Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කමිඳුගේ ග්‍රීන්ස්ලා කුසලානය දිනති
විස්සයි-20 ලීගය

කමිඳුගේ ග්‍රීන්ස්ලා කුසලානය දිනති

editorial - 2025 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි-20 ලීග් තරගාවලියේ ශූරතාව කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (16 වැනිදා) පැවැති අවසන් තරගයේදී එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) පිල විසින් චරිත් අසලංක නායකත්වය දැරූ එස්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කරන ලදි. 

ලකුණු 190 ක ඉලක්කයක් කරා ගිය එස්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායමට ඕවර 20 ක් අවසන ලබාගත හැකිවූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 166 කි. 

ග්‍රේස් පිලේ ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල (50) සහ දිනේෂ් චන්දිමාල් (36) දෙදෙනා එක්ව ඕවර 6 කින් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඔවුන් දෙදෙනා දැවී යාමත් සමගින් සෙසු පිතිකරුවෝ වල්මත් වූහ. ජයග්‍රහණය සඳහා ඉනිම අග්ගිස්සේ ඕවර 4 න් ලකුණු 51 ක් ග්‍රේස් පිලට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 27 ක් පමණි. අවසන් ඕවර 4 දී චාමික කරුණාරත්නගේ ඕවරයෙන් ලකුණු 15 ක් උදුරාගත් නමුත් කමිඳු මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ග්‍රේස් පිතිකරුවන් මැනවින් පාලනය කරගත්හ. 

හදිසියේම ලකුණු අතරට පැමිණි කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 77 නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 කට ලකුණු 189 ක් ලබාගත්හ. කුසල් මෙන්ඩිස්, මෙම තරගාවලියේදී මූලික වටයේ තරග දෙකකදීම ලබාගත්තේ ලකුණු 8 ක් පමණි. එහෙත් අද දිනයේ පන්දු 47 කින් ලකුණු 77 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය. මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 163.82 කි. 

කාසියේ වාසිය දිනාගත් එස්.එල්.සී. ග්‍රේස් (අළු) නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහි වාසිය ඉක්මනින්ම ලබාගත් නායකයා, ලකුණු අතර සිටින පිතිකරු කමිල් මිෂාරව දුවද්දී දවාගන්නා විට ලකුණු පුවරුවට එක්වී තිබුණේ එකම ලකුණක් පමණි. එහෙත් එතැන් සිට පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගත් කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්‍ෂ එක්ව ඕවර 7 ක් ඇතුළත ලකුණු 56 ක් පුවරුවට එකතු කළහ. 

භානුක ලකුණු 18 කට දැවී ගියද ග්‍රේස් පන්දු යවන්නන්ට සහනයක් නොලැබිණ. අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණි සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 47 ක් ලබාගත්තේ පන්දු 29 කින් 7 ක්ම හතරේ සීමාවෙන් එපිටට යවමිනි. බිනුර ප්‍රනාන්දු හමුවේ සධීර එක හතරේ පහරක් ගැසුවේ කඩුල්ලෙන් පිටුපසට ගමන් කරමිනි. 

කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව එක්වූ නායක කමිඳු මෙන්ඩිස්ට සහ සධීර සමරවික්‍රම දෙදෙනා පන්දු 35 කින් ලකුණු 77 ක් එකතු කරමින් ග්‍රීන්ස් (හරිත) කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 189 ක් දක්වා ඉහළ දැමූහ. සධීරගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 168.96 ක් ලෙසින් ද කමිඳුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 182.60 ක් ලෙසින් ද සටහන් විය. 

ඉනිම අග්ගිස්සේ අවසන් ඕවර හතරේදී ග්‍රීන්ස් පිලේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 18, 21, 6 සහ 15 ක් ලෙසිනි. ඒවායින් 18 වැනි ඕවරය යැවූ එෂාන් මාලිංගගේ පන්දු 6 න් 5 ක්ම හතරේ සීමාවෙන් එපිටට යැවීමට සධීර සමරවික්‍රම (4) සහ කමිඳු මෙන්ඩිස් (1) සමත් වූහ. 


එස්.එල්.සී. ග්‍රීන්ස් (හරිත) - ඕවර 20 කදී කඩුලු 4 ට 189 යි
(කුසල් මෙන්ඩිස් 77, භානුක රාජපක්‍ෂ 18, සධීර සමරවික්‍රම නොදැවී 49, කමිඳු මෙන්ඩිස් නොදැවී 42, විජයකාන්ත් වියස්කාන්ත් 45/2)


එස්.එල්.සී. ග්‍රේස් (අළු) - ඕවර 20 කදී කඩුලු 8 ට 166 යි
(දිනේෂ චන්දිමාල් 36, නිරෝෂන් දික්වැල්ල 50, නුවනිඳු ප්‍රනාන්දු 13, චරිත් අසලංක 21, රමේෂ් මෙන්ඩිස් 14, දුෂ්මන්ත චමීර 26/2, කමිඳු මෙන්ඩිස් 25/2, චාමික කරුණාරත්න 24/3)

 


අදහස් (0)

කමිඳුගේ ග්‍රීන්ස්ලා කුසලානය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.