකාශ කළාය.
එක්දින අන්තර්ජාතික තරග වලදී කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ පසුවෙයි. සාමාන්‍ය වශයෙන් ගත් කල්හි ඕස්ටේ්‍රලියාව (1), එංගලන්තය (2), ඉන්දියාව (3) සහ නවසීලන්තය (4) කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතරකි. දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පස්වැනි ස්ථානයේ සිටිති. එහෙත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාම මෑතකදී හොඳ දස්කම් දැක්වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් තේරීමේ තරගාවලියට නොයා, ශ්‍රේණිගත කිරීම් අනුවම, 2025 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික ක්‍රීඩා ක්ෂේ්‍රතයේ වේගවත් නැඟීමක් පෙන්නුම් කරන ක්‍රීඩාවකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවද ඒ වෙනුවෙන් දැවැන්ත ආයෝජන කරන අතර ඔවුන්ගේ අරමුණ තවත් වසර කිහිපයකින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන එමින් එහි වාණිජ වටිනාකම් ද ඉහළ දැමීමයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල 2022 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිවූ මුදල මෙන් තුන් ගුණයකටත් වැඩිය. 2022 ලෝක ශූරියන් වූ ඇලිසා හීලිගේ (ඕස්ටේ්‍රලියානු කඩුලු රකින්නා වූ ඉයන් හීලිගේ දියණිය) ඕස්ටේ්‍රලියානු පිලට හිමිවූ ත්‍යාගය ඇමරිකානු ඩොලර් මිලියන 1.32 කි. එහෙත් 2025 ලෝක කුසලාන ජයග්‍රාහිකාවන්ට හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.48 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 135 ඉක්මවන්නකි.
“මේ තරගාවලියේදි අපිට ලොකු හීන නෑ.. ඒත් අපි අපේ තරග 7 න් තරග 5 ක් සෙල්ලම් කරන්නේ අපේම මව්බිමේ, අපේම ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ. ඒ හින්දා මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට එන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. මොකද අපි කවදාවත් ලෝක කුසලාන තරගාවලියක එච්චර දුරක් ගිහින් නෑ” යයි චමරි අතපත්තු වැඩිදුරටත් කීවාය.
“දඹුල්ලේදී පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේදීත් අපට ප්‍රේක්‍ෂකයන්ගේ සහයෝගය ගොඩාක් ලැබුණා. මේ (ලෝක කුසලාන) තරගාවලියේද් ඒ සහයෝගය ඒ විදිහටම ලැබෙයි කියලා මා හිතනවා. මම බලාපොරොත්තු වෙනවා” යයි කී ශ්‍රී ලංකා නායිකාව....
“අපි එක වෙලාවකදි හිතන්නේ ඒ වෙලාවේ අපි ඉදිරියේ තියෙන තරගය ගැන විතරයි. වැඩිදුර ඉදිරිය ගැන හිතන්න ගිහිල්ලා අපි අපිටම පීඩනය දාගන්නේ නෑ... එකම දේ අපි අපට හුරු පුරුදු ක්‍රීඩාව කරනවා... අපේ අරමුණ ඒකයි” යයි ද පැවසුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පෙරහුරු තරගය හෙට (27 වැනිදා) බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ලබන අඟහරුවාදා (30 වැනිදා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී තරග වදිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.