Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මට කිව්වා නම් මාත් කරනවා

මට කිව්වා නම් මාත් කරනවා

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේප් ටවුන් ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැඩියෙන් දඬුවම් ලැබුවේ ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනා වුවත් පන්දුව පළුදු කළේ කැමරන් බැන්ක්‍රොෆ්ට්ය. ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනාටම වසරකට ක්‍රිකට් තහනම් කර ඇතත් බැන්ක්‍රොෆ්ට පැනවූ තහනම මාස 9 ක තහනමක් පමණි.


ඇත්තටම බැන්ක්‍රොෆ්ට සිදු වූයේ කුමක්ද ?

ඕස්ට්‍රේලියානු පිලේ වත්මන් පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා ඒ ගැන පැහැදිළි වැටහීමක් ඇතිව සිටී. එය ජ්‍යෙෂ්ඨත්වයට අවනත වීම විනා අනෙකක් නොවේ. ලැන්ගර් මහතා කියන්නේ තමන්ගේ ක්‍රීඩාව ආරම්භ කළ සමයේදී තමන්ට එවැනි උපදෙසක් ලැබුණේ නම් තමන් වුව එවැනි දෙයක් කිරීමට පෙළඹෙන බවයි.

තමන්ගේ කාලයේදී නායකයාව සිටි ඇලන් බෝඩර් හෝ කණ්ඩායමේ කළමණාකරුවා වශයෙන් කටයුතු කළ බොබ් සිම්සන් මහතාගෙන් කිසිදා එවැන්නක් අපේක්‍ෂා කළ නොහැකි බවද වෙනස ඇත්තේ එතැන බවද ඕස්ටේ්‍රලියානු පිලේ නව පුහුණුකරුවා පැවසීය.

“ඇලන් බෝඩර් මට කිව්වා නම් මාත් පන්දුවේ ස්වභාවය වෙනස් කරන්න තිබුණා” යයි ලැන්ගර් මහතා ඕස්ට්‍රේලියාවේ චැනල් නයින් සේවයට පවසා සිටියේය.

“මාත් එහෙම කරන්න තිබුණා. මොකද නොකර ඉන්න මම බය නිසා...ඒත් වෙනස මේකයි”
“ඇලන් බෝඩර් කිසිදිනෙක එවැනි දෙයක් කියන්නේ නෑ. අනෙක මම එහෙම කළා නම් බොබී සිම්ප්සන් මාව මරලා දමාවි...ක්‍රීඩාව අපකීර්තියට පත්කරන ඕනෑම කෙනෙක්ව තුරන් කරලා දාන්න එයා පසුබට වෙන්නේ නෑ” යයි කී ජස්ටින් ලැනගර් මහතා....

“මට අදහාගන්න බැරි දේ තමයි....ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඇතුළේ එවැනි දෙයක් කළයුතු තත්ත්වයට කැමරන් බැන්ක්‍රොෆ්ට් පත්වී තිබුණා කියන එක” යයිද ලැන්ගර් මහතා පැවසීය.

දකුණු අප්‍රිකාවේදී කළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාවට සම්මාදම් වීම වෙනුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 9 ක අන්තර්ජාතික සහ ප්‍රාන්ත ක්‍රිකට් තහනමක් පනවන ලදි. තවමත් 25 හැවිරිදි බැන්ක්‍රොෆ්ට් ඒවන විට ක්‍රීඩා කරමින් සිටියේ ඔහුගේ 8 වැනි ටෙස්ට් තරගයටයි. ඔහුගේ දඬුවම අඩුවීමට හේතුව වූයේ බැන්ක්‍රොෆ්ට් ‘නොමඟට යොමු කරන ලද නවකයකු’ ලෙසින් සලකනු ලැබීමයි. එහෙත් බැන්ක්‍රොෆ්ට උපදෙස් දුන් ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනාට වසරක තහනමක් පනවන ලදී.

කෙසේ වෙතත් ජස්ටින් ලැන්ගර් පවසන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උසස් මට්ටම රැකගැනීමටත් ඒ අනුව හැසිරීමටත් ක්‍රීඩකයන් වශයෙන් යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙන බවයි.

“මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කාමරයට එන විට එතැන හිටියේ ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, ඬේවිඞ් බූන්, ඉයන් හීලි සහ බොබී සිම්සන් (කළමණාකරු) වැනි අයයි...වෙන කරන්න කිසිම දෙයක් නෑ...වඩාත් හොඳ පුද්ගලයකු වගේම වඩාත් හොඳ ක්‍රීඩකයකුත් වෙන්නම වෙනවා” යයිද ලැන්ගර් පැවසීය.

බැන්ක්‍රොෆ්ට් බටහිර ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේදී ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවාද වූ ජස්ටින් ලැන්ගර් කියන්නේ වරදට යොමුවූ තිදෙනාටම තහනමින් පසුව නැවතත් කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබිය යුතු බවයි.

“අපි ඔවුන් දිහා බලාගෙන ඔවුන්ට උදව් කරමින් හිටියොත්, ඔවුන්ටත් හොඳ මිනිස්සු වෙන්න ඕන නම්, ඇත්ත වශයෙන්ම අපි ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා” යයිද ජස්ටින් ලැන්ගර් මහතා චානල් නයින් රූපවාහිනී සේවයට පැවසීය.


අදහස් (0)

මට කිව්වා නම් මාත් කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.